නංගියේ මේ මොක ද? | සිළුමිණ

නංගියේ මේ මොක ද?

සාංස්කෘතික වහන්තරාව නිසා අපේ රටවල ස්ත්‍රියගේ නිදහස හා තීරණ ගැනීමේ අවස්ථාව සීමා වී ඇත. ඇගේ අධ්‍යාපනය, ප්‍රේමය, විවාහය පමණක් නො ව; සමස්ත ජීවිතය ම තීරණය කරන්නෝ පිටස්තරයෝ ය. ඉතින් ඇයට සම - තැනක් ඇතැ’යි කියන්නෝ කවුරහු ද?

1999 - මැයි - 15, වත්මන සඟරාවේ කවි පිටුවෙන් මේ ප්‍රබන්ධය උපුටා ගැනිණි. අද වත්මන සඟරාව පළවන්නේ නැත. එහත් අදටත් ගැළපෙන අපූරු කවි වත්මනෙහි පළ වී ඇත. ඒවා නැවත විමර්ශනය කිරීම වටී.

කවිය හැමවිට ම භාවික බව ද, හැඟුම්බර බව ද එක් මතයකින් කියැ වේ. එය බොරුවක් වන අවස්ථා තිබුණ ද කවියේ මුල් තැන හැඟීමට ලැබෙන බව පිළිගත හැකි පොදු සත්‍යයෙකි. මේ කවිය වුව ඊට නිදසුනෙකි.

යෞවන ප්‍රේමය යනු කවියට හොඳ ප්‍රස්තෘතයකි. එය තරුණ පරම්පරාවට සොඳුරු අත්දැකීමක් වන්නේ වුව වැඩිහිටියන් විෂයයෙහි බරපතළ තත්ත්වයකි. ප්‍රේමය දරුවාගේ විනාශයට හේතුවන්නේ යැයි වැඩිහිටියෝ කල්පනා කරති. දරුවාගේ අධ්‍යාපනය, අනාගත සැලසුම් හා විනය ප්‍රේමය නිසා විනාශ වන්නේ යැයි මාපියෝ හඟිති. කොටින් ම ප්‍රේමයක පැටලීම සමස්ත ජීවිතය ම විනාශ කර ගැනීමෙන් ලෙස ඔව්හු සලකති. එහෙත් යෞවනය මේ අණ - පනත්, උපදේශන පිළිගන්නේ ද? නැත!

මේ කවියට ද පෙම් පළහිලව්වක් හේතු වී ඇත. එහෙත් මාපියන් එහි නැත. ඒ‍ වෙනුවට අක්කා එහි ඇත.

සිරස ලෙස යොදා තිබුණේ “නැගණියනි” යන්න ය. එය ‘නංගියේ’ ලෙස වෙනස් වූයේ නම්; වඩාත් හැඟුම්බර ය. කිවිඳිය ශාන්ති දිසානායක ය. ශාන්තිගේ සුපුරුදු වැලපීම මේ කවියෙන් ද ප්‍රකට වෙයි. ඇයගේ නවකතාවලින් මතු වන්නේ ද ශ්‍රී ලාංකේය ස්ත්‍රියගේ වැලපීම යැයි කියන්නට පුළුවන. අපේ ස්ත්‍රියගේ වැලපීමට ද හේතු සාධක තිබේ. මේ හේතු - සාධක බොහොමයක් නිර්මාණය වී ඇත්තේ අපේ සම්ප්‍රදාය ඔස්සේ ය. එබැවින් ඒවා සංස්කෘතික යැයි කියන්නට පුළුවන.

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල කාන්තාවකට තනිව ජීවත්වීමේ හැකියාවක් නැත. බමුණු මතයට අනුව ස්ත්‍රිය කුඩා කල මාපියන් යටතේ ද, තරුණකල විවාහක පුරුෂයා යටතේ ද, වයස්ගත වූ කල දූ - දරුවන් යටතේ ද ජීවත් විය යුතුය. මේ මතයෙන් කරුණු දෙකක් පැහැදිලි වෙයි. එක; ස්ත්‍රියට හැමවිට ම ආරක්ෂාවක් හා රැකවරණයක් අවශ්‍ය බව ය. දෙක; මේ රටවල ස්ත්‍රියට ස්වාධීන තීන්දු ගැනීමේ හැකියාවක් නැති බව ය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සමාජයේ තරුණියක ගතහොත්; ඇය මාපියනට පමණක් නොව; සහෝදරයන්ට ද අවනත විය යුතු ය. ඇයගේ අධ්‍යාපනය, ප්‍රේමය, විවාහය යන වැදගත් දේවල්වල තීරකයා වන්නේ වැඩිහිටියා ය. තරුණියකට ස්වාධීන තීන්දු ගැනීමේ හැකියාවක් නැත. ඒ හැරෙන්නට ඇය විශාල පිරිසකගේ අණඥාවන් පිළිගැනීමට ද බැඳී සිටී.

නිසි කලට විවාහයක් කර ගැනීමට නොහැකි වුවහොත්; එහි වරද පැටවෙන්නේ ද ස්ත්‍රිය වෙත ම ය. එය ස්ත්‍රියගේ අවාසනාවක් නැතහොත් පාපයක් ලෙස සලකනු ලැබේ. අවිවාහක ස්ත්‍රීන් කෙරෙහි අපේ සමාජය දක්වන ආකල්ප කිසිසේත් ම සුබවාදී නැත. මේ හේතුව නිසා ම තෝරාගැනීමකින් තොරව විවාහ ජීවිතයට ඇතුළුවීමට ඇතැම් තරුණියකට සිදු වේ. එහෙත් දික්කසාදය වැනි තීරණයකට ද ඇයට ඉඩක් නැත. ඊට නීතිමය ප්‍රතිපාදන පැවැතිය ද දික්කසාද වූ ස්ත්‍රියට සමාජ පිළිගැනීමක් නැත. මේ සාධකවලින් පෙනී යන්නේ අපේ කාන්තාව ජීවිතය විඳවන බව ය.

ශාන්ති දිසානායකගේ කවියට පාදකවන්නේ ප්‍රේමය අහිමි, විවාහය ද පමා වූ ස්ත්‍රියකි. එහෙත් ඇයගේ ම නැඟණිය ප්‍රේමයක් ආරම්භ කර තිබේ. අක්කාට වඩා නංගී වේගවත් යැයිද ඇය වාසනාවන්ත යැයි කියන්නට ද පුළුවන. නංගීගේ වාසනාව ඉදිරිපිට අක්කා තවදුරටත් අසරණ ය. අනාථ ය. මේ අක්කාට අනාගතය පිළිබඳ යම් බියක් ද දැනෙයි.

“හෙට නුඹත් යාවි මා හැර දා දෑස යළි තෙමේ” යන පදයෙන් එය පැහැදිලි ය. නුඹත් යාවි යන්නෙන් හැඟීයන්නේ තවත් අය ඇය හැරගොස් ඇති බව ය. ඇතැම්විට ඒ ඇගේ යෙහෙළියන් විය හැකි ය. එක අතෙකින් මේ අක්කාගේ සිතිවිලි තුළ ඇත්තේ ආත්මානුකම්පාවකි. තව අතෙකින් එම සිතිවිළි තුළ ඇත්තේ කෝපකාරී හැඟීමකි. සියලු දෙනා තමන් අතහැර ඇතැ’යි බඳු හැඟීමක් මේ ස්ත්‍රිය තුළ පවතී.

මෙහි එන අක්කා හා නංගී එකිනෙකාට සමීප වී හෘදයාංගම ලෙස ජීවත්වන්නට ඇතැ’යි සිතන්නට පුළුවන. පවුලේ එක ම දරු දෙදෙනා ඔව්හු වෙති. අපේ සම්ප්‍රදාය අනුව ගැහැනු දරුවෝ පිරිමි දරුවනට වඩා එකිනෙකාට ළං වෙති. ඇතැම්හු යෙහෙළියන් සේ රහස් රකිමින්, විහිළු කරමින් ජීවත්වෙති. මේ දෙදෙනාට ද එවැනි අතීතයක් තිබේ. එහෙත් හදිසියේ ම නැඟණිය වෙනස් වී ඇත. හේතුව යොවුන් ප්‍රේමය යි. නැඟණියට තවදුරටත් අක්කා කැටුව මුකුළු කිරීමට වෙලාවක් නැත. ඇය අක්කා මඟ හරින්නී ය.

කිවිඳිය මේ වෙනස අපූරුවට නිරූපණය කරයි. නංගීගේ මුහුණ වෙනස් වී ඇත. එය වෙනදාට වඩා පෙම් පාට ය. හැමවිට ම මුව පුරා සිනාවක් තිබේ. දෑස් තරුකැට මෙන් දිලිසෙන්නට පටන්ගෙන තිබේ. ඒ හැරෙන්නට ඇය කැටපත ඉදිරියට ගොස් මොනවාදෝ මුමුනන්නට ද පටන්ගෙන තිබේ. මේ ප්‍රථම - ආදරයේ හැටි සොබාව ය. අක්කාට ද ප්‍රේමයක ආස්වාදය විඳගන්නට වුවමනාව තිබේ. එහෙත් ඇයට ප්‍රේමවන්තයකු නැත. ඇය සඳහා විවාහ යෝජනා ද නැත. ගම්වල ඇත්තියනට කළු - කුමාර දිෂ්ටිය වැටෙන්නේ මෙබඳු අවස්ථාවල ය.

කළු - කුමාර දිෂ්ටියට ද හේතු - සාධක තිබේ. ස්ත්‍රියකගේ හෝමෝන ක්‍රියාකාරිත්වයට අනුව නිසි වයසේදී ඇය විවාහ විය යුතු ය. එසේ නොවන කල අංශ දෙකකින් ඇය පීඩනයට පත් වේ. එක පැත්තකින් ඇයට දැනෙන ශාරීරික අපහසුතා පවතී. තව අතෙකින් සමාජය වෙතින් ඇයට එල්ලවන පීඩනය බලපායි. වයස අවුරුදු විසි ගණන් වන විට බඳින්නේ කවදාදැ’යි විමසීම අපේ සමාජයේ සිරිත ය. ඇතැම් ස්ත්‍රියකට හිසරදයක් වන තරමට ම ප්‍රශ්න කිරීම උත්සන්න වෙයි.

ස්ත්‍රිය කෙරෙහි බලපාන පීඩනය හා අයුක්තිය සත්‍ය සිදුවීම් ඔස්සේ විග්‍රහ කළ හැකි ය. හුදෙකලාව ජීවත් වූ වයස අවුරුදු හැත්තෑවක කාන්තාවක දූෂණය කොට මරා දමා තිබිණි. ඝාතකයා හා දූෂකයා අදටත් සොයා ගෙන නැත. කොටකෙතන දී අබිරහස් මිනීමැරුම් ගණනාවක් සිදු විය. ගොදුරු ව‍ූවෝ කාන්තාවෝ ය. එය මුළු රට ම කම්පාවට පත් කළ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළක් වුව ඇත්ත හෙළිදරව් වූයේ නැත. විවිධ පරීක්ෂණ හා විවිධ පර්යේෂණ සිදු කළ ද සම්පූර්ණ ඇත්ත හෙළිදරව් වූයේ නැත. මේ සිදුවීම්වලින් පෙනී යන්නේ අපේ ර‍ෙට් ස්ත්‍රිය කෙරෙහි බලපවත්වන අනාරක්ෂිතභාවය යි.

මේ ප්‍රබන්ධයෙහි එන අක්කා එක අතෙකින් ප්‍රේමය හේතුකොට සන්තාපයට පත් වී ඇත. තව අතෙකින් අනාගත අනාරක්ෂිතභාවයකින් භීතියට පත් වී ඇත. පාඨකයා මතු පිටින් දකින්නේ නංගීගේ ප්‍රේමය හා වෙනස් වීම මත කම්පනයට පත් වූ තරුණියකි. එහෙත් තරුණිය කෙරෙහි බලපාන අනාගත බිය ඊට වඩා බලවත් ය.

කවියක දී වඩාත් වැදගත් වන්නේ හැඟීම් ජනනය සඳහා යොදා ගනු ලබන වචන කැටි ය. වචන මනාව ගැළපීමෙන් හැඟීම් ජනනය කළ හැකි ය. අපූරු ඉංග්‍රීසි පද කිහිපයක් අප සිහියට නැ‍ෙඟ්. එම පදයට අනුව පියකුට සිය දියණියගේ පෙම් පළහිලව්වක් ඇස ගැටේ. ඔහු ඉන් කම්පාවට පත් වන ආකාරය දක්වා ඇත්තේ මෙසේ ය.

“What did I know, what did I know? Of love’s austere and lonely of …”

මෙහි එන “love’s austere” යන යෙදුම විශේෂිත ය. පියාගේ කම්පනය ඉන් ගම්‍ය වේ. ශාන්තිගේ ප්‍රබන්ධයේ දී නංගීගේ ප්‍රේමයෙන් කම්පනයට පත්වන්නේ අක්කා ය.

“ඇස කඳුළු නැඟී සිත නොරිදුනා නො වේ

මට හොරා විඳින කල සුවය සෙනෙහසේ”

මෙහි එන අක්කා එක අතෙකින් දයාබරිත ය. ඈ සිය නැඟණියට දොස් කියන්නේ නැත. තර්ජනය කරන්නේ නැත. ප්‍රේමයට එරෙහි වන්නේ ද නැත. තමා නොලබන සුවය නංගීට ලැබීම ගැන අහිතක් ඇයට නැත. එහෙත් ඈ නැඟණියට සුබ පතන්නේ කෙසේ ද?

“සුබ පැතුම් පතන්නට බැරුවා දෙතොල සැලේ
හෙට නුඹත් යාවි මා හැරදා දෑස යළි තෙමේ”

මෙහි ඇත්තේ තනිකම හා හුදෙකලාව පිළිබඳ ‍ශෝකයකි. එය කවියේ රිද්මයෙන් ද ධ්වනිත වෙයි. අපට අක්කා ගැන දුකක් දැනෙයි. අවසන් ලෙස කිව හැක්කේ මෙය කිවිඳියගේ අත්දැකීමක් නම් විය නොහැකි බව ය.

Comments