අභ්‍යවකාශයේ දසුන් තෙළිතුඬින් මවන සඳ මත පා තැබූ මිනිසා | සිළුමිණ

අභ්‍යවකාශයේ දසුන් තෙළිතුඬින් මවන සඳ මත පා තැබූ මිනිසා

ඔහු දෙවැනි සඳ තරණ ක්‍රියාන්විතයේ අභ්‍යවකාශගාමියෙක්. සඳ මත සක්මන් කළ සිව්වැනි මානවයා වන්නේද ඔහුයි. එසේම ඔහු මිනිසකුට එක් කුඩා පියවරක් පමණක් වුවද මිනිස් සංහතියට යෝධ පියවරක් වූ ක්‍රියාන්විතයකට එක් වෙමින් සඳ මත පා සටහන් තැබීමට අවස්ථාව උදා කරගත් මිනිසුන් 12 දෙනාගෙන් අයෙක්. ඔහු දැනට 85 හැවිරිදි වියේ පසු වන ඇලන් බීන්.

1969 නොවැම්බර් 4 වැනිදා සඳ මතට ගොඩබැස්වූ ලූනා මොඩියුලයේ නියමුවා වූයේ ඇලන්ය. ඇපලෝ 12 යානයෙන් සඳ තරණයට එක් වූ ඔහු සහ තවත් අභ්‍යවකාශගාමීහු දෙදෙනෙක් යානය ගොඩබස්වා දින 10කට පසු සඳ මත තම පා සටහන් තැබූහ.

ලූනා හෙවත් චන්ද්‍රයානය සඳ මත ඵලදායි ලෙස මෙහෙයවමින් ගවේෂණ කටයුතු සිදු කිරීම දෙවැනි සඳ තරණ ක්‍රියාන්විතයේ ප්‍රධාන අරමුණ විය. සඳේ ඇති වූ භූමි කම්පා ගැන සහ වෙනත් විද්‍යාත්මක හා ඉංජිනේරුමය දත්ත රැස් කිරීම එහිදී ඔවුන් වෙත පැවරුණු කාර්යභාරයයි.

ඇලන් පැය 1671කුත් විනාඩි 45ක් අභ්‍යවකාශයේ ගත කර ඇති අතර, සඳේ සහ පෘථිවි කක්ෂයේ පැය 10කුත් විනාඩි 26ක් සම්පූර්ණ කර තිබේ. අභ්‍යවකාශය පිළිබඳ ඔහු ලත් අත්දැකීම් පිටසක්වළ ජීවයක් පැවතීමේ හැකියාව පිළිබඳ ඇතැම් සිත් ගන්නාසුලු සිද්ධාන්ත ගොඩනැගීමට තරම් හේතුවක්.

"පිටස්තර කිසිදු ජීවියකු පෘථිවියට කවදාවත් පැමිණ ඇතැයි මා විස්වාස කරන්නේ නෑ." ඒ ඇලන් දරන මතයයි.

"මං එහෙම හිතන්න එක් ප්‍රබල කාරණයක් තමයි ඒ ශිෂ්ටාචාර මීට වඩා හුඟක් උසස් ඒවා වීම. කවදාහරි දවසක ඔවුන් පෘථිවියට ඇවිත් මෙහෙම කිව්වොත්... 'අපි ආවේ ඔබට කරදරයක් කරන්න නෙමෙයි අපේ අධයයනවලදී දැන ගැනීමට ලැබුණු හැටියට ඔබට තියෙන පිළිකා රෝගය නිසා මිනිසුන් මිය යනවා. අපි ඔය කරදරයට මීට අවුරුදු පනහකට කළින් උත්තර සොයාගත්තා. මේක තමයි උපකරණය. මෙය පපුව මත තැබීම පමණයි කළ යුතු වන්නේ. ඉන්න අපි පෙන්වන්නම් එය කරන්නේ කොහොමද කියලා...' "

ඇලන් බීන් මෙසේද පවසන්නේය:

"කවදා හරි දවසක - අපි හිතමු අදින් අවුරුදු 1000කට පසු කියලා - එදාට අපට පුළුවන් වේවි වෙනත් තාරකාවකට යන්න; ග්‍රහලෝකයක් දැකගන්න. එදාට අපි දැනගනීවි පිළිකාවකට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා. ඒක අපි ඒ ලෝකවල ඉන්න අයගෙන් ඉගෙනගනීවි."

පෘථිවියේ අප තනි වී සිටින බව ඇලන් බීන් මොහොතකටවත් සිතන්නේ නැත.

"තාරකා බිලියන ගණනක් විශ්වයේ තිබෙනවා. ඒවා වටා ගමන් කරන ග්‍රහලෝකත් තියෙනවා. මේ ග්‍රහලෝකවලින් එකක හෝ ජීවයක් තිබෙන්නට පුළුවන්... සමහර විට ඒ ජීවය මීට අවුරුදු 100000කට කලින් පෘථිවිය මත තිබූ ජීවය බඳු විය හැකියි. නැත් නම් අද අප ඉන්නා ස්වරූපය වෙන්නත් පුළුවන්. තව අවුරුදු 100000ක් එපිටින් අප සිටින අන්දම එවැනි වෙන්නත් බැරි නැහැ."

ඇලන් බීන් 1981දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගත්තේය. ඉන් පසු ඔහු චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිටින්නේය. ඔහුගේ චිත්‍රවල අභ්‍යවකාශෙගාමියකු ලෙස ඔහු ලැබූ අත්දැකීම්, සඳ මත සක්මන් කළ අයුරු, මේ ගමන්වලදී ලැබූ දැනුම වැනි දේ පිළිබිඹු වේ. එය යම් සීමිත පරාසයක සිදු විය හැකි වුවද නිමාවක් නොදකින නිර්මාණාභිලාශයක් ඔහු තුළ පවතින බව ඔහු හොඳින් දන්නා හඳුනන බොහෝ දෙනාගේ මතයයි.

"මං අවුරුදු 185ක් ජීවත් වුණා කියමු. ඒත් මට මේ මාතෘකාව යටතේ කරන්න නිර්මාණ තියෙනවා." ඔහුගේ නිර්මාණවල රොකට්, ලූනා වැනි දේ සුලබය. ඒවා අලෙවි වන්නේ ඩොලර් දසදහස් ගණනිනි. මේ චිත්‍රවලට ඒ සා විශාල මිලක් නියම වීමට හේතුවක් විය හැකි කාරණයක් ඔහුම පෙන්වා දෙන්නේය:

"දෑසින් දැක තමන්ගේම සංජානනයකින් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් මේ මිහිපිට ඉන්න එකම පුද්ගලයා මම පමණයි. අදත් මම සතියේ දවස් හතේම චිත්‍ර අඳිනවා."

Comments