වට්ස්ඇප් ගෘෘප් එකකුත් හදාගෙන දොස්තර නෝනලා වෙන්න හිතාගෙන ලංකාවේ එක-දෙක වෙච්ච අඹ යෙහෙළියෝ | සිළුමිණ

වට්ස්ඇප් ගෘෘප් එකකුත් හදාගෙන දොස්තර නෝනලා වෙන්න හිතාගෙන ලංකාවේ එක-දෙක වෙච්ච අඹ යෙහෙළියෝ

ප්‍රමුදි සහ ලෙමාෂා විදු­හ­ල්ප­ති­නිය හේම­න්ති­මාලා වනි­ග­සිංහ සමඟ

- අවුරුදු දෙක තුනක් අපි දෙන්න එකම විදිහට විභාගය වෙනුවෙන් මහන්සි වුණා
- අපි පාඩම් කළේ දෙන්නෙක් විදිහට නෙවෙයි, එක්කෙනෙක් විදිහටයි
- දෙන්නම ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් ගත්තා
- ප්‍රතිඵල බලන්න අම්මයි තාත්තයි ගෙදර එනකම්ම හිටියා - ප්‍රමුදි
- මෙඩිකල් කොලේජ් යන්න බලාපොරොත්තුවෙන්ම තමයි විභාගෙ ලිව්වෙ - ‍ලෙමාෂා
- දුවලා දෙන්නගෙම අරමුණු සමාන නිසා ඒ දෙන්නා එකම ගමනකට යොමු කරවන්න අපි තීරණය කළා - ප්‍රමුදිගේ සහ ලෙමාෂාගේ මවුපියන්

කුත් සතිය උණුසුම් කළ පුවත් අතර මුල්තැන තිබුණේ 2022 වසරේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඉහළ දස්කම් පෑ දූ දරුවන් ය. එක් එක් අංශවලින් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් දරුවන් ගැන රටේම අවධානය යොමුවද්දී ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන්ම පළමු සහ දෙවැනි ස්ථාන දිනාගත් සිසු දියණියෝ දෙදෙනා ගැන විශේෂ අවධානය යොමු වූයේ ඔවුන් දෙදෙනා පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ විභාගය දක්වා එකම පාසලේ ඉගෙනුම ලැබූ එකට පාඩම් කළ හොඳම මිතුරියන් වීම නිසාය. මේ අපූරු මිතුරියෝ දෙදෙනාට ඔවුනොවුන් හමු වන්නේ මාතර සුජාතා විද්‍යාලයේදීය.

ඔවුන් දෙදෙනා ප්‍රමුදි භාෂණී සහ ලෙමාෂා උදයාංගිය. 2022 උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ප්‍රමුදි භාෂණීටත් දෙවැනි ස්ථානය ලෙමාෂා උදයාංගිටත් හිමි විය. පළමු ශ්‍රේණිය පන්තියේ සිට උසස් පෙළ දක්වා එකම පාසලේ අධ්‍යාපන ලැබූ ඔවුන් දෙදෙනාම ලකුණු 179 දිනාගනිමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වීම ද විශේෂත්වයකි. එමෙන්ම 2019 වසරේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රමුදි සහ ලෙමාෂා සමත් වූයේ ඒ සාමර්ථ්‍යය 9ක් දිනා ගනිමිනි. 

වසර 2003 පෙබරවාරි 15 වැනිදා මාතර නූපේ දී උපත ලැබූ ප්‍රමුද්‍රි භාෂණී මුණසිංහ පදිංචි වී සිටින්නේ මාතර, වැවහමන්දූව, සූරියආරච්චි පාර, තුන් වැනි පටුමඟේය. ඇයගේ පියා අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු වන සමන් තිලක් මුණසිංහය. මව ඉන්දිකා සමන්ති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශිකාවක ලෙස සේවය කරන්නීය. ප්‍රමුදිගේ එකම නැඟණිය සමුදි ඕෂධී ද මාතර සුජාතා විද්‍යාලයේ ඉගෙන ගන්නා අතර, 2024 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

ලෙමාෂා උදයාංගි දියණිය මාතරදී උපත ලබා ඇත්තේ 2003 වසරේ අගෝස්තු 19 වැනිදාය. එස්. එම්. පී. අයි. උපශාන්ත ඉඩම් හිමි වැවිලිකරුවකු වන අතර මව සුබෝධා විශ්‍රාමික ගුරුවරියකි. ලෙමාෂාට නැඟණියන් දෙදෙනකු සිටින අතර, වැඩිමහල් නැඟණිය ජනුනි ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන අතර, බාල නැඟණිය අනුදි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන්නීය.

2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් මේ දක්ෂ දියණියන් දෙදෙනා සිය ජයග්‍රහණ ගැන වඩාත් සතුටු වන්නේ එය ඔවුන් දෙදෙනා එක්ව ලැබූ ජයග්‍රහණයක් වන නිසාය.

"අපි පාඩම් කටයුතු කළේ හරිම විනෝදෙන්. පාළුවක් කාන්සියක් දැනුණේම නෑ. අපේ හීනය වුණේ වෛද්‍ය විද්‍යාලයට යන එක. උසස් පෙළ පන්තියට ඇතුළු වුණ දවසේ ඉඳන්ම ඒ අධිෂ්ඨානය අපේ හිතේ තිබුණා. ඒ ඉලක්කය හිතේ තියාගෙන ගොඩක් මහන්සියෙන් සහ කැපවීමෙන් වැඩ කළා. පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළා. එයින් ලැබුණු දැනුම අපට විභාගය ලියන්න උපකාර වුණා. අපේ මවුපියන්ගෙන් වගේම මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් සහ අමතර පන්ති පැවැත්වූ ගුරුවරුන් ඇතුළු හැම දෙනාම අපිට ලොකු ශක්තියක් වුණා. "

ප්‍රමුදි සහ ලෙමාෂා දියණියන් දෙදෙනාගේම අදහස එයයි. ඒ අතරෙන් ප්‍රමුදි දියණිය ජයග්‍රහණයේ සතුට වචනවලට පෙරළුවේ මෙලෙසිනි.

"එදා විභාග ප්‍රතිඵල ආව කියල දැනගත්තට මම ඒ වෙලාවෙම ප්‍රතිඵල බැලුවෙ නෑ. ඒ වෙද්දි අනිත් අංශවලින් දිවයිනෙන්ම පළමුවැනියා වුණ අය ගැන දැනගෙන හිටිය නිසා ජීව විද්‍යා අංශයේ පළමු වැනියා කවුද කියලා දැන ගන්න හැමෝම ලොකු උනන්දුවකින් හිටියා. ඒ වෙද්දි දෙවැනියා කවුද කියල දැනගෙන හිටියා. ගොඩක් අය මගෙන් කෝල් කරලා ප්‍රතිඵල අහන නිසා මම දුරකතනය ක්‍රියා විරහිත කරලා අම්මයි තාත්තයි ගෙදර එනකම් හිටියා. සාමාන්‍ය‍ෙයන් තාත්තා ඔෆිස් ගිහින් එද්දි ටිකක් රෑ වෙනවා. අම්මා හවස පහමාර විතර වෙද්දි එනවා. ඒ නිසා මම ප්‍රතිඵල බලන්න එයාලා ගෙදර එනකම්ම හිටියා. ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ මම දිවයිනෙන්ම පළමුවැනියා කියලා. ඒ වෙලාවෙ මට ගොඩක් සතුටු හිතුණා. මට වගේම මගේ මවුපියන්ට, අත්තම්මට, නංගිට ඒ සතුට හොඳටම දැනුණා. දැනගත්ත වෙලේ ඉඳන් ගොඩක් අය කතා කර කර සුබ පතන්න ගත්තා. ඒ සතුට කියන්න වචන නෑ. මම මේ ජයග්‍රහණය බලාපොරොත්තු වුණ දෙයක් නිසා මට ගොඩක් සතුටුයි."

ප්‍රමුදි දියණියගේ දෙනෙත් මත දිලෙන්නේ තුටු කඳුළුය. කුඩා වියේ සිටම ඉගෙනුමට දස්කම් දැක්වූ ප්‍රමුදි චිත්‍ර ඇඳීමටත්, බැඩ්මින්ටන්, පිහිනුම් සහ චෙස් ක්‍රීඩාවට ද හපන්කම් පෑවාය. බාලදක්ෂිකාවක මෙන්ම ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කළ සිය දියණියගේ ජයග්‍රහණය ගැන ප්‍රමුදිගේ මව ඉන්දිකා මෙසේ පැවසුවාය.

"පුංචි කාලෙ ඉඳලම දුවට එක අරමුණක් තිබුණා. ඒ තමයි අධ්‍යාපනයෙන් ඉහළටම යන හීනය. පුංචි කාලේ ඉඳලම අපි එයාගෙන් දැක්ක විශේෂ දේ එයා හැමදේම සැලසුම් කරලා කරන කෙනෙක්. මේ ජයග්‍රහණය එයාගේ කැපවීම නිසාම ලැබුණු දෙයක්. උසස් පෙළ විභාගය වෙනුවෙන් දුව වැඩ කළේ එයාම හදාගත්ත කාලසටහනකට අනුවයි. දවසකට කරන වැඩ ප්‍රමාණය, සතියකට කරන වැඩ ප්‍රමාණය සහ මාසයකට කරන වැඩ ප්‍රමාණය කියලා ඇය කාලසටහනක් හදාගෙන ඒ අනුව වැඩ කළා. විෂය නිර්දේශය ඉවර වුණාට පස්සේ දුව පසුගිය ප්‍රශ්න පත්‍ර ගොඩක් කළා. අපි පුළුවන් උපරිමයෙන් දුවට උදව් කළා. මමත් මහත්තයත් දෙන්නම රැකියාවලට යන නිසා මගේ අම්මා තමයි ප්‍රමුදි දුවව ගොඩක් බලා ගත්තෙ. මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. "

ප්‍රමුදිගේ මව එසේ කියද්දී ප්‍රමුදි දියණියගේත් ඇයගේ සමීප මිතුරිය ලෙමාෂා දියණියගේත් ඒ අපූරු මිතුදම ගැනත් අපි ඇයගෙන් විමසුවෙමු.

"පළමු ශ්‍රේණියේ ඉඳලා අපේ දුවයි ලෙමාෂා දුවයි එකම ඉස්කෝලෙට ගියේ. එයාලා ඉගෙන ගත්තෙ එකම පන්තියක නොවුණත් සාමාන්‍ය පෙළ විභාගයෙන් දුවලා දෙන්නම ඒ සාමර්ථ්‍යය 9ක් ගත්තට පස්සේ එයාලා උසස් පෙළට විෂයයන් තෝරා ගන්නකොට මමයි ලෙමාෂා දුවගෙ අම්මයි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වුණා. පාසලේ උසස් පෙළ පන්තියේදී අපේ දුවයි ලෙමාෂා දුවයි පන්ති දෙකකට වැටුණත් ඒ දෙන්නට එකතු වෙලා විභාගයට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන් ලෙමාෂා දුවගේ අම්මා එයාලා වෙනුවෙන් වට්ස්ඇප් ගෘප් එකක් හැදුවා. අපේ දුවලා එක්ක තවත් දුවෙක් ඒ ගෘප් එකේ පාඩම් කළා. අවුරුදු දෙකහමාරක් තුනක් තිස්සෙ දුවලා දෙන්නා අඛණ්ඩව කිසිම ප්‍රශ්නයක් නැතිව දෙන්නට දෙන්නා සාකච්ඡා කරමින් ඉගෙනීමේ කටයුතු කරගෙන ගියා. ගුරුවරුන්ගෙනුත් මේ දෙන්නට ලොකු සහයෝගයක් ලැබුණා."

ප්‍රමුදි දියණියගේ අඹ යෙහෙළිය වන ලෙමාෂා දියණිය පැවසුවේ තමාගේත් මිතුරියගේත් ජයග්‍රහණ ගැන හදවතින්ම සතුටු වන බවයි. ඇය පදිංචිව සිටින්නේ ද මාතර, නූපේ ප්‍රදේශයේය.

"පාසලේදීත් අමතර පන්තිවලදීත් විෂය නිර්දේශය සම්පූර්ණ කර තිබූ නිසා විභාග දිනය වන විට අපි හිටියේ හරිම සැහැල්ලුවකින්. ඒ සැහැල්ලු මනසින්ම තමයි අපි දෙන්නාම විභාගයට පිළිතුරු ලිව්වේ. මේ ජයග්‍රහණයේ සතුට ගැන කියන්න වචන නැති තරම්. මේ ජයග්‍රහණයේදී අපේ මවුපියන්, අපේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුභවතුන් දුන් ශක්තිය සහ ආදරය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. අපි ඒ අයට පින් දෙනවා." ලෙමාෂා දියණිය සිය සතුට එසේ වදන්වලට පෙරළද්දී ඇයගේ මව මෙසේ කීවාය.

"දුව පොඩි කාලේ ඉඳලම ගොඩක් දක්ෂ දරුවෙක් බව පෙන්නුම් කළා. දුවලා දෙන්නගෙම අරමුණු සමාන නිසා ඒ දෙන්නා එකටම ඒ ගමනට යොමු කරවන්න මමත් ප්‍රමුදි දුවගෙත් අම්මා තීරණය කළා. ඒ තීරණය ඒ දෙන්නගෙම ජීවිතවලට යහපතක් කළා කියලා අද හිතෙනවා. ඒ ගැන හරිම සතුටුයි."

මව එසේ කියද්දී අපි ලෙමාෂා දියණියගෙන් විමසුවේ විභාගය සඳහා ඇයත් මිතුරියත් සූදානම් වූ ආකාරය ගැනයි.

"මුල ඉඳලම අපි දෙන්නා වැඩ කළේ සැලසුමකට. වැඩ ගොඩගහ ගන්නෙ නැතුව එදිනෙදා වැඩ එදාම කළා. නැත්තන් විභාගෙ ළංවෙද්දි ආතතිය වැඩිවෙන බව අපි දැනගෙන හිටියා. ඒ නිසා මුල ඉඳලම පිළිවෙළට වැඩ ටික කරගෙන ගියා. කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන ඉලක්කය තමයි අපි දෙන්නගේ හිතේ තිබුණෙම. ඒ නිසා ඒ වෙනුවෙන්ම මහන්සි වෙලා වැඩ කළා. කොවිඩ් කාලේ නම් පොත්පත් කියෙව්වා, චිත්‍රපට බැලුවා. ඒත් පාඩම් වැඩ අතපසු කළේ නැහැ. අම්මා තාත්තා සහ නංගිලාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ඉස්කෝලෙන් ලැබුණු සහයෝගය විශේෂයෙන් මතක් කරන්නම ඕනේ.

විභාගයට සූදානම් වන නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ, මොන තරම් බාධක ආවත් තමන්ගේ අරමුණු අතාරින්නෙ නැතුව එකම අරමුණකින් වැඩ කරගෙන යනවා නම් කිසිම විභාගයක් අසමත් වෙන්නෙ නැහැ. අභියෝග ආවට අපි කරන වැඩ නතර කරන්න නරකයි. විභාගෙදිත් එහෙමයි. විභාගෙ ළංවෙලා පාඩම් කරන්න බලාගෙන හිටියොත් අපිට පාඩම් කරන්න වෙලාව මදි වෙනවා. ඒ නිසා උසස් පෙළ පන්තියට ඇතුළත් වුණ දවසෙ ඉඳන්ම ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළොත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්."ලෙමාෂා කී වදන් ප්‍රමුදි ද සනාථ කළේ මෙලෙසිනි.

" විභාගයට යන්න කලින් පාඩම් කරලා අවසන් කරලා සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන්න."

තිර අදිටන, නොසැලෙන ඉලක්ක සහ කැපවීමෙන් කටයුතු කර උසස්පෙළ කඩඉම ජයගත් ප්‍රමුදි සහ ලෙමාෂා අනාගතයේදී රටට වැඩදායී වෛද්‍යවරියන් ලෙස අප හමුවනු ඇත. තම අපේක්ෂාව මනෝ විද්‍යා අංශයෙන් ඉහළම තලයකට යෑම බව අපේ කකාබහ අවසන් කරන්නට මත්තෙන් ප්‍රමුදි කීවාය.

ප්‍රමුදිටත් ලෙමාෂාත් උසස් පෙළ කඩඉම ජයගන්නට විසල් ශක්තියක් වූ වසර 13ක් ඔවුන් ඉගෙනගත් මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනි හේමන්තිමාලා වනිගසිංහ ඔවුන් දෙදෙනා ඇතුළු විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සියලු සුජාතා දියණියන් ගැන කතා කළේ දැඩි සතුටකින් සහ අභිමානයකින් යුතුවය.

"අවස්ථා කීපයකදීම සුජාතා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් පළමු තැන දිනූ දක්ෂ දරුවන් බිහිවී තිබෙනවා. ඒ සාර්ථකත්වය ලබාගැනීමට අපේ පාසලට අවස්ථාව ලැබුණේ ඒ වෙනුවෙන්ම අප අනුගමනය කරන විශේෂ ක්‍රියාමාර්ග නිසයි. කොවිඩ් වසංගතය ඇතුළු අභියෝග රැසක් මැදයි අපි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. කොවිඩ් සමනය වෙද්දි අපි සෞඛ්‍යාරක්ෂිත ලෙස දරුවන් පාසලට ගෙන්වාගෙන ඉගැන්වීම් කටයුතු සිදු කළා. පාසලේ උසස් පෙළ පන්තියට පැමිණෙන ළමුන්ගේ සහභාගීත්වය අඩුවුණත් දිනපතා පාසල් පැමිණි සිසුවියන් සියලු දෙනාම වෛද්‍ය පීඨයට සහ ඉංජිනේරු පීඨයට තේරී තිබෙනවා. එය මටත් මගේ ආචාර්ය මණ්ඩලයටත් විශාල සතුටක්. අපේ පාසලේ දක්ෂ ගුරු මණ්ඩලය ඉතාම කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු කළා වගේම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවස්ථා කිහිපයක්ම පාසලේදී දරුවන්ට ලබා දුන්නා. ඒ වගේම දරුවන්ට අපි පාසලේ සියලු පහසුකම් සම්පාදනය කර තිබෙනවා. මේ සියලු කරුණු දරුවන්ගේ විශිෂ්ට ජයග්‍රහණය සඳහා හේතු වූ බව මගේ විශ්වාසයි. මමත් ආචාර්ය මණ්ඩලයත් ඔවුන්ට හදවතින්ම ආශීර්වාද කරනවා"


Comments