ගීතයෙන් සිනමාවෙන් පුංචි තිරයෙන් ඉදිරියට එන නවපරපුරේ සංගීතවේදියා | සිළුමිණ

ගීතයෙන් සිනමාවෙන් පුංචි තිරයෙන් ඉදිරියට එන නවපරපුරේ සංගීතවේදියා

 

“අහසින් එහා තරු මං දිගේ

පියඹන්න දැන් විහඟෙකු ලෙසින්

අහසින් එහා සිහිනය දිගේ

පියඹන්න මං ආසයි ඉතිං....“

 

මේ නිලාර් එන්. කාසීම් විසින් රචිත ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ආදරණීය කතාවක් චිත්‍රපටයේ ජනප්‍රියම ගීතයකි. උදාර සමරවීර නම් සංගීතඥයාගේ සිහිනයේ ආදරණීය කතාව ලියැවෙන්නේ එතැන් සිටයි. හේමාල් රණසිංහ සමඟ උදාරී වර්ණකුල රංගනයෙන් දායක වන මෙම ගීත ජවනිකාව සඳහා හඬ මුසුකරනු ලබන්නේ කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි විසිනි. ප්‍රේක්ෂකයා දැහැන්ගත කළ එම ගීතයේ සංගීත ස්වර සංයෝජනය උදාර සමරවීරගේය. ජනප්‍රියම ගීත හයක් ඇතුළත් ආදරණීය කතාවක් සංගීතමය චිත්‍රපටයක් ලෙසින් බිහිවන්නේ උදාරගේ සංගීත අධ්‍යක්ෂණයෙනි. එය ඔහුට වෙස්වළාගත් ආශීර්වාදයක් බවට පත්වන්නේ ඔහු සම්මානිත සංගීත අධ්‍යක්ෂවරයෙක් බවට පත් වීමෙනි. එය ඔහුගේ සංගීත දිවියේ ශක්තිමත් අඩිතාලමක් බවට පත්කරමින් ප්‍රියන්තගේ දේදුනු ආකාසේ චිත්‍රපටය සඳහා ද ආරාධනා ලැබිණි. එහි ‘මල් කලඹ ළඟ පාට සේදුණු‘ ගීතය ද ජනප්‍රියම කැටගරිය යටතේ සම්මානයට පාත්‍ර වන්නේ ඒ අතරතුරේදීය. එය ඔහුගේ ඉදිරි ගමන තවත් තහවුරු කරමින් ශක්තියක් බවට පත්විය.

සිනමාවෙන් ඇරැඹුණු උදාරගේ සංගීත ගමන වෙස් ටෙලි නාට්‍යය ඔස්සේ පුංචි තිරය දෙසට ද හැරිණි. ක්ලික්, ක්වීන්, දාංගලේ, සකූගේ කතාව, සත්‍යා ඔහු අතින් සංගීතවත් වුණු ජනප්‍රියම නිර්මාණ විය. ක්ලික් ටෙලි නාට්‍යයට රයිනි චාරුකා ගැයූ ‘මහා කතරක‘ ගීතය නැවතත් ඔහු සම්මානයක් කරා යොමු කළේය.

මාතර අකුරැස්සේ උපත ලද උදාර පිළියන්දල පදංචියට එන්නේ ද කුඩා කලදීමය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වී සරසවි වරම් ලබා රසායන ඉංජිනේරුවරයෙක් ලෙස මොරටුව සරසවියෙන් පිටවන්නේ ද අදාළ ක්ෂේත්‍රයේම රැකියාවක් ලබමිනි. කුඩා කල සිට සංගීතය පිළිබඳ ඇල්මක් තිබුණ ද ඔහු ඒ පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කර නොතිබුණු අතර පියාගෙන් ලද දැනුමින් ගිටාරය අතට ගත්තේ විනෝදාංශයක් ලෙසිනි. එසේ ලත් සංගීත ඇල්ම වැඩිදියුණු කළ දිලිප් ගබඩා මුදලි ගුරුවරයා සංගීත ස්වර සංයෝජනය ගැන මනා දැනුමින් උදාරව පෝෂණය නොකළා නම් අද මෙවන් දක්ෂ සංගීතඥයකු බිහි නොවන්නට ද ඉඩ තිබිණි. සංගීතය දෙසටම ඇදී ගිය උදාරට තම වෘත්තියට සමුදෙන්නට සිදුවූයේ ද රැකියාවේ කාර්යබහුලත්වය නිසා සංගීතයට ඉඩක් නොලැබුණු හේතුවෙනි. රැකියාවට සමුදුන් උදාර සංගීතය තම දිවිය කර ගත්තේය.

2013 වසරේ ජාතික නාළිකාවට නිර්මාණය කළ ‘සිරි ලක සිරි - අවුරුදු සිරි‘ අවුරුදු ගීතය 2014 වසරේ රාජ්‍ය සංගීත උලෙළේ හොඳම කණ්ඩායම් ගීතයට සම්මානිත වීමෙන් ඔහුගේ නිර්මාණ දිවියේ ඇරැඹුම වර්ණවත් කළේය. රෝහණ බැද්දගේ, අමල් පෙරේරා, ශෂිකා නිසංසලා සහ නෙලූ අධිකාරී විසින් ගයනු ලැබූ එම ගීතය රචනා කළේ ඩිලාන් ගමගේ විසිනි. සමිතා - අතුල ගයන ‘ඉවසයිද මන්දා‘ ගීතය මෙන්ම ශෂිකා නිසංසලා ගයන ‘දුර යන්න හිතුවාට‘, සුරේන්ද්‍ර ගයන ‘තාමත් මුණ ගැහුණෙ නැතත්‘ ගීතය ප්‍රේක්ෂකයන් ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳවීය. ප්‍රියන්ත කොළඹගේ නම් නිර්මාණකරුවා උදාරට මුණ ගැසීමේ අවකාශය උදාකර දෙන්නේ ද මේ ජනප්‍රියත්වයයි. සමිතා මුදුන්කොටුව ගයන හැම රෑම ගීතය මෙන්ම උරේෂා රවිහාරිගේ ඔබ කොතැනද ගීතය මෑතකදී ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම ලබමින් සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර යන ගීතයන්ය. රියැලිටි ගායකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන්නන්ට සංගීත නිර්මාණය කරන උදාරට නව සිනමා නිර්මාණයකට ආරාධනා ලැබෙන්නේ ද ප්‍රියන්ත කොළඹගේ ගෙනි.

 

Comments