කසළ කළමනාකරණයට විද්‍යාත්මක ක්‍රමවේදයක් ඕනෑ

 අවිධිමත් ලෙස නාගරික කසළ බැහැරලීම නිසා මීතොටමුල්ලේ සිදු වූ අතිශෝචනීය ඛේදවාචකය වැනි සිද්ධියක් නැවත ඇති නොවීමට දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක අවශ්‍යතාව ඉතා පැහැදිලිය. කසළ බැහැරලීම සඳහා මෙරට භාවිත කෙරෙන එකම ක්‍රමය නම් පහත් වගුරු බිම්වලට ඒවා එකතු කිරීමයි. කොළඹ නගරයේ පමණක් දිනකට කැළිකසළ ටොන් 1600ක් පමණ ජනනය වන අතර, ඒවා බැහැරලීම කොළඹ නගර සභාවේ වගකීම වේ. ශීඝ්‍ර නාගරිකකරණය, ජනගහන වර්ධනය සහ දිරාපත් නොවන ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය ශීඝ්‍රයෙන් වර්ධනය වීම වැනි කරුණු මේ සඳහා දායක වේ.

විවෘත පහත් බිම්වල නාගරික කසළ බැහැරලීම කිසිසේත් යෝග්‍ය නොවන්නේ පහත සඳහන් හේතු නිසා ය.

. කසළවල ඇති දිරාපත් නොවන පොලිතින් වැනි කොටස් වැඩි වෙමින් තිබෙන අතර ඒ නිසා වැඩි ඉඩකඩක් අවශ්‍ය වීම.

. මදුරුවන්, මැස්සන්, මීයන් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවින් අභිජනනය වන තෝතැත්නක් බිහි වීම.

. දසුනට පිළිකුල් සහිත සහ අධික දුර්ගන්ධයෙන් යුත් කසළ කඳු බිහි වීම මිනිසාගේ සමාජ හැසිරීම කෙරෙහි ද බලපෑම් ඇති කරයි. මෙවැනි කුණු කන්දකට සමීපව ජීවත්වන ජනතාව නිරන්තරයෙන්ම අන්‍යයන් නොරුස්සන ස්වභාවයක් පෙන්වන නිසා ආරවුල් හා ගැටුම්වලට නිරන්තරයෙන් යොමු වීම.

. වියළි කාලගුණය පවතින විට අහම්බෙන් හෝ ඕනෑකමින්ම ගිනි තැබීමෙන් ඇති වන ගිනි නිවා දැමීම ඉතා අපහසු ය. මෙවැනි ගින්නක් ඇති වූ විට කුණු කන්ද අභ්‍යන්තරය ගිනි ගන්නා අතර එක් ස්ථානයකින් එවැනි ගින්නක් නිමා දැම්මත් වෙනත් ප්‍රදේශයකින් එය නැවත මතු වේ. මෙවැනි කුණු කඳුවල විශාල වශයෙන් මෙතේන් වායුව ජනනය වී ඇති නිසා මෙවැනි ගිනි ගැනීම් ක්ෂණයකින් ව්‍යාප්ත වීම සිදු වේ. මෙවර මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ මෙවැනි ගිනි ගැනීමකින් හටගත් පිපුරුමකින් බවට අනුමාන කළ හැකිය.

. වර්ගීකරණයකින් තොරව කසළ මුදා හරින නිසා ඉවතලන බැටරිවලින් නිකුත් වන කැඩ්මියම් හා රසදිය වැනි අධික විෂ සහිත බැර ලෝහ කුණු කන්දෙන් නික්මෙන ශ්‍රාවයට එක්වන අතර එමඟින් ජලජ පද්ධති දූෂණය වේ. වෙනත් රටවල ඉවතලන බැටරි නාගරික කසළ සමඟ බැහැරලීම තහනම්ය. කුණු කන්දෙන් නික්මෙන ශ්‍රාවයට එක්වන අතර එමඟින් ජලජ පද්ධති දූෂණය වේ. වෙනත් රටවල ඉවතලන බැටරි නාගරික කසළ සමඟ බැහැරලීම තහනම්ය. කුණු කන්දෙන් නික්මෙන ශ්‍රාවය ව්‍යාධිකාරක බැක්ටීරියාවලින් පොහොසත් නිසා විවිධ රෝගාබාධ ඇති වීමටද හැකියාව ඇත.

කුණු කඳු ගිනි ගැනීමේදී ඒවා අවට ජනතාව, විශේෂයෙන්, කුඩා ළමයින් හට විවිධ රෝග වැලඳීම නිසා රෝහල් ගත වීමට සිදු වේ. මෙවැනි ගිනි නිසා ඇති වන ප්‍රධාන වායූ දූෂක නම්, පියවි ඇසට නොපෙනෙන සියුම් අංශු, සල්පර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වේ. මේවායින් වඩාත් ම විෂ සහිත දූෂකය වන්නේ සියුම් අංශු කොටස වන අතර එමඟින්, ඇදුම, නියුමෝනියාව සහ බ්‍රොන්කයිටීස් වැනි පෙනහළු ආශ්‍රිත රෝග මෙන් ම පෙනහළු පිළිකා සහ එම්පිසීමියාව වැනි දීර්ඝ කාලීන රෝග ද වැල‍ඳේ. මේවා තුළ බෝවන මදුරුවන් නිසා ඩෙංගු උණ, උණ සන්නිපාතය වැනි රෝගවාහක ආබාධද ඇති වේ.

පහත් වගුරු බිම් ගොඩ වීම නිසා වැසි ජලය මනාව බැස යෑම කෙරෙහි ද බලපෑම් ඇති කරයි. එමෙන් ම මෙවැනි වගුරු බිම් සංක්‍රාමික කුරුල්ලන් සඳහා අභය භූමි ලෙස ද ජනතාවගේ විනෝදය සඳහා ද භාවිත වේ. එමෙන් ම ජෛව විවිධත්වයෙන් හෙබි මෙවන් වගුරු බිම් ඒවාට ආවේණික වූ කඩොලාන, මත්ස්‍යයින් සහ කුරුල්ලන්ගෙන්ද පොහොසත්ය.

වසර 20කට පමණ පෙර කොළඹ නගරයේ ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පැවැති කැළි කසළ බැහැරලීමේ නව ක්‍රමයක අවශ්‍යතාව රජයට අවබෝධ විය. ඒ සඳහා ලෝක බැංකු ආධාර අපේක්ෂා කිරීමෙන් අනතුරු ව එම බැංකුව මඟින් සක්‍යතා හැදෑරීමක් සිදු කරන ලදී. මේ සඳහා කැළි කසළ බැහැරලීම ගැන විශේෂඥ දැනුමක් ඇති විද්‍යාඥයින්ගේ හැදෑරීම්වලින් පසු ලෝක බැංකුව මේ සඳහා මීපේ අලුපොත ග්‍රාමය සුදුසු බව අනාවරණය කර ගත්තේ ය. මෙම භූමිය පිහිටි පෙදෙස කඳු දෙකකින් වට වූ සහ මැටි පසෙන් හෙබි අඩු ජනගහනයකින් යුත් එකක් වන අතර සංවේදී පාරිසරික පද්ධතිවලට හෝ ජනාකීර්ණ ප්‍රදේශවලට සමීපයෙන් පිහිටා නැති භූමියක් විය. මෙහි දී යෝජනා වූයේ මීගමුව සිට පාණදුර දක්වා ඇති සියලු නාගරික පෙදෙස්වල කුණු බැහැරලීමට මෙම පිරවුම උචිත බවයි. මෙම යෝජනාවේ සමස්ත වියදම වූ ඩොලර් මිලියන 800 ම ණයක් ලෙස ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ විය.

මෙම හිතකර යෝජනාවට හෙනහුරා අකුල් හෙළන්නට පටන් ගත්තේ ව්‍යාපෘතිය ඉදි කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරය ද ප්‍රදානය කිරීමෙන් පසුවය. ඊනියා රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් එම භූමිය අවට

ජනතාව උසිගන්වමින් වි‍රෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළේ ය. මෙම සංවිධානය යොජිත බිම් පෙදෙසෙහි වාසය කළ අනවසර පදිංචි කරුවෝ මෙන් ම පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මේ සඳහා විරෝධය පළ කිරීමට උපයෝගි කර ගත්හ. මෙවන් ජාතික වශයෙන් ඉමහත් වැදගත්කමක් ඇති යෝජනාවකට ‘කොළඹ කුණු අපිට එපා’ යන තේමාව යටතේ විරුද්ධ වීමට එදා ඉදිරිපත්වූ මහජන නියෝජිතයන් අද මීතොටමුල්ල ඛේදවාචකයට අනියම් ලෙසින් වගකිය යුතු ය. මෙවන් රාජ්‍ය නොවන සංවිධානවලට පරිසරය සුරැකීමේ තේමාව යටතේ උද්ඝෝෂණ පැවැත්වීම සඳහා විදේශ රටවලින් නොමද ව ආධාර ලැබේ. මෙවැනි පාරිසරික සංවිධානවල නියමුවන් පරිසරය ගැන අබමල් රේණුවක දැනුමක් නැති පුද්ගලයන් වේ‍‍. එමෙන් ම එවැනි සමහර සංවිධාන කේන්ද්‍ර වී ඇත්තේ එක පවුලක සාමාජිකයන් වටා පමණි. ඔවුනට ඩොලර් කුට්ටි ලැබෙන්නේ සංවිධානය කරන උද්ඝෝෂණ සංඛ්‍යාව මත ය. මෙවැනි විරෝධතා නිසා සමස්ත ප්‍රජාවට සිදුවන අනර්ථය සුළු පටු නොවේ. ශක්තිමත් හා දේශපාලන බලයට පෙර රට ගැන සිතන රාජ්‍ය නායකයෙක් අපට සිටිය යුතු ය. මෙම සනීපාරක්ෂක භූමි පිරවුම ගැන ටෙන්ඩර් කැඳවා චීන සමාගමකට ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ මුත් 1995 සිට 1999 දක්වා එවකට පැවති රජය මෙම වැදගත් යෝජනාව කල් ඇරීමෙන් සිටියා මිස නිශ්චිත තීරණයකට එළඹුනේ නැත. ඉහත කී උද්ඝෝෂණ මෙන් ම දැනුත් පාර්ලිමේන්තුවේ සිටින නායකයින් මෙම ව්‍යාපෘතියට විරෝධය පෑවේ හුදෙක් තම ඡන්ද දායකයන්ගෙන් ඇති දේශපාලන වාසි ගැන පමණක් සැලකීම නිසා ය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ නායකයන් තමන්ගේ දේශපාලන පැවැත්ම විනා රටේ යහපත තකා ක්‍රියා නොකිරීම මෙම සංසිද්ධියෙන් මනාව පැහැදිලි වේ. එමෙන් ම ඔවුන් ‍වට සිටි උපදේශක හෙංචයියන් රටේ නායකයා වටා පවුරක් සේ සිටිමින් නිදහස් චින්තන ඇති වෘත්තිකයන්ගේ අදහස් ලබාගැනීම උවමනාවෙන් ම වළක්වයි. ඉහත අවස්ථාවේ දී ලෝක බැංකුව දීමට පොරොන්දු වූ ප්‍රතිපාදනවලින් වෙනත් රටක් ප්‍රයෝජන ගන්නට ඇති බව නො අනුමානය.

මෙම ව්‍යාපෘතිය ඇතිවූ විරෝධයෙහි ප්‍රධාන සටන් පාඨයක් ව‍ූයේ එමගින් ජල මූලාශ්‍ර අපවිත්‍ර වන බවට නැඟූ චෝදනාවයි. එහෙත් ලෝක බැංකු විශේෂඥයන්ගේ මතය වූයේ එවැන්නක් සිදුවීමට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවයි. මෙවැනි පිරවුමකින් නික්මෙන ක්ෂාලකය පිරියම් කොට නිකුත් කෙරෙන නිසා මෙම භීතිය හුදෙක් මනඃකල්පිත මිථ්‍යාවකි.

කොරියානු රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ඉදිකර ඇති කුඩා සනීපාරක්ෂක පිරවුමක් කිරිඳිවැල ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇත. දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල කැළිකසළ මෙහි තැන්පත් කෙරේ. මේ සඳහා ඩොලර් මිලියන 6 ක් වැය වූ අතර දිනකට කසළ ටොන් 90 ක් පමණ මෙම පිරවුමට බැහැර කළ හැකි ය. මෙම පිරවුම වසර 25 ක් පමණ භාවිත කළ හැකි අතර ඉන් පසුව එය වසා දැමිය යුතු ය. මෙම පිරවුමෙන් නිකුත්වන ස්‍රාවය ටැංකි තුළ ගබඩා කොට එය මුදා හැරීමට පෙර විෂබීජ නාශනය කරනු ලැබේ. මෙවන් භූමි පිරවුමක යෝග්‍යතාව ගැන සැකයක් ඇති ඕනෑම අයෙකුට කිරිඳිවැල පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කිරීම මැනවි.

කොළඹ නගරයේ කුණු පුත්තලම් අරුවක්කාළු ප්‍රදේශයේ ඇති අත්හරින ලද හුණුගල් ආකර තුළ බැහැරලීම ගැන ද පසුගිය රජය පැවැති සමයේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. ජෛව විවිධත්වය විනාශවීම මෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙවැනි ප්‍රදේශයක කුණු බැහැරලීම ගැන ඇතැම් පාර්ශ්වවලින් විරෝධතා මතු වී ඇත. එහෙත් මෙම යෝජනාවේ ඇති අවාසිය නම් කොළඹින් කිලෝමීටර් 150 ක පමණ දුරකින් පිහිටා ඇති මෙම ප්‍රදේශ‍යට දුම්රියෙන් කසළ ප්‍රවාහනය කිරීමට වැයවන විශාල වියදමයි‍. මීපේ අලුපොත ප්‍රදේශයට කසළ ප්‍රවාහනය සඳහා ඊට සමීපව පිහිටා ඇති කැලණිවැලි දුම්රිය මාර්ගය උපයෝගී කරගත හැකි ව තිබිණි.

සුප්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් වරෙක පවසා තිබුණේ, ‘කසළ යනු අප භාවිතා කිරීමට නොදන්නා සම්පතකි’ යන්නයි. බොහෝ ‍රටවල කසළ කළමනාකරණය සඳහා විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරයි. කසළවලින් ශක්තිය ජනනය කිරීම ආකර්ෂණීය හැකියාවකි. මෙහිදී භාවිතා වන ප්‍රධාන ක්‍රම දෙක නම් දහනය සහ ජීව වායුව ජනනය කිරීම වේ. ජපානය වැනි රටවල දිරාපත් නොවන සහ පොලිතීන් වැනි දහනය කළ හැකි කසළ වෙන් කොට ඒවා දාහකයක් මඟින් දවා අළු කරනු ලැබේ. ඉන් නික්මෙන තාප ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක කොට විදුලිය ජනනය කෙරේ. ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල කසළවලින් 75% ක් පමණ ඉවත ලන ආහාර ද්‍රව්‍ය වැනි කාබනික කසළ වන අතර ඒවායේ අධික තෙතමනය නිසා දහනය කිරීම දුෂ්කර ය. එනමුත් මෙවැනි කසළ වලින් ජීව වායුව නිපදවිය හැකි ය. එම වායුව දහනය කිරීමෙන් ද විදුලිය නිපදවා ගත හැකි ‍ය.

වර්තමානයේ ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ සහ ඒවායේ කොටස් බැහැරලීම උග්‍ර ප්‍රශ්නයකි‍. බොහෝ දියුණු රටවල ඉලෙක්ට්‍රෝනික ‍උපාංගවල ඇති කැඩ්මියම්, රත්රන්, රසදිය සහ ඊයම් වැනි ලෝහ ප්‍රතිචක්‍රීයකරණය කරන ව්‍යාපාර ඇත. නියම විද්‍යාත්මක ක්‍රම උපයෝගි කරන්නේ නම් මෙවැනි ලෝහ ප්‍රතිජනනය කළ හැකි ය. එහෙත් මෙරට ඉලෙක්ට්‍රෝනික කසළ කළමනාකරණයේ දී සිදුවන්නේ ඒවා එකතු කිරීම පමණයි. මේවා ප්‍රතිචක්‍රීයකරණය සඳහා ඉන්දියාව වැනි රටවලට යවනවා හැරෙන්න වටිනා ලෝහ නැවත ලබාගැනීමක් සිදුවන්නේ නැත.

කොම්පියුටර්වල ඇති මුද්‍රිත පරිපථ පුවරුවල ඇති රත්රන් හා රිදී නිස්සාරණය කිරීම බොහෝ රටවල ප්‍රචලිත වී ඇත. එමඟින් රැකියා අවස්ථා ජනනය වන අතර ලාබදායක කර්මාන්ත ස්ථාපිත කිරීමට ද හැකියාව ඇත. බොහෝ විට විද්‍යුත් මෙවලමක් ඉවත ලන්නේ එහි ඇති කුඩා දෝෂයක් නිසා හෝ එම මොඩලය යල් පැනගිය අවස්ථාවලදී ය. එවැනි මෙවලම්වල ඇති මෝටර්, බල සැපයුම් මෙන් ම ට්‍රාන්සින්ටර් ද හොඳින් වැඩ කරන ඒවා නම් ඒවා ඉවත ලෑම නාස්තිකාර ක්‍රියාවකි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන දැනුමක් ඇති අයෙකුට මේවා ඉවත් කොට නැවත අලෙවි කළ හැකි ය. රජයෙන් ම රැකියා ලබා දෙන තෙක් නොසිට තමන්ගේ ම ව්‍යාපාරයක් පටන් ගැනීමට අපේ විද්‍යා උපාධිධාරීන් උත්සාහ ගත යුතු ය.

නැවත වරක් මීතොටමුල්ල ඛේදවාචක සිදු නොවීමට වග බලාගැනීම රජයේ ප්‍රමුඛ අභිමතාර්ථය විය යුතුය. පහත් වගුරු බිම්වල කුණු කඳු නිර්මාණය කිරීම යල් පැනගිය අනාරක්ෂිත ක්‍රමයෙන් දැන්වත් මීපේ අලුපොත ප්‍රදේශයෙහි ඉදිකිරීමට යෝජනා වූ සනීපාරක්ෂක භූමි පිරවුම නොපමාව ඉදිකළ යුතු ය. මේ සඳහා සාක්‍යතා අධ්‍යයනය, මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය සහ ටෙන්ඩර් ලියකියවිලි ද රජය සතු බැවින් පහසුවෙන් ම එය ක්‍රියාවට නැඟිය හැකි ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.