යොවුන් සංචාරක රූ රැජන කිරුළ දිනූ ශ්‍රි ලංකාෙව් නෙළුනි සෞන්දර්යා | සිළුමිණ

යොවුන් සංචාරක රූ රැජන කිරුළ දිනූ ශ්‍රි ලංකාෙව් නෙළුනි සෞන්දර්යා

ඝානා රාජ්‍යයේ අක්‍රා නුවර පැවැති යොවුන් සංචාරක රූ රැජන තරගයේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙළුනි සෞන්දර්යා පසුගියදා සමත් වූවාය. අගෝස්තු 01 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැති එම තරගය සඳහා රටවල් 20ක් නියෝජනය කරමින් තරගකාරිනියන් 20ක් සහභාගි වූ අතර තරගයේ මේන් ටයිට්ල් එක ජයග්‍රහණය කළ නෙළුනී Miss Teen Tourism Universe ලෙසින් කිරුළු පැලඳියේ Best in Talent, Best in Swim Wear සහ Miss FriendShip යන ටයිට්ල් ත්‍රිත්වයේම ජය හිමිකර ගනිමිනි. දින 20ක් පුරා පැවැති මෙම තරගයේ ජය හිමිකරගත් ඇය කිරුළු පැලඳියේ 4 වැනි යොවුන් සංචාරක රූ රැජන ලෙසිනි.

පසුගිය අප්‍රේල් 02 වැනිදා නෙළුම් පොකුණේදී පැවැති අවසන් තරගයෙන් Miss Teen Tourism Sri Lanka කිරුළ හිමිකර ගත් ඇයට යොවුන් සංචාරක රූ රැජන ජාත්‍යන්තර තරගයට සහභාගි වීමේ අවස්ථාව උදාවිය. තරගයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර සහ ජාතික පුහුණුකරු ලෙස රුක්මාල් සේනානායක නෙළුනිගේ ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත සෙවණැලි ලෙස සඳහන් කළ හැකිය.

ජාත්‍යන්තර තරගයට සහභාගී වීමට පෙර රුක්මාල් සේනානායකගේ මොඩ්ල් විත් රුකී මොඩ්ලින් පාසලෙන් අවුරුදු එකහමාරක පමණ පුහුණුවක් ලද නෙළුනි ව්‍යායාම සහ ආහාර පාලනය මඟින් මනා රුවක් පවත්වා ගැනීමට සමත් වූවාය. ජයග්‍රහණය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වූ ඇය අභියෝගාත්මකව තරගයට මුහුණ දී කිරුළ ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය. දේශීයත්වයට මුල් තැන දුන් ඇය තම තරග මෙවලම් සඳහා යොදාගනු ලැබුවේද මෙරටට ආවේණික දේය. ඇඳුම් පැලඳුම්, ආහාර මෙන්ම කුළුබඩු ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එතෙකින් නොනැවතුණු ඇය මෙරට සංචාරක ස්ථානවල සුන්දරත්වය සහිත දසුන් සමඟින් ශ්‍රී ලංකාව පිළිබඳ කළ ඇගැයීම සැමගේ සිත් තුළ ලංකාව කෙරෙහි ආකර්ෂණයක් ඇති කරවීමට ද සමත් විය. ශ්‍රී ලංකාව කියා රටක් තියෙනවාද කියාවත් නොදැන සිටි බොහෝ පිරිස් මෙරට පිළිබඳ දැනුම්වත් වී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කිරීම පිළිබඳ ඇය පසුවන්නේ ද නිහතමානී ආඩම්බරයකිනි. එය ඇය ලද තවත් ජයග්‍රහණයකි.

තරග ආරම්භක දින සිටම තරගකාරිනියන්ගේ ඇඳුම් පැලඳුම්, කන බොන, හැසිරෙන ආකාරය, අනන්‍යන් සමඟ සබඳතා පවත්වන ආකාරය මෙන්ම අන්‍යයන්ට උදවු කිරීම පිළිබඳව විනිශ්චයේ විශේෂ අවධානයට ලක්වීම ද මෙහි සුවිශේෂී කරුණකි. මේ සියලු විනිශ්චයන් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීම හේතුවෙන් තරග කාලසීමාව පුරාවට තරගකාරිනියන් දැඩි සංයමයෙන් පසුවිය යුතු වීමද තරග ජයග්‍රහණයට හේතුවකි. නාරිලතා පුෂ්පයේ හැඩයට නිම වූ නෙළුනිගේ ඇඳුම් විලාසිතාව විනිශ්චයේ ආකර්ෂණයට ලක්වීම මෙම සුවිශේෂී ජයග්‍රහණයට හේතුවක් වන්නට ඇති බව නෙළුනිගේ අදහසයි. එපමණක් නොව දේශීය කෑම බීම, කුළුබඩු මෙන්ම දේශීය තේ සඳහා ද ඔවුන්ගෙන් ලැබී තිබුණේ උණුසුම් පිළිගැනීමකි. රටවල් 20ක් අතර මෙය ප්‍රචාරය වීම ද මෙරට හා ජාත්‍යන්තරය අතර වෙළෙඳ සබඳකම් තවදුරටත් ශක්තිමත් වීමට හේතුවක් වනු ඇත. එමෙන්ම Qeen with the heart හෙවත් රැජනක් වෙන්න ඕන හදවතත් එක්ක යන තේමාවෙන් විනිශ්චයට ලක්වන මෙම කිරුළ හිමිකාරිනිය ඕනෑම ගැටලුවකට සාමකාමි විසඳුමක් සෙවිය යුතු සේම ලෝකයාට උදවු කිරීමට ද බැඳී සිටිය යුතුය.

සංචාරක කර්මාන්තය මූලික කරගත් තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේදී ඒ ඒ රටවල සංචාරක කර්මාන්තය රැගෙන ඒ ඒ රට නියෝජනය කරමින් තරගකාරිනියන් ඉදිරිපත් වීම සාමාන්‍ය ක්‍රමවේදයයි. මෙවර රූ රැජන ලෙස කිරුළු පලන් නෙළුනී තරගයට ඉදිරිපත් වී තිබුණේ ද ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටට ආවේණික දේ රැගෙනය. ලංකාවට ආවේණික ඇඳුම් පැලඳුම්, කෑම බීම, තේ මෙන්ම සංචාරක ප්‍රදේශ පිළිබඳ තොරතුරු අප්‍රිකානු රටක් වෙත රැගෙන ගිය නෙළුනී අභියෝගාත්මකව තම ජයග්‍රහණය හිමිකර ගත්තේ ද කළු ජාතිකයන්ගේ ඔල්වරසන් හඬ මැද්දේය.

අර්බුදකාරී වාතාවරණයක් මැද පවතින මෙරට සංචාරක කර්මාන්තය ගොඩනැඟීමට ජයග්‍රහණයේ කිරුළ නිහතමානීව යෙදවීමට බලාපොරොත්තු වන නෙළුනී හැකි උපරිමයෙන්ම තම දායකත්වය එයට ලබා දෙන බව ද පවසන්නීය. මෙරටට ඩොලර් උපයා දීමට හැකි මඟක් වන මෙම අවස්ථාව පිළිබඳ නිහතමානීව ආඩම්බර වන ඇය තමා ලද මෙම ටයිට්ල් එක හරහා මෙම තරගය ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ හැකියාවක් පවතින බවද පවසන්නීය. එවන් තරගයක් පවත්වා ඉදිරියේ දී මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවක් ඇති කිරීම ඇගේ එකම අපේක්ෂාව බවත් පවසන්නීය.

 

 

Comments