ලංකාවේ ක්‍රිකට් තරග පාවා දෙන සෙල්ලමේ සචිත්‍ර පිටුපස සැඟවුණු කෙළිකාරයෝ | සිළුමිණ

ලංකාවේ ක්‍රිකට් තරග පාවා දෙන සෙල්ලමේ සචිත්‍ර පිටුපස සැඟවුණු කෙළිකාරයෝ

 ක්‍රීඩාව යනු අද ඇතැමුන්ට මුදල් ගලා එන සූදු ව්‍යාපාරයක් බවට පත්ව හමාරය. ඒ අතර ක්‍රිකට්වලට ඇත්තේ ලොකු ඉල්ලුමකි. ක්‍රිකට් බිලිගන්නට මාන බලමින් සිටින්නේ බුකී කාරයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය රටවල ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම අද වන විට ලොකුම සූදුව බවටද පත්ව හමාරය. එය අපේ රටටත් එක හා සමානව පොදුය. ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට අශ්වයන්ට ඔට්ටු අල්ලනවාට වඩා ක්‍රිකට්වලට ඔට්ටු අල්ලන්නට වැඩි තරගයක් බුකීවල පවා ඇත්තේ එබැවිනි. ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දූෂණ මර්දන ඒකකයක් පවා ස්ථාපිත කර ඇත්තේ මෙවැනි සූදු අන්තුවන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීමටය.

 

සූදු අන්තුවෝ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට බැල්ම හෙළන්නේ 96 ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟිනි. එම සූදු අන්තුවන්ගේ උවමනා එපාකම් මත සිදු වූ තරග පාවාදීම් ගැන විටෙන් විට කතාබහ ඇතිවූවත් ඒ පිටුපස සිටින බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවක් නම් ඉතිහාසය පිරිස්සීමේදී සොයා ගන්නට නැති තරම්ය.ඒ ක්‍රීඩා වංචා සහ දූෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපේ රටේ නිසි යන්ත්‍රණයක් නොවූ නිසා විය හැකිය. 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙමින් ක්‍රිඩාව හා බැඳුණු වංචාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අලුත් නීතියක් අපේ රටේ නීති පොතට එක්වන්නේ එබැවිනි. ඒ ක්‍රිකට් සඳහාම පමණක් නොව, අපේ රටේ ඇති සෑම ක්‍රිඩාවකම වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මක වන්නටය.

මෙම පනත ප්‍රකාරව ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයට අනුයුන්ත විශේෂ ඒකකය ස්ථාපිත කරනු ලබන්නේ 2020 වසරේ පෙබරවාරි 15 වෙනිදාය. ඒ “ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන“ ඒකකය නමිනි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ භූමියේ ඇති ගොඩනැඟිල්ලක මෙම ඒකකය ස්ථාපිත කරනු ලබන්නේ විශේෂ පොලිස් ඒකකයක් ලෙසනි. පොලිස් ඒකකයක් ලෙස හඳුන්වා දුන්න ද මෙම ඒකකය විමර්ශන සම්බන්ධයෙන් වගකිව යුතු වූයේ පොලිස්පතිවරයාට නොව, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. ලොකු බලයක් සහිතව ස්ථාපිත කළ මෙම ඒකකය ක්‍රියාත්මක වූයේ පොලීසියෙන් නිදහස් වූ ස්වාධීන විමර්ශන අංශයක් ලෙසිනි. එහි අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරීන් අතළොස්සක් අතර සිටින ජගත් ෆොන්සේකාවය. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති සංචාරක පොලිස් අංශය සහ පොලිස් නාවික අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ ඔහුය.

ක්‍රිඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකක ස්ථාපිත කිරීමත් සමඟ ක්‍රීඩාව හා බැඳුණු සූදු අන්තුවෝ ජගත් ෆොන්සේකාව බිලිබා ගන්නට මාන බැලූ වාර ගණන බොහෝය. ඇතැම් ක්‍රිඩා සංගම්වල ලොකු උදවිය ජගත් ෆොන්සේකාව විවිධ ආකාරයට තමන් වෙත නම්මා ගන්නට පවා උත්සාහ දරා තිබුණේය. ආන්දෝලනයට තුඩුදුන් 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය නැරඹීමට ගුවන්ටිකට්පත් ඇතුළු පහසුකම් පවා ජගත් ෆොන්සේකාට වෙන්ව තිබුණේ ද ඒ අනුවය. ලැයිස්තුවේ නම දමා තිබුණාට ජගත් ෆොන්සේකා ඊට ද හසුවූයේ නැත. ඒ වන විටත් ඔහු සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී ඇති ලොකු වංචාවක් ගැන විමර්ශනයකට මැදිවය. තරග පාවාදීමේ චෝදනාවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දඟ පන්දු යවන්නෙක් වන සචිත්‍ර සේනානායක පසුගිය 06 වෙනිදා අත්අඩංගුවට පත්වන්නේත් රක්ෂිත බන්ධනාගාරගත වන්නේත් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ස්ථාපිත කිරීමත් සමඟ ක්‍රීඩාව හා බැදුණු වංචා දූෂණ ගැන බොහෝ තොරතුරු මෙම ඒකකයට ගලා එන්නට වූයේ ක්‍රීඩාව මෙතරම් දූෂිත වී තිබේ දැයි හිතා ගන්නටවත් බැරි තරමටය. මෙම ඒකකයට ක්‍රිකට් ක්‍රීඩක සවිත්‍ර සේනානායකට එරෙහිව පැමිණිල්ල ලැබෙන්නේ 2020 නොවැම්බර් 28 වෙනිදා හෝ ඒ ආසන්න කාල වකවානුවකදීය. ඒ ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ඇලෙක්ස් මාෂල්ගෙනි. එම පැමිණිල්ලෙන් කියැවෙන්නේ 2020 ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට තරග පාවාදීමකට සචිත්‍ර යෝජනා කර ඇති බවය. ‍

ජගත් ක්‍රිකට් කවුන්සලයේ ඇලෙක්ස් මාෂල්ගේ එම පැමිණිල්ල ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයට ලැබෙන්නට පෙර යොමුවී තිබුණේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නාමල් රාජපක්ෂටය. විමර්ශන ඒකකයට සිය ලේකම්වරයා මඟින් එම පැමිණිල්ල යොමුකරනු ලබන්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඒකකය විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනයක් ආරම්භ කරනු ලබන්නේ ඊට ජගත් ක්‍රිකට් කවුන්සලයේ පවා විශේෂ අවධානයක් යොමුවී තිබුණු බැවිනි. තරග පාවාදීමකට සචිත්‍ර කර තිබුණු යෝජනාව ගැන ජගත් ක්‍රිකට් කවුන්සලය දැනුවත් කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විසිනි. ඒ වන විට සචිත්‍ර සිටින්නේ විදෙස්ගතවය. තරග පාවාදීමකට ධම්මිකට සහ තරිඳුට යෝජනාකර ඇත්තේ පිටරටක සිටය. විටෙන් විට ඔහු මෙම ක්‍රීඩකයන් දෙදෙනාට දුරකථන ඇමතුම් දෙමින් තරග පාවාදීමකට ඇවිටිලි කරන්නේ වට්ස් ඇප් ඇමතුම් ඔස්සේය. එහිදී සචිත්‍රගේ දැනුම්දීමට අනුව ධම්මික ප්‍රසාද්ට බුකීකාරයෙක් බව කියැවෙන “ස්ටැබී“ නැමැති පුද්ගලයෙකුද වට්ස්ඇප් ඇමතුම් ඔස්සේ ඇමතුම් දෙමින් තරග පාවාදීමකට ඔහුව පොලඹවනු ලැබීය. විදේශිකයෙක් බවට අනුමාන කරනු ලබන එම පුද්ගලයා සචිත්‍රට යෝජනා කරනු ලබන්නේ එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කිරීමේදී අඩු දස්කම් දක්වන ලෙසය.

“ ඔයාලට සෙල්ලම් කළාම ලැබෙන්නේ ඩොලර් 15,000යි. අපි කියන විදිහට ක්‍රීඩා කළොත් ඩොලර් 40,000ක් 60,000ක් විතර මුදලක් ඔයාට ලැබෙයි“ ධම්මික ප්‍රසාද්ව තමන් වෙත නම්වා ගැනීමට “ස්ටැබ්“ යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා උත්සාහයක නිරත වන්නේ එසේය.

තරිඳු රත්නායනටද ලැබී තිබුණේ මෙවැනිම දුරකතන ඇමතුමකි. එම ඇමතුම දුන් පුද්ගලයා පෙනී සිටියේ “ෂහීඩ්“ ලෙසිනි. මේ දෙදෙනාම එක් අයෙක්ද දෙදෙනෙක්ද යැයි කියා මෙතෙක් පැහැදිලි අනාවරණයක් නැත. නමුත් ඔවුන් ක්‍රිකට් හා බැඳුණු ජාත්‍යන්තර බූකී කරුවන් බව පැහැදිලිවම පෙනී ගොස් හමාරය. ඒ අයගේ නියෝජිතයා ලෙස සැලකෙන්නේ සචිත්‍රය.

තරග පාවාදීමකට කළ මේ යෝජනාව ගැන සිය කණ්ඩායම් පුහුණුකරු රංගන හේරත්ව ද දැනුවත් කරන ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක අවසානයේදී මේ ගැන ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට කියන්නේ දිගින් දිගටම තරග පාවාදීමට ඒ අය ඇවිටිලි කරන්නට වූ බැවිනි.

මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද මේ ගැන තොරතුරු සොයා බලමින් මූලික විමර්ශනයක් කරන්නට අමතක නොකළේය. ඒ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායකව අවස්ථා කිහිපයක්ම සම්බන්ධ කර ගනිමිනි. එහිදී ඔවුන්ට ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයෙන් උපදෙස් ලැබෙන්නේ හැම දුරකතන ඇමතුමක්ම පටිගත කර ගන්නා ලෙසය. වට්ස්ඇප් ඇමතුම් පටිගත කර ගන්නා තාක්ෂණික පහසුකම් පවා මෙහිදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ලැබී තිබුණු බැවින් ඔවුන් ඒ හැම ඇමතුමක්ම පාහේ පටිගත කර ගනු ලැබුවේය. ඒ අතර වීඩියෝ ඇමතුම් පවා තිබුණේය. එම පටිගත කළ ඇමතුම් සියල්ලක්ම ඒ අය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට ලබා දුන්නේ සිය ක්‍රීඩාවේ පැවැත්ම ඇත්තේ ක්‍රීඩාවේ දූෂණයට එරෙහිවීම මත බව වටහාගෙනය.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ඇලෙක්ස් මාෂල් 2020 වසරේ නොවැම්බර් 28 වෙනිදා මෙම තරග පාවාදීම ගැන සිය පැමිණිල්ල මෙරට බලධාරීන්ට යොමු කරනු ලබන්නේ ද පටිගත කළ එම වට්ස්ඇප් ඇමතුම් සහ වීඩියෝ සංවාද මෙන්ම කෙටි පණිවුඩ ගොන්නක්ද සමඟිනි. ඒ අතර ඇති වට්ස්ඇප් ඇමතුම් 12කම ඇත්තේ තරග පාවාදීමට ධම්මිකව පොලඹවා ගැනීමට කරනු ලබන උත්සහයන්ය. වැඩිම ඇමතුම් ගණනක් මෙහිදී ලබාදී තිබුණේ ද ධම්මික ප්‍රසාද්ටය. තරිඳුට වඩා මෙම බූකීකරුවන් උත්සාහගෙන ඇත්තේ ධම්මිකව පොලඹවා ගැනීමට බව එම හඬපට විමර්ශනයේදී මේ වන විටත් පෙනී ගොස් හමාරය. තරග පාවාදීමකට ධම්මිකට යෝජනා ක‍ෙරන එක් වීඩියෝවක් විනාඩි 49ක් පුරාවට දිව යන්නෙකි. සචිත්‍ර කොටුවන්නේ එම වීඩියෝ පටයෙනි.

මේ හැම දෙයක් ගැනම ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් දීර්ඝ ලෙස ධම්මිකගෙන් මෙන්ම තරිඳුගෙන් ප්‍රකාශ ලබා ගත්තේය. එහිදී තරිඳු විමර්ශකයන් හමුවේ පවසා තිබුණේ දිගින් දිගටම තරග පාවාදීමකට තමාට ඇවිටිලි කරනු ලැබුවේ ෂහීඩ් නැමැති පුද්ගලයා බවය. ෂහිඩ්ගෙන් ලැබෙන එම ඇමතුම් හිසරදයක් වූ බැවින් තමාගේ ජංගම දුරකතනයට එම අංකයෙන් ලැබෙන ඇමතුම් අවහිර කිරීමට පියවර තරිඳු වගබලාගෙන තිබුණේය.

“ඇයි ඔයා ෂහිඩ්ගේ නම්බර් එක බ්ලොක් කළේ. උඹලට උදව්වක් කරන්න ගියාම පණ්ඩිතයෝ වෙන්න හදනවා. මේ ගැන කාටවත් කියන්න එපා. උඹට එවපු හැම මැසේජ් එකක්ම මකල දාපන්“ ෂහිඩ්ගේ දුරකතන අංකය අවහිර කිරීම නිසා උරණ වන සචිත්‍ර දිනක් තරිඳුට සත්තමක් දමන්නේ එසේය.

මේ හැම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන සිදුකළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය තරිඳුගෙත් ධම්මිකගේත් ජංගම දුරකතන පවා වෝහාරික පරීක්ෂාවකට ලක් කරනු ලැබීය. ඒ තුළින් පවා ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ මේ හැම දෙයක් ගැනම සචිත්‍රගෙන් ප්‍රශ්න කරන්නටය.

සචිත්‍ර තමාට ඇති හැම සම්බන්ධයක්ම ඒ වන විටත් යොදා තිබුණේ ප්‍රශ්න කිරීම්වලින් බේරී මෙම විමර්ශනය යට ගැසීමට උත්සහායක් දරමිනි. එහෙත් ඔහු හිතපු තරම් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ බව දැනගත් පසු ඔහු අධිකරණය හමුවේ අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටින්නේ අත්අඩංගුවට ගැනීමෙන් බේරීමටය.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය පොලිසියක කටයුතු සිදුවන ආකාරයට නොව. අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මතය. ඒ වන විටත් විමර්ශන සිදුවෙමින් තිබුණේ නීතිපතිවරයාගෙන් විටෙන් විට ලබාන්නා උපදෙස්වලට අනුව ද යමිනි. සචිත්‍ර අත්අඩංගුවට ගැනීමක් ගැන එම අවස්ථාවේදී ලැබුණු කිසිදු උපදෙසක නොවීය. එහෙත් සචිත්‍ර සිටියේ බියෙන් සලිතවය. ඒ ඇයි දැයි දන්නේ ඔහු පමණි. අධිකරණයෙන් ඔහු ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය පවා අවසානයේදී ප්‍රතික්ෂේප වන්නේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටීම හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරි නොකරමිනි. ඒ අනුව ඔහු සිය නීතිඥවරු සමඟ සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ පිහිටි ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට යන්නේ 2021 මාර්තු 03 වෙනිදාය. ඒ අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප වූ දිනට පසුදාමය.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය එදා සවිත්‍රගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. එම ප්‍රශ්න කිරීම දවසකින් දෙකකින් හමාර වූයේ නැත. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අවස්ථා කිහිපයක්ම සචිත්‍රට එන්නට සිදුවිය. ඒ අතර ඔහු පරිහරණය කරනු ලබන ජංගම දුරකතන පවා ලබාගෙන එම දුරකතන වෝහාරික විශ්ලේෂණයකට පවා විමර්ශන නිලධාරීන් යොමු කරනු ලැබීය.

සචිත්‍ර විසින් තමා පරිහරණය කරනු ලබන දුරකතන බව පවසමින් ජංගම දුරකතන දෙකක් විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබුණ ද ඒ සැබෑ ලෙසම ඔහු පරිහරණය කළ දුරකතන නොවීය. ඒ බව අනාවරණය වන්නේ වෝහාරික විමර්ශනයේදීය. ඒ අනුව විමර්ශන නිලධාරීන් දිගින් දිගටම සැබෑ දුරකතනය ඉල්ලා සිටින විට ඔහු එය නොදී මඟ හරිමින් සිටින්නට වූයේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් දෙන්නෙක් බිලි බා ගනිමින් වැඩේ ගොඩින් බේරා ගැනීමටය. ඒ අතර ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කියන්නට වූයේ තමාගේ ජංගම දුරකතනය ඔරු පදින්නට ගොස් ජලයට වැටී අතුරුදන්වූ බවය. ඒ බව කීවේද සැබෑ ලෙසම ඔහු පරිහරණය කළ ජංගම දුරකතනය විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින විටදීය. බොරු දුරකතන දෙකක් දෙන විටවත් ඔහු සැබෑ දුරකතනය ගඟේ වැටුණු බවක් කීවේ නැත. සචිත්‍ර විමර්ශන නිලධාරීන් හමුවේ විශ්වාස කළ නොහැකි බෝ දේවල් ඒත් එක්කම කියා තිබුණේය.

මෙම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ඒ වන විට කටයුතු කරමින් සිටි ජගත් ෆොන්සේකා කාලයක්ම සේවයේ නිරතව සිටියේ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේය. එකල ත්‍රස්තවාදීන්ට එරෙහිව පමණක් නොව, පාතාල අපරාධකරුවන්ට එරෙහිවත් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ක්‍රියාත්මක විය. ඒ නිසා ඔහුට හැම පැත්තෙන්ම තොරතුරු ලැබෙන හොඳ බුද්ධි ජාලයක් තිබුණේය. විමර්ශන ඒකකයේ නිලධාරීන් බිලිබා ගැනීමට සචිත්‍ර ලොකු උත්සහයක නිරතවන බව ජගත් ෆොන්සේකාට තොරතුරු ලැබෙන්නට ගත්තේ එම බුද්ධි ජාලයේ සිටි ඔත්තුකරුවන් කිහිපදෙනෙකු මඟිනි. ඇතැම් නිලධාරීන්ගේ ගේ දොර පිහිටා ඇති ප්‍රදේශවල පවා සචිත්‍රගේ සමීපතමයින් කරක් ගසමින් සිටින බවට පවා තොරතුරු ජගත් ෆොන්සේකාට එම තොරතුරු කරුවන්ගෙන් ලැබෙන්නට විය. තමා යටතේ සිටින නිලධාරීන් ගැන විශ්වාසයක් තිබුණ ද ජගත් ෆොන්සේකා මෙහිදී කල්පනා කරනු ලබන්නේ පුංචි වරදකටවත් මෙහිදී ඉඩ නොදිය යුතු බවය. ඒ නිසාම මෙම විමර්ශනයට අදාළ ගොනුව තමාගේ අධීක්ෂණය මත තබා ගැනීමට ඔහු වග බලා ගත්තේය. සචිත්‍රට අද ගැලවිල්ලක් ලැබී නැත්තේ එබැවිනි.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සචිත්‍ර සම්බන්ධයෙන් කළ විමර්ශන ගොනුව නීතිපති වෙත යොමු කරනු ලබන්නේ ද 2021 වසරේදීය. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය සම්බන්ධයෙන් වූ විමර්ශනයක ගොනුවක් ද ඇතුළුව ගොනු 04ක්ම විටෙන් විට නීතිපති වෙත යොමු කිරීමට ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පියවර ගත්තේය.

එසේ නීතිපතිවරයාගෙන් උපදෙස් පතමින් යොමු කළ එම ගොනු අතරින් නීතිපතිවරයාගෙන් පළමු උපදෙස ලැබෙන්නේ සචිත්‍රගේ ගොනුව සම්බන්ධයෙනි. ඒ නීතිපති වෙත එම ගොනුව යොමුකර වසර දෙකකට පමණ පසුවය. සචිත්‍රගේ ගොනුව සම්බන්ධයෙන් වූ ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට විමර්ශන අංශයට උපදෙස් ලැබෙන්නේ ද 2023 ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භයත් සමඟිනි. ඒ එම තරගාවලියට සමගාමීව ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියෙක් මෙරටට පැමිණ සචිත්‍ර සම්බන්ධයෙන් වූ විමර්ශනයේ ප්‍රගතිය ගැන සොයා බලමින් සිටියදී වීම විශේෂිතය.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඒ වන විට තිබෙන්නේ අක්‍රිය තත්ත්වයකට පත් වෙමිනි. එහි සේවයේ නිරත පොලිස් නිලධාරීන් බොහෝදෙනෙකු ස්ථාන මාරු කර තිබුණේය. ජගත් ෆොන්සේකා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීමත් සමඟ ඔහුව ද එම ඒකකයෙන් ඉවත් කර වෙනත් තැනකට දැමුවේය. ඒත් එක්කම ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පත්වන්නේ නාමික විමර්ශන අංශයක් බවටය. ඒ ක්‍රිකට් ඇතුළු තවත් ක්‍රීඩා කිහිපයක් සම්බන්ධයෙන් වූ දූෂණ වංචා ගොන්නක් ගැනම පැවති විමර්ශන ඇණ හිටවමිනි.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ස්වභාවික මරණයකට පත්වන්නට ඉඩදී බලධාරීන් බලා සිටියදී ඒ හැම දෙයක්ම කණපිට පෙරළෙන්නේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාගේ ලංකා ගමනයත් සමඟිනි. නැවතත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පණ ලැබෙන්නේ නව අධ්‍යක්ෂවරයෙක් පත් වෙමිනි. ඔහු පොලිස් අධිකාරී ජයනාත් වනසිංහය. සචිත්‍ර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ක්‍රියාත්මක වන්නේ ඒත් එක්කමය. නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන විට සචිත්‍ර සිටින්නේ රටින් බැහැරවය. අගොස්තු 14 වෙනිදා සචිත්‍රට එරෙහිය විදෙස් ගමන් තහනමක් පවා පැනවෙන්නේ ඔහු මෙරටට පැමිණ වැඩි කාලයක් ගතවන්නට මත්තෙනි. ඒ පැමිණි සචිත්‍ර කට්ටි පනිමින් සිටියේ අත්අඩංගුවෙන් මිදෙන්නට මඟක් සොයමිනි. නීතීඥ සහය ඇතිව පසුගිය 06 වෙනිදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට ඔහු පැමිණෙන්නේ වෙන කරන්නට යමක් ඔහුට නොමැති වූ තැනය. නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුව සචිත්‍ර අත්අඩංගුවට ගැනෙන්නේත් ඒ පැමිණ භාරවීමෙන් අනතුරුවය. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසිනි. ඉතිහාසයට මෙම අත්අඩංගුවට ගැනීම එක්වන්නේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ක්‍රීඩාව හා සම්බන්ධ දූෂණයක් සම්බන්ධයෙන් ක්‍රීඩකයෙක් අත්අඩංගුවටගත් පළමු අවස්ථාව ලෙසිනි. මෙම විමර්ශන අංශය ආරම්භ කර එතෙක් මෙතෙක් කාලය තුළ සිදු වූ පළමු අත්අඩංගුවට ගැනීමට වන්නේ මෙයය.

අත්අඩංගුවට ගත් සචිත්‍රගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවටය. එහිදී නීතිපති වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වනු ලබන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ය.

විමර්ශන නිලධාරීන් විසින් හෙළිකර ගත් හැම තොරතුක් ගැනම ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වන්නට ආරම්භයක් ගනු ලබන්නේ "ස්වාමීනි... ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශනය සිදු කෙරෙනවා. 2020 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇලෙක්ස් මාෂල් නැමැති නිලධාරියකු එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ වුණේ. එම පැමිණිල්ලට අනුව 2020 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට අඩුවෙන් ක්‍රීඩා කිරීමට හෝ පක්ෂග්‍රාහී ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු පෙලඹවීම් සිදු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වුණා” යැයි සඳහන් කරමිනි.

“මෙහිදී ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට "ස්ටැබී" නැමැති පුද්ගලයකු විදේශයක සිට දුරකතනයෙන් කතා කර තිබෙනවා. තමන් කියන ආකාරයට ක්‍රීඩා කළොත් ඊට වඩා වැඩි මුදලක් උපයාගත හැකි බවත් මෙම පුද්ගලයා ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකාර සචිත්‍ර සේනානායක නැමැති ක්‍රීඩකයා ද මැදිහත් වී ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට දුරකතන ඇමතුම් 12ක් පමණ ලබා දී බලපෑම් කර තිබෙනවා."යැයි පවසමින් ඒ ගැන දිලීප පීරිස් අධිකරණයේ අවධානයට ද යොමු කරනු ලැබුවේය. දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලබන්නේ ස්ටැබි සහ ෂහීඩ් යන දෙදෙනා ජාත්‍යන්තර බුකී කරුවන් බවය. ධම්මිකට හා තරිඳුට තරග පාවාදීමකට කතා කර ඇතැයි කියන්නේ ඔවුන් දෙදෙනාය. සචිත්‍ර මැදිහත් වන්නේ වැඩේ නොකෙරුණු බැවිනි. දිලීප පීරිස් මහතා පෙන්වා දෙන්නේ එම ජාත්‍යන්තර බුකීකරුවන්ගේ දේශීය නියෝජිතයෙක් ලෙස සචිත්‍ර කටයුතුකර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවය.

මෙහිදී තවත් විශේෂ කරුණක් අධිකරණය හමුවේ දිග හැරුණේය. ඒ සචිත්‍ර විසින් තරිඳුට පුද්ගලයකු අත විස්කි බෝතලයක් ලබාදීමක් ගැනය. ඒ පුද්ගලයා කවුරුන් දැයි සචිත්‍ර මුල් අවස්ථාවේදී හෙළි නොකළත් අධිකරණය හමුවේ පවසන්නේ ඒ තැනැත්තා වත්තල පදිංචිකරුවෙක් බවය. එම පුද්ගලයාව ඉදිරි සතිය තුළ විමර්ශන ඒකකය හමුවට ඉදිරිපත් කරන බවද අධිකරණයේදී සඳහන් වන්නේ සචිත්‍ර සම්බන්ධයෙන් වූ විමර්ශන තවමත් අවසන් නොමැති බවට ඉඟියක් පළ කරමිනි.

ඒ හැරුණු කොට සචිත්‍ර සම්බන්ධයෙන් වත්කම් විමර්ශනයක් ද ආරම්භ කිරීමට මේ වන විට අවධානය යොමුවී හමාරය. එහිදී ඔහුට අයත් අවන්හල ගැන පමණක් නොව, සමීපතමයෙන්ගේ දේපොළ ගැන ද විශේෂ අවධානයකට යොමු කරමින් විමර්ශනයක් ඉදිරියේදී සිදු කිරීමට ඇති බව ද අධිකරණයේදී දිග හැරුණු ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේය.

සචිත්‍ර සම්බන්ධයෙන් කෙරුණු තරග පාවාදීමකට කළ යෝජනාවට අදාළ මෙම විමර්ශනයේදී ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ක්‍රිකට් ක්‍රීඩාව හා බැදී ඇති සූදුව ගැන බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබුණේය. ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ පිරිසක් පස්සේ ද විමර්ශන නිලධාරීන් පන්නමින් සිටියේය. ඒ හැරුණු කොට සමාජයේ තවත් බලවත් පිරිසක් පස්සේ විමර්ශන නිලධාරීන් පන්නමින් සිටියේය. ඒ දේවල් ගැන වැඩි දුර විමර්ශනයක් සිදු නොවන්නේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රමයෙන් අක්‍රිය වන්නට වූ බැවිනි.

“මෙම ජාලය පිටුපස ප්‍රබල පුද්ගලයන් සිටින බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප විමර්ශන කළ යුතුයි.“ යැයි කියා දිලීප පීරිස් මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ ඒ ගැන විමර්ශන නැවතුණු තැනින් නැවත ඇරඹීමට ආරම්භයක් ද තබමිනි. .

. සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරාල අධිකරණය හමුවේ මෙහිදී පෙන්වා දෙන්නේ " ස්වාමීනි ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් එය ආරම්භ කළ යුත්තේ සචිත්‍ර සේනානායකගෙන් නොවෙයි. එය ආරම්භ කළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්.“ යැයි කියාය.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදාගන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විමර්ශනය කළ යුතුයි. පසුගිය දා නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඊට අනුග්‍රහය දැක්වූ බොහෝ ආයතන ඔට්ටු ඇල්ලීමේ නිරත ආයතන වෙනවා “ යැයි ද අධිකරණය හමුවේ සචිත්‍රගේ නීතීඥවරු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විමර්ශනයක අවශ්‍යතාව ද පෙන්වා දෙමිනි.

ඒත් එක්කම සචිත්‍රගේ නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔට්ටු තබන වෙබ් අඩවි ගණනාවක ලියාපදිංචි වී සිටින බවය.

“මාගේ සේවාදායකයා ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙක්. ඔහු මුදලට විවිධ කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරනවා. තම සේවාදායකයා පදිංචිය මගහැර විමර්ශනවලට සහාය නොදී සිටින බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. කැඳවීම් ලද සෑම අවස්ථාවකම මාගේ සේවාදායකයා විමර්ශන කණ්ඩායම් හමුවේ පෙනී සිටියා. අදත් ඒ ආකාරයෙන්ම පෙනී සිටීමක් කළා. විමර්ශන පැවැති පසුගිය කාලසීමාව තුළ ඔහු හයවතාවක් විදේශගතව ආපසු මෙරටට පැමිණියා. විමර්ශන මඟ හැර පළා යාමට සූදානම්ව සිටින පුද්ගලයෙක් නම් විදේශගත වී මේ ආකාරයෙන් ආපසු මෙරටට පැමිණෙන්නේ නෑ. ඔහු දෙදරු පියෙක්.“ යැයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහිදී සචිත්‍රගේ නීතීඥවරයා දැඩි උත්සාහයක නිරත වන්නේ සචිත්‍රට ඇපයක් ලබා ගැනීමටය.

ඊට දිලීප පීරිස්ගෙන් කිසිදු ඉඩක් නොවීය. “මෙම සැකකරු පදිංචිය මඟහැර විමර්ශනවලට සහය නොදී සිටින පුද්ගලයෙක්. විමර්ශනවලට අවශ්‍ය දුරකතනයක් ඉල්ලා සිටියත් ඔහු එම දුරකතනයක් ලබා දුන්නේ නෑ. ඔරු පදින අවස්ථාවේ ජලයට වැටී එය විනාශ වූ බව ප්‍රකාශ කර තිබෙනවා.“ යැයි පවසමින් අධිකරණයේ විශේෂ අවධානයකට ඒ ගැන යොමු කරමින් සචිත්‍රට ඇප නියම කළ හොත් ඔහු අධිකරණය මඟහැර පලා යෑමේ ප්‍රවණතාවත් ඇතැයි පෙන්වා දෙමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

සචිත්‍රව ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කරනු ලබන්නේ මේ හැම කරුණක් කෙරෙහිම සලකා බලාය. ඒත් එක්කම තවත් නියෝගයක් නිකුත් කරනු ලබන්නේ සචිත්‍රව ලබන 13 වෙනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. ඒ විනාඩි 49ක් පුරාවට ධම්මික සමඟ සචිත්‍ර කතාබහක නිරත වන වීඩියෝ ඇමතුමට අදාළ පටිගත කර ඇති හඩ පටයේ ඇති හඬ හා සචිත්‍රගේ හඬ ගැළපීමක් කිරීමටය. එම හඬපටය පවා විමර්ශන නිලධාරීන්ට ලබාදී ඇත්තේ ජගත් ක්‍රිකට් කවුන්සලය විසිනි. ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව ධම්මික විසින් 2020 වසරේ දෙසැම්බර් මාසයේ 22 වෙනිදා පටිගත කළ බව කියන එම වීඩියෝ පටය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ විමර්ශනයට මෙහිදී ලක්වනු ඇත. තරග පාවාදීමකට සචිත්‍ර විසින් කළ යෝජනාව ගැන ක්‍රීඩා වැරදි ඒකකයට ධම්මික පැමිණිලි කළේ දැයි කියා විමසමින් සචිත්‍රට දොස් නඟන්න ආකාරය පවා සටහන්ව ඇත්තේ මෙම වීඩියෝවේය.

“හැමෝම කරන්නේ බිස්නස් එකක්. මේකෙන් උඹලට වගේම උඹලගේ පවුල් පිටින් ගොඩයන්න පුළුවන්.“ යැයි කියා ද සචිත්‍ර පවසන හඬ පවා එහි පටිගතව ඇත්තේය. සචිත්‍ර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය තත්ත්වයන් කුමන දිසාවකට ගමන් කරන්නේ දැයි එම හඬ පරීක්ෂාව මඟින් තීරණය වනු ඇත.

මෙම නඩු කටයුත්තෙන් සචිත්‍ර තරග පාවාදීමකට සම්බන්ධ බවට එල්ලවී ඇති චෝදනාවලට වරදකරු වුවහොත් වසර 10ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් හා රුපියල් මිලියන 100ක දඩයක් නියම කිරීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වන බලය අධිකරණය වෙත පැවරී ඇත්තේය.

Comments