ආගමික සංහිඳියාව වැපිරූ දේශපාලන සලකුණ | සිළුමිණ

ආගමික සංහිඳියාව වැපිරූ දේශපාලන සලකුණ

හිටපු කථානායක අල්හාජ් ඇම්. ඒ. බාකීර් මාකාර් යනු දේශපාලනයේ අද්විතීය චරිතයකි. විවිධ ආගමිකයින්ගෙන් සමන්විත බේරුවල ඡන්ද කොට්ඨාසයේ බහුතරයේ ආශිර්වාද දිනා ගැනීමට භාග්‍ය උදාකර ගත්තේ ඔහුගේ උතුම් ආදර්ශවත් ක්‍රියාදාමයය.

1917 මැයි මස 12 වෙනිදා බේරුවල මරදානේ “හකීම් විලා” හිදී මොලොව එළිය දුටු බාකීර් මාකාර්ගේ මාපියන් වූයේ, මොහොමඩ් මරික්කාර් හා රාහිලා උම්මාය. බේරුවල මරදානේ පිහිටි ශ්‍රී ලංකාවේ පළමුවෙනි මුස්ලිම් බාලිකා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් පසුව කොළඹ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයටත් ඇතුළත් විය.

ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා ත්‍රිත්වයම මැනවින් හැදෑරීම නිසා පාසලේ පුස්තකාලයේ අධිපති ධුරයට ගුරුවරු බාකීර් මාකාර්ව පත්කර ගත්හ. පාසලේ විවාද කණ්ඩායමේ නායකයා වූ අතර ප්‍රධාන ශිෂ්‍ය නායකයාද විය.

කනිෂ්ඨ පාඨමාලා විභාගයෙන් සමත්ව කොළඹ සහිරා විද්‍යාලයට ඇතුළත් වූ අතර එහි වූ “මජ්ලිස්” නම් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායක විය. සිංහල, දෙමළ සාහිත්‍ය සංගම්වල සභාපති ධූරය මෙන්ම “ක්‍රෙසන්ට්” නම් විද්‍යාලයීය සගරාවේ ප්‍රධාන සංස්කාරක ධූරයද ඔහු හෙබ වූයේය.

1939දි කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා කළුතර අධිකරණයේ නීතිඥවරයෙකු ලෙස සේවය කළ අතරතුර බේරුවල නගර සභාවට සභිකයින් තෝරා ගැනීමේ මැතිවරණයෙන් ජයගෙන 1950 දී නාගරික මන්ත්‍රීවරයෙක් බවට පත්විය. අනතුරුව බේරුවල නගරාධිපති ධුරයද, පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක, කථානායක, අමාත්‍ය හා ආණ්ඩුකාර ආදී විවිධ වූ තනතුරු ඉසුලුවේය.

අඩ සියවසකටත් අධික දේශපාලන ගමන් මගේ ජය පිට ජය හිමිකර ගන්නට භාග්‍ය උදාකර ගත්තේ අන් කිසිවක් නිසා නොව බාකීර් මාකාර් තුළ වූ ශ්‍රේෂ්ඨ ගුණාංග නිසාමය.

පරණ පාර්ලිමේන්තුවේ අන්තිම කථානායක ලෙසත්, අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක ලෙසත්, පාර්ලිමේන්තුවේ අය වැය විගණකාධිපතිවරයා ලවා පරීක්ෂා කරලීමේ ආරම්භකයා ලෙසත්, බාකීර් මාකාර් ඉතිහාසගතව ඇත.

බේරුවල නගර සභාවේ සභාපතිවරයා වූ අවධියේ රාජ්‍ය භාෂාව පිළිබඳ රට තුළ විශාල ආන්දෝලනයක් ඇති වන්නට විය. විවිධ අදහස් පළවෙද්දී නොබියව “සිංහල රාජ්‍ය භාෂාව විය යුතු” යැයි යෝජනාවක් සම්මත කර ගැනීමට මෙතුමා එඩිතර විය. එපමණක් නොව සිය දරුවන්ටද සිංහල භාෂාවෙන් ඉගෙනීමට සැලැස් වූ අතර දෙටු පුත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් කොළඹ ආනන්ද විද්‍යාලයටත්, කනිටු පුත් යසර් කොළඹ රාජකීය විද්‍යාලයටත්, දියණියන් වන ඩීනා, ෂමීම්, ෆසීහා, ෆාහිමා යන අය බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයටත්, නයිලා දියණිය දර්ගා නගරයේ මුස්ලිම් බාලිකා විද්‍යාලයටත්, හසීබා දියණිය බිෂොප් විද්‍යාලයටත්, සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ඇතුළත් කළේය.

ඓතිහාසික වෙද පරපුරකින් පැවැත එන මෙතුමා කිසි කලෙක මුදල් පස්සේ දුව ගිය දේශපාලඥයෙකු නොවූවේය. ඔහු ජාතික සමගිය එකමුතුව සංහිඳියාව අගය කළ පමණක් නොව ජීවිත පරිත්‍යාගයෙන් එය මුළු ආසනය පුරාම ආරක්ෂා කර ගත්තේය. බෞද්ධ භික්ෂුන්, කතෝලික පූජකතුමන්, ඉස්ලාම් මව්ලවිවරුන් ඉතා සමීප ඇසුරට ගෙන ජාතික සමගිය බිඳෙන සංහිඳියාව පළුදු වෙන කතාවක් කිසිදා කිවේ නැත.

උදාර අමිල සේවාවක් සිදු කළ හිටපු කථානායක බාකීර් මාකාර් වර්ෂ 1997 සැප්තැම්බර් මස 10 වෙනිදා දැයෙන් සමුගත්තේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති හේරස් ප්‍රනාන්දු

Comments