රටේ සංවර්ධනයට අපි විශාල දායකත්වයක් දරනවා | සිළුමිණ

රටේ සංවර්ධනයට අපි විශාල දායකත්වයක් දරනවා

 එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි තරුණ පිරිස් පුනරුත්ථාපනය කර රටේ සංවර්ධනයට යොදා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සිවිල් අාරක්ෂක දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ඔවුන්ට සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයන් ලෙස රැකියාවක නිරතව දිවි ගෙවීමටත් රටේ සංවර්ධන කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීමටත් පුහුණු කර ඇති අතර ඔවුන්ගේ පළමු කණ්ඩායමේ විසිර යාම පසුගියදා විශ්වමඬු කඳවුරේදී සිදු කෙරිණි.

 

ත්‍රස්තවාදී තර්ජන සමයේ සිංහල ගම්මානවලට එල්ල වන ත්‍රස්ත ප්‍රහාර මැඬලීමේ අපේක්ෂාවෙන් ග්‍රාමාරක්ෂක සේවාව වැඩි දියුණු කළ ස්ථාපිත සේවාවක් වශයෙන් සිවිල් ආරක්ෂක බළකාය ආරම්භ කරන ලදි. පසුකාලීනව යුද කටයුතු සඳහාද ඍජු දායකත්වයක් දරන්නට කටයුතු කළ සිවිල් ආරක්ෂක බළකාය මේ වන විට රටේ බොහෝ සංවර්ධන කටයුතුවලට දායකත්වය ලබා දෙමින් සිටී. විශේෂයෙන්ම පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ සාමාජිකයන් රැසක්ම මේ වන විටත් සිවිල් ආරක්ෂක බළකායේ සේවයේ යෙදී සිටිති.

රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කර ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එම එල්ටීටීඊ පුනරුත්ථාපන සාමාජිකයන්ගෙන් සමන්විත බළකායේ ප්‍රථම භට පිරිස පසුගියදා විශ්වමඬු කඳවුරේදී විසිර ගියහ. ඒ සම්බන්ධයෙන් මෙන්ම සිවිල් ආරක්ෂක බළකාය රටේ සංවර්ධනයට සලසන සේවාවන් ගැන සිළුමිණට අදහස් දැක්වීමට එක් වූයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාය.

සිවිල් ආරක්ෂක බළකාය ස්ථාපිත කළේ යුද්ධය පැවති වකවානුවේ යුද තර්ජන ඇති ගම්මාන ආරක්ෂා කිරීමටය. දැන් යුද්ධය අවසන්ය. මේ නිසා බොහෝ දෙනා සිතන්නේ දෙපාර්තමේන්තුවට කාර්යභාරයක් නැති බවයි. එසේ වුවත් යුද්ධයේ නිමාවත් සමඟ දෙපාර්තමේන්තුවට ඇති කාර්යයන් වැඩි වී ඇතිවා මිස අඩු වී නැත.

විශේෂයෙන්ම දෙපාර්තමේන්තුව මේ වන විට රටේ සංවර්ධනයට ඍජු දායකත්වයක් සපයමින් සිටී. 'වසවිස නැති රටක්' සංකල්පය යටතේ කෘෂිකර්මය නඟාසිටුවීම දෙපාර්තමේන්තුවට පැවරී ඇති ප්‍රධානතම කාර්යය වේ. මේ වන විට රටේ බොහෝ ජනතාවක් ආහාරයට ගන්නේ අධික කෘමිනාශක, වල්නාශක යොදා වගා කළ, එසේ නැත් නම් අධික රසකාරක යෙදූ ආහාර බව රහසක් නොවන අතර මේ තත්ත්වයෙන් ජනතාව ගලවාගැනීම පිණිස කිසිදු වසක් විසක් නොයෙදූ කෘෂි නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ පච්ච පෙරුමාල්, කුරුලුතුඩ වගේ සහල් සඳහා වන ඉල්ලුම පසුරා ගන්නත් අපහසු තරම්. එම සහල් අලෙවි කරන්නේද දෙපාර්තමේන්තුව විසින්.

එසේම මේ වන විට ජනාධිපතිතුමා විසින් පුරාවස්තු ආරක්ෂා කිරීමත් දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා‍. එමෙන්ම අලිවැට ආරක්ෂා කිරීමත් ‍සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. ඒ කාර්යයන්ද නිසි අයුරින් සිදු වනවා. විශේෂයෙන්ම 2015 වසරෙන් පසුව මිනිසුන් නිසා සිදු වන අලි මරණ මෙන්ම අලි නිසා සිදු වන මිනිස් මරණද අඩකින් පමණ අඩු වී තිබෙනවා.

මේ සියල්ලට වඩා වැදගත් වූ විශේෂ කාර්ය කිහිපයක්ම මේ වන විට දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා.

එයින් පළමුවැන්න වන්නේ දෙපාර්තමේන්තුවේ ශ්‍රමය ලබා දීමට සූදානමින් සිටීමයි. ඒ අනුව ඉදි කිරීම් ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක ශ්‍රමය සපයන්න දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙනවා‍. ඒ සඳහා වන ඉල්ලුමයි අවශ්‍යව ඇත්තේ. අද බොහෝ ඉදි කිරීම් සමාගම්වලින් සේවක හිඟය ගැන කතා කළත් දෙපාර්තමේන්තුවේ සේවාව ගැන අවධානයක් යොමු කර නැහැ. මේ වන විට 'මාග' හා 'ඇක්සස්' යන සමාගම්වලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් යොදවා තිබෙනවා.

එමඟින් සමාගමෙන් ලැබෙන මුදලින් යම් කොටසක්ද ඔවුන්ට හිමි වන්නේ මාසික වැටුපට අමතරවයි. අවශ්‍ය ඕනෑම ආයතනයකට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමය සපයන්න දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා. ඉදි කිරීම් පමණක් නොව, ඒ ‍ක්ෂේත්‍රයටම අවශ්‍ය වන වෑද්දුම්, ඇලුමිනියම් වැඩ, වීදුරු වැඩ, යකඩ වැඩ මෙන්ම මෝටර් රථ කාර්මික මෙන්ම විදුලි කාර්මික වැඩ සඳහාද දැනුම සපිරි විශේෂ පිරිසක් දෙපාර්තමේන්තුව සතු වනවා. මේ විශේෂ දැනුම සපිරුණු පිරිස අතර වැඩි වශයෙන්ම සිටින්නේ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් බවද මෙහිදී පෙන්වා දිය යුතු වනවා.

පුනරුත්ථාපනය කරන ලද මේ සාමාජිකයන් යළි සමාජගත කර ඔවුන්ට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් සහිත රැකියා ලබා දී තිබෙනවා. මසකට රුපියල් 35,000කට අධික වැටුපක් ඔවුන්ට හිමි වනවා.

මේ පුනරුත්ථාපනය වූ පිරිස් ලංකාවේ ඕනෑම තැනක සේවය කිරීමට කැමැත්තෙන් පසු වන බවද පෙන්වා දිය යුතුයි. එමෙන්ම මේ බොහෝ පිරිස් කාර්යාලයට වී සිටීමට කැමැත්තක් නොදක්වන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ ක‍්ෂේත්‍රයේ සේවයේ යෙදි සිටීමටයි.

මේ වන විට පුනරුත්ථාපනය වූ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් ප්‍රථම කණ්ඩායම විසිර ගොස් අවසන්. ඔවුන් අවි පුහුණුව හැර අනෙක් සියලු පුහුණුව ලබාගෙන තිබෙනවා. මේ වන විට දෙවන කණ්ඩායමද සියලු පුහුණුවීම් අවසන් කර විසිර යෑමට සූදානම් කර සිටිනවා.

මේ පිරිස් හරහා මෙරට සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාගත හැකියි. මේ වන විට උතුරේ පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් ඒකක හා සම්බන්ධ වීමට මේ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් යොදවා තිබෙනවා. මේ වන විට දෙපාර්තමේන්තුවේ සේවකයන්ගෙන් 3600ක පිරිසක් පුනරුත්ථාපනය වී රටේ සංවර්ධනයට දායක වී සිටිනවා. 2015 වසරෙන් පසුව දෙපාර්තමේන්තුවට බඳවාගැනීම නතර කිරීම නිසා නවක පත්වීම් ලබා දීමට හැකියාවක් නැහැ. මේ සම්බන්ධව බොහෝ දෙනෙක් දක්වන්නේ නුරුස්නා ස්වභාවයක්. ඒත් රජ‍යේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ.

‍පසුගිය දිනක පරන්තන් විශ්වමඩු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණා නවක පිරිස් බඳවාගන්නා ලෙසට.

දැනට 12,000ක් පමණ ඉල්ලුම්පත් ලැබී තිබෙනවා උතුරේ ජනතාවගෙන්. මෙයින් විශාල පිරිසක් පුනරුත්ථාපනය වූ අය. ඒ අයට රැකියා අවස්ථා සලසන්න කටයුතු කිරීම වහාම කළ යුතු කාර්යයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යුද්ධයකට සම්බන්ධව සිටි පිරිසක් රැකියා විරහිතව කල්ලි ගැසෙන්නට සැලැස්වීම කිසි සේත්ම නොකළ යුතුයි.

විශ්වමඩුහි පැවැති උද්ඝෝෂණයෙන් පසුව එහි පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාරතුමාද මේ පිරිස් කඩිනමින් රැකියා සඳහා යොමු කළ යුතු බව පැවසුවා. මේ පිරිස් අතර බෝට්ටු නිෂ්පාදය කළ හැකි අය සිටිනවා, එමෙන්ම ගඩොළු කර්මාන්තය රෙදිපිළි සම්බන්ධ වෘත්තීන්හි නියැළිය හැකි පිරිස්ද සිටිනවා. කොණ්ඩා කැපීම වගේම විවිධ ක්ෂේත්‍ර රැසක නිපුණතාව ඇති අය සිටිනවා. ඒ අයගෙන් නිසි ප්‍රයෝජන ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.

මේ පිරිස් ආරම්භයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම ප්‍රශ්නයක් වුණා. උතුරේ ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබුණේ තවත් හමුදාවක් බවයි. මේ නිසා එයට එකතු වීමට ජනතාව අකැමැත්තක් දැක්වූවා. එහෙත් එක් අයකු දෙදෙනකු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී කටයුතු කිරීමෙන් තමතමන්ගේ ගම දියුණුව මෙන්ම තමන්ගේ දියුණුවද සලසාගත හැකි බව මේ ජනතාවට අවබෝධ වී තිබෙනවා. විශ්වමඩු ප්‍රදේශයේ පුරන්ව ගිය වැවක් මේ පිරිස් පුනරුත්ථාපනය කර වගාවට සකසාගත්තා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැදගත්ම කාර්යය ලෙස උතුරු පළාතට වැදගත් වන්නේ පොලීසිවල කටයතු සඳහා සහාය වීමයි. එමෙන්ම මේ වන විට දෙමළ පුද්ගලයන්ගෙන් විශාල පිරිසක් සිංහල භාෂාව හොඳින් හදාරා තිබෙනවා.

එය ජාතික සමඟියට හොඳ අවස්ථාවක්. පසුගිය ජාතික දින උත්සවයේදී ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගීය ගැයීම සම්බන්ධව එක් එක් පාර්ශ්ව විසින් කතා කළත් ජාතික දිනයදා මේ පිරිස් සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කළා.

මේ පුනරුත්ථාපනය කරන ලද බොහෝ අයගේ අධ්‍යාපන සුදුසුකම් ඒ තරම් ඉහළ මට්ටමක නැහැ. යුද්ධය නිසා ඔවුන්ගේ බොහෝ දේ අහිමි වෙලා ගිහින් තිබෙන්නෙ. ඇතැම් අය අධ්‍යාපනය ලබා ඇත්තේ 5-6 ශ්‍රේණි දක්වා පමණයි. ඒත් පෙර දැක්වූ පරිදි මේ සියලු පිරිස් අනෙකුත් ක්ෂේත්‍රවල මනා නිපුණතා ඇති අයයි. එසේ වුවත් උපාධිය සමත් අය පවා සිවිල් ආරක්ෂක සේවාවට බැඳී තිබෙනවා. උපාධියක් ඇත් නම් ඔහුට දිස්ත්‍රික් නිලධාරී ලෙස පත්වීම් ලබන්න පුළුවන්.

මේ අය තමන්ට වැරදුණු බව තේරුම් ගෙන නිවැරැදි මාර්ගයේ ගමන් ගන්නා අයයි. ඒ නිසා මේ ගමනට අත දීමට අප අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර ඇති තවත් විශේෂ සේවාවක් වන්නේ වකුගඩු රෝගීන් වෙනුවෙන් සහන සැලසීමයි.

ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බළකායට රුපියල් ලක්ෂ 87ක් සේවක දිනක වැටුප එකතු කර ලබා දී තිබෙනවා.

එසේම මේ වන විට ප්‍රතිආස්‍රැත ජල ටැංකි හෙවත් ජලය පිරිපහදු කර ලබා දෙන මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් ආරම්භ කර තිබෙනවා. ඒ වකුගඩු රෝගය මැඬලීමේ පියවරක් වශයෙන්. එමෙන්ම රෝගය බහුල වශයෙන් පැතිර පවත්නා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත දුරබැහැර පිරිස්වලට ඖෂධ ලබාගැනීම පිණිස අනුරාධපුරය දක්වා ගමන් කිරීමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ඇති කිරීම පිණිස බස් රථ දෙකක් මිල දී ගෙන යොදවා තිබෙනවා. ඒ බස් රථ වකුගඩු රොගීන්ගේ සායන පැවත්වෙන සඳුඳා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා තෙදින පදවි ශ්‍රීපුර සිට අනුරාධපුර රෝහල දක්වා ගමන් කරනවා. රෝගීනට බස් රථයේ නොමිලේම රෝහල දක්වාම යෑමට පුළුවන්.

නැවත පැමිණීමේදී සියලු සායනික රෝගීන් එක් වූ පසු බස් රථය පෙරළා පදවි ශ්‍රීපුර බලා පිටත් වනවා මේ කාර්යයන් දෙස බැලූ විට සිවිල් ආරක්ෂක බළකාය රටේ සියලු කටයුතුවලට 'උරදෙන ආයතනයක්' බව සුපැහැදිලියි.

ඒ සංවර්ධන කාර්යය විශේෂයෙන් උතුරු හා නැඟෙනහිර පළාත් යළි ගොඩනැගීම සඳහා මීට වඩා කාර්යක්ෂම ආකාරයෙන් යොදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීමට කටයුතු කළ හොත් යළි අවි ගත් කල්ලි බිහි වීම වළකිනු ඇත.

තාරක වික්‍රමසේකර
සේයාරුව - රුක්මාල් ගමගේ

Comments