මිතුරෝ පවා මාව පාවිච්චි කළා | සිළුමිණ

මිතුරෝ පවා මාව පාවිච්චි කළා

 

හදවතේ සියුම් තැන්වලට ගීතයෙන් ආමන්ත්‍රණය කළ ඔහු දමිත් අසංකයි. කාලයකදී පුවත් මවමින් ආන්දෝලනාත්මකව පෙරළි කළ ඔහු මේ දිනවල ගෙවන්නේ තරමක් නිහඬ පිළිවෙතක්.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

සංගීත ප්‍රසංග සමඟ මේ දිනවල තරමක් කාර්ය බහුලයි. ඉදිරියේදි අපේ ජීවිත මීට වඩා හොඳ වෙයි කියා විශ්වාස කරනවා.

ඔබ සංගීත කාර්යට පිවිසෙන්නේ පියාගේ ආභාසයෙන් බව බොහෝදෙනා නොදන්නා කරුණක්. අපි ඒ මතකය අවදි කරමු.

මගේ තාත්තා හිටපු දක්ෂතම ගායකයෙක් වගේම සංගීතඥයෙක්. ඔහු මට අවශ්‍ය මූලික අඩිතාලම දාලා දුන්නා. ඒක මම හැමතැනම නොකිව්වත් මම සින්දු කියන්න ආස වුණේ මගෙ තාත්තා නිසා.

දමිත් කියන්නේ අප දැකපු වෙනස්ම අයිකන් එකක් වගේම වෙනස්ම ආරයක් ගොඩනැඟූ කෙනෙක්. එසේ වෙනස්ම අයිකන් එකක් බවට ඔබ පත්වූයේ කොහොමද?

අපේ තාත්තා ජීවත් වුණ යම් විලාසිතාවක් මම දැක්කා. එය ඇතැම්විට සම්මතයෙන් පිටවූවත් එය ඔහුගේ අපූරු ජීවන විලාසිතාවක්. මම එය සෑමවිටම අනුගමනය කළා. මාව සමාජයෙන් වෙනස් කියලා පේන්නත් ඒක හේතු වෙන්න ඇති. ඒ වගේම බුදු දහම පරිශීලනය කළ කෙනෙක් කාගෙන්වත් යැපෙන්නෙ නැහැ. ඔවුන් ගමන් කරන්නේ තමන්ගෙම මාර්ගයක. මාව ගොඩනැඟෙන්න බුදු දහමත් හේතු වුණා.

මියුසික් වීඩියෝ එකකට චීවරධාරියෙකු ලෙස රංගනයේ යෙදෙන්නට ගොස් පසුගිය කාලයේ ලොකු අනාරක්ෂිත අකරතැබ්බකට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද? අපි ඒ ඇත්තම කතාව කියමුද?

මාව විශ්වාස නොකරපු මගේ මිත්‍රයන් දෙදෙනෙක් හා මගේ මව එකතුවෙලා මට නිදිපෙති දීලා මාව අංගොඩ ඉස්පිරිතාලෙට දාන්න තරම් එයාලා මිථ්‍යාවෙන් අන්ධවෙලා හිටියේ. සාමාන්‍ය මනුස්සයෙක්ට පිස්සු හැදුණම චීවරයක් දාගෙන ඉන්න එක විතරද කරන්නේ. පිස්සු හැදුන මනුස්සයෙක්ගෙන් ඊට වඩා වෙනස් හැසිරීම් දකින්න පුළුවන්. ඒක තේරුම් නොගත්ත ළඟම විශ්වාස කරපු යාළුවෝ ගැන මට තියෙන්නෙ පිළිකුලක්. මං බීපු බෙහෙත් කන්දරාව නිසා මගේ ශරීරය මට දරන්න බැරි තරමට පත්වුණා. විශ්ව ශක්තිය හා ප්‍රේක්ෂක ආදරය විතරයි මාව ජීවත් කළේ.

එසේ හැලහැප්පීම් මැද දමිත් අසංක තෙරපෙන කොට ප්‍රේක්ෂක ආදරය නොවෙනස්ව ඔබ ළඟ රැඳුණද?

අනිවාර්යයෙන්ම ඒ ආදරය මට ලොකු ශක්තියක්. මං වගේ ජනප්‍රිය පුද්ගලයෙක් සිවුරක් දාගත්තා කියන වරදට දවස් 14ක් හිරේට දැම්මම කොච්චර අසරණ වෙනවද? ඒ කාලයේදි මම හැසිරුණ විදිහ මටම හිතාගන්න අමාරුයි. මොකද ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට ලොකු පීඩනයක්. ඒ මොහොතෙදි මගේ ප්‍රේක්ෂකයෝ 99%ක් මාව තේරුම්ගත්තා වගේම මාව වැටෙන්න නොදී බේරගත්තා. ඇත්තටම මම වැටෙන්න ගියා. නමුත් මගේ ප්‍රේක්ෂකයෝ මගෙ පිටිපස්සෙන් මහා ශක්තියක් වී හිටගත්තා. මං මේ මොහොතෙත් ඒ ආදරය මතක් කරන්නේ හරිම හෘදයාංගවම.

දමිත් අසංකව කැසට් සමාගම් විකුණුවා නේද?

ඔව් මම ගමේ ඉඳන් ගොඩනැඟුණු මනුස්සයෙක්. ඒ නිසා මගේ නම ගොඩනැඟෙන්න කැසට් හොඳ හේතුවක් වුණා. නමුත් මාව ඔවුන් විකුණුවා. එතැනදී මම ආදායම ගැන හිතුවෙ නැහැ. නමුත් මම විශ්වාස කරනවා යම් ආයතනයක් හෝ යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් ගොඩනැඟෙනවා නම් යම් ආදායමක් ලබනවා නම් එකී දක්ෂතාවයට සරිලන මුදලක් අදාළ පුද්ගලයාට දෙන්න අවශ්‍යයි කියලා. එය සාධාරණ තත්ත්වයක්. යම් පුද්ගලයෙක් ජනප්‍රිය වුණාම ඒ පුද්ගලයාගෙන් නඩත්තු වෙන්න විශාල පිරිසක් බලන් ඉන්නවා. ඒ නිසා එකී තත්ත්වය ගැන මීට වඩා මානුෂිකව හිතන්න අවශ්‍යයි කියලා මං හිතනවා.

අතීතයට යන්න වරමක් ලැබුණොත් ඔබගේ ජීවිතයේ මොන වගේ තැන් වෙනස් වෙයිද?

අතීතයට යන්න වරමක් ලැබුණොත් මගේ තාත්තා ඇක්සිඩන්ට් වුණ එක මම මඟහරිනවා. ඒ වගේම අවුරුදු 6දී 7දී පටන් මං පැවිදි වෙන්න ගොඩක් ආසාවෙන් හිටි කෙනෙක්. එහෙම වුණොත් මම පැවිදි වෙනවා. පැවිදිවීම මගෙන් මඟ හැරුණෙ ගමේ ශිෂ්‍යත්වය පාස්වුණ 4 දෙනා අතරින් කෙනෙක් බවට මට පත්වීමට අවකාශ ලැබුණු නිසයි. මම සමාජයේ කොතෙක් ගරු බුහුමන් ලැබුවත් ජීවිතයේ අග්‍රඵලය තිබෙන්නෙ මහණදම් පිරීම තුළයි. නිවන ලබා ගැනීමේ මඟ භික්ෂුවක් වීමයි. ඒ නිසා අතීතයට ගියොත් මම භික්ෂුවක් වෙනවා.

ඔබගේ අලුත් ගීය අතීතයේ ගැයූ ගීත තරම් ජනතාව අතරට ගියේ නැහැ. ඒකට හේතුව මොකක්ද?

මම කලාමැදිරියනි කියලා අලුත් ගීතයක් කළා. මගේ සිතුවිලි ක්‍රමක්‍රමයෙන් භික්ෂුවකගේ සිතුවිලිවලට පරාවර්තනය වන නිසා ඒවා සාමාන්‍ය මිනිසුන්ට ග්‍රහණය වෙන්නෙ නැහැ. අත්හැර දැමූ මනුස්සයෙක්ට නිවිහැනහිල්ලෙ අහන්න පුළුවන් ගීත දැන් වාගේම ඉදිරියේදිත් නිර්මාණය වෙයි. ඒවා ජනප්‍රිය කුලයෙන් ගොඩක් පරිබාහිර ගීත නිසා ඒ තුළින් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මං බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

ඔබ ව්‍යංගයෙන් කියන්නේ ඔබ යම් කාලයකදී ගිහි ජීවිතය අත්හරිනවා කියලද?

අනිවාර්යෙන්ම මගෙ අන්තිම බලාපොරොත්තුව ගිහි ජීවිතය අත්හැරීමයි. එය කලකිරීමක් හෝ ප්‍රේමය සම්බන්ධ ගැලුවක් නිසා ගත් තීරණයක් නෙමෙයි. එය ජීවිතය පිළිබඳ අවබෝධයෙන් ගත් තීරණයක්.

"දමිත් අසංකව ආයි දකින්න ලැබෙන්නෙ නැහැ." "දමිත් අසංකගේ කටහඬ ආයි අහන්න ලැබෙන්නෙ නැහැ." වගේ ගොසිප් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ සංසරණය වුණා. එහි සත්‍ය අසත්‍යතාවය කෙබඳු ද?

තමන්ගේ වීඩියෝවල විව්ස් වැඩිකරගන්න මට විරුද්ධ බොරු චෝදනා හෙඩ්ලයින් විදියට දැම්මා. මගේ මිතුරන් කියන අය පවා ඒ කාලයේ මාව පාවිච්චි කළා. මම ප්‍රසංගවලට ගියාම මගේ රසිකයෝ විවිධ මත්ද්‍රව්‍ය මට ලබාදෙනවා. නමුත් මම ඒවා අරගෙන හෙමීට විසිකරලා දැම්මා. මම ඒවා පාවිච්චි කළේ නැහැ. මම ඒ කාලෙදි කිව්වේ එළිමහන් ප්‍රසංගවලින් සමුගන්නවා කියලා විතරයි. නමුත් ඔවුන් පැතිරුවේ මම ගීත ගායනා කරන්නෙ නැහැ කියලා වගේම දමිත් අසංකව ආයෙත් දකින්න ලැබෙන්නෙ නැහැ කියලයි. මිනිස්සු අවුස්සන්නෙ මිනිස්සුමයි. නමුත් මගේ රසික රසිකාවියෝ හරිම බුද්ධිමත්. ඒ නිසා ඒක මට ගැටලුවක් නෙමෙයි.

 

Comments