ප්‍රශ්වාස වාතයෙන් රෝග හඳුනාගත හැකි ශ්‍රී ලංකාවේ නව නිපැයුමට දකුණු කොරියාවෙන් රන් සම්මාන | සිළුමිණ

ප්‍රශ්වාස වාතයෙන් රෝග හඳුනාගත හැකි ශ්‍රී ලංකාවේ නව නිපැයුමට දකුණු කොරියාවෙන් රන් සම්මාන

මෙහි කතානායකයෝ දෙදෙනෙකි. ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා එක් අයෙකි. ඔහු වෘත්තියෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. දෙවැන්නා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවකු වන තිමිර සාණුක තිලකරත්නයි. දෙදෙනා එක්ව නිපැයු විශ්වකර්ම නිපැයුමක් වෙනුවෙන් අධි ස්වර්ණ සම්මානයක් පසුගියදා කොරියාවේ සෝල් අගනුවරදී ප්‍රදානය කෙරිණි. මේ නිපැයුම ප්‍රශ්වාසයේදී ශ්වසන ආසාදන හා විවිධ රෝග නිධාන නිර්ණය කිරීම සඳහා වු මිනුම් උපකරණයකි. සත්තකින්ම වෛද්‍ය පරීක්ෂණ සහායක උපකරණයති. (Nasal Airflow Detection and flow rate Measuring System) මෙය ජගත් නවනිපැයුම් උත්පාදනයකි.

වාර්ෂිකව දකුණු කොරියාවේ සෝල් අගනුවරදී "World Invention Innovation Contest, WiC 2018" නමින් පැවැත්වෙන නව නිපැයුම් සහ නව උත්පාදන වෙනුවෙන් වන තරගකාරී ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලැබූයේ හතරවැනි වතාවටය. ඒ සඳහා රටවල් හාරසිය ගණනක් සහභාගි වු අතර කරට කර තරග වැදුණු රටවල් අතර කොරියාව, තායිවානය සහ ශ්‍රී ලංකාව විය. මේ තරගයෙන් ශ්‍රී ලංකාවට රන් සම්මාන හයක් සහ රිදී සම්මාන අටක් හිමිවිය. මේ තරගයේ විශේෂත්වය වූයේ එහිදී ලබා දුන් උසස්ම රන් සම්මානය (Grand award) මෙන්ම, උසස්ම රිදී සම්මානයකටද ශ්‍රී ලංකාව හිමිකම් කීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උසස්ම සම්මාන පෙළක් මෙවැනි නව නිපැයුම් සඳහා ලැබු ප්‍රථම අවස්ථාවද මෙයවේ. මේ තරගය ආසියාවේ නව නිපැයුම් සංවිධානය සහ කොරියාවේ නව නිපැයුම් ප්‍රචාරක මාධ්‍ය ආයතන විසින් සංවිධානය කරන ලද්දකි. (Asia Invention Association (AIA), and Korea Invention News(KINEWS))

රනින් කෙරුණු උසස්ම සම්මානය ලැබු‍ දෙපොළ හමු වීමට කොළඹ,බොරැල්ලේ පිහිටි ජාතික නව නිපැයුම් කොමිසමේ දී මට හැකිවිය. එහිදී මේ විශ්වකර්ම උපකරණය පිළිබඳව විස්තරය ආරම්භ කළේ ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතායි.

“කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු වන තිමිර සාණුක සමග මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. මෙහි මුලික අදහස මතු වූයේ ශ්වසන රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියකු වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේදීයි. එහිදී වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කිරීමේ දී ඒ වෙනුවට උපකරණයක් නොමැතිව ප්‍රායෝගික ක්‍රමයකින් ශ්වසන පද්ධතිය පිළිබඳව නිගමනයකට පැමිණියා. මට හිතුණා ශ්වසන රෝග හඳුණාගැනීමට පහසු කෙරෙන උපකරණයක් තිබුණා නම් කියා. ඒ අනුව සැලසුම් කරන්න පටන් ගත්තා. මේ දක්වා ලෝකයේ කිසිදු තැනක මෙවැනි උපකරණයක් එළි දක්වා තිබුණේ නැහැ. බොහෝ රටවල විද්‍යාඥයන්, මහාචාර්යවරුන් මෙවැනි උපකරණයක් නිපදවීමට උත්සාහ ගෙන තිබුණත් ඔවුන් ප්‍රශ්වාස වාතයේ පීඩනය පැත්තෙන් පර්යේෂණ කළත් ඒවා සාර්ථක වී නැහැ.“

ප්‍රශ්වාසයේ දී නාස් කුහර දෙකෙන් වෙන වෙනම පිටවෙන වාතයේ ආර්ද්‍රතාව, සහ ප්‍රශ්වාසයේ දී පිටකෙරෙන උෂ්නත්වයත්, පාදක කර ගනිමින් ලැබෙන දත්ත අනුව පුද්ගලයෙකුගේ රෝගි තත්ත්වයක් නිර්ණය කළ හැකි මේ උපකරණය ඉතා කුඩාය. විනාඩියකදී ප්‍රශ්වාස වන වාර ගණන මැනීමත් ආදිය එම අගයන් සටහන් වීම මෙන්ම මතක පතක රැඳවීම දක්වා ගොඩ නැගීමට ප්‍රථම අදියරේ දී හැකියාව ලැබී ඇත.

"මූලිකව නිපැයු එම උපකරණය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නව නිපැයුම් තරගයකට ඉදිරිපත් කිරීමෙන් එහි දී රන් සම්මානයක් අප දෙදෙනා නමින් ලැබුණා. එහි දී වු විශේෂත්වය ඇගැයීම් කමිටුවේ සිටි මහාචාර්යවරියක් මවිතයට පත් වීමයි ඇයත් මේ උපකරණය ගොඩනගන්න උත්සාහ කර අත්හැරිය කෙනෙක්. ඇය මේ ව්‍යාපෘතියට අාශිර්වාද කළා. ඒ අදින් මාස දෙකකට පෙර එනම් පසුගිය අප්‍රේල් මාසයේදීයි.

දෙවන අදියර සඳහා තවත් විශේෂයන් කරන්න සිදු වුණා; ඉන්පසුව කොරියා තරගයට ඉදිරිපත් කළේ මේ උපකරණයේ සියලුම අවශ්‍යතාවන් සිදුකෙරෙන ආකාරයටයි. දැන් අවශ්‍ය වන්නේ වෛද්‍ය ආචාරධර්මවලට අනුකූලව නිෂ්පාදකයකු සොයා ගැනීමටයි. විදෙස් රටවල් කිහිපයක් මේ ගැන කැමැත්ත පළ කළත් පේටන්ට් බලපත්‍රය ලැබීමට ඉල්ලා සිටින නිසා එය ලැබෙන තුරු සුළු කාලයක් ගතවේවි සමහර විට මාසයකින් මෙහි ක්‍රියාකාරීත්වය සහ සියලු දත්තයන් එළි කිරීමට කටයුතු කරනවා.

වෛද්‍යවරයෙකුට අවශ්‍ය මෙවලමක් ලෙස හා රෝග නිර්ණය කිරීමට තව දුරටත් අවශ්‍යතාවක් තිබෙනවා. ඒ අනුව මහනුවර විශේෂඥ වෛද්‍යවරයෙකු මේ උපකරණය යොදා ගනිමින් පර්යේෂණ සිදු කිරීමටත් එහි දත්ත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සකස් කර දීමටත් සහාය වනවා. ඒ අනුව රෝග නිධාන සොයා, උපකරණයෙන් ලබා දෙන මිනුම් මට්ටම් සහ සංඛ්‍යාත්මක අගයන් මත රෝගී සහ නිරෝගී අයගේ නිර්දේශයන් (reference) ගොඩ නගා ගන්න පුළුවනි.

වෛද්‍ය නළාව, රුධිර පීඩන මානය, රුධිර ග්ලුකෝස් මානය මෙන් මේ උපකරණය ළඟදීම වෛද්‍යවරයාගේ මේසයට එක් වන මෙවලමක් වීම වැඩි ඈතක නැහැ. ඒ අනුව නාසය, උගුර වැනි ආසාදන සොයා ගැනීම පහසු වනවා. එමෙන්ම රෝග නිධාන සෙවීමට විශාල වශයෙන් පරික්ෂා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ උපකරණය වෙනුවෙන් රුපියල් තිස්දාහක් පමණ වැය වුණා.

රෝග නිර්ණය කිරිමේ තවත් උපකරණයක් ශ්‍රී ලංකාවෙන් නව නිපැයුමක් ලෙස බිහි වීම අපට ආඩම්බරයකි. එය ලෝකයේ සෑම වෛද්‍යවරයෙකුගේම පරීක්ෂණ මේසය මතට ස්ථිර වශයෙන්ම පත්වීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් ලෙස බිහිකළ මේ විශ්වකර්ම උපකරණය නිර්මාණය කළ ආචාර්ය මහේෂ් එදිරිසිංහ සහ තිමිර සාණුක තිලකරත්න යන අයගේ නම් ඉතිහාසගතවනු ඇත.

මෙම නිපැයුමට මිලක් නියම කළ හැකිය. එයට විශාල වටිනා කමක්ද ලැබෙනු ඇත. මේ මෙවලම නිපැයු දෙදෙනාට ජීවිත කාලයටම සැපවත් විය හැකිය. එහෙත් ඔවුන්ගේ අදහස ඊට වෙනස්ය. ඒ පිළිබඳව තිමිර සාණුක කතා කළේය. “ අපෙ සොයාගත් මේ උපකරණය නිර්මාණය, සැලසුම් අදියත්, ඒවාට යොදාගන්නා විද්යුත් උපකරණ, සංවේදක, මතක පත් ආදියත් මෘදුකාංග සහ එහි ක්‍රියාකාරිත්වය ලබා දිය යුතු විදුලිය මෙන්ම පරිපථයන් පිළිබඳව විශාල ලෙස ගවේෂණයෙහි යෙදුණා. සංවේදක මතින් ජනනය වන අගයයන් ඉන් ප්‍රධානයි. ඒ සියලුම දැනුම, කුසලතා ගොඩනැංවුයේ මහේෂ් මහතායි. විශ්වවිද්‍යාලවල සහෝදර ඉංජිනේරු සිසුන් අවසන් වසරේ ව්‍යාපෘති වශයෙන් විවිධ නිපැයුම් ඉදිරිපත් කළත් ඒවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ලැබෙන රැකියාව මත ලොප් වීමක් සිදු වීම ස්වාභාවිකයි. මහේෂ් සර් නව නිපැයුම් කොමිසමේ නිසා උගන්වන ගමන් අපව දිරිමත් කරනවා. ඔහු අපට නව නිපැයුම් ඉදිරියට ගෙන යෑමට මාවත සකස් කර දෙනවා. ඒ අනුව ලංකාවේ විශ්වවිද්‍යාලවල සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ රටක් වශයෙන් විශාල දියුණුවක් කරා යන ගමනට විශ්වවිද්‍යාලයෙන් ලබනා දැනුම මුසු කරමින් නව නිපැයුම් සඳහා යොමුවන්න කියායි. ඒ මගින් ජාතික අනන්‍යතාවක් ගොඩ නගන්න අපි හැමටම හැකියාව ලැබෙනවා.

අනිල් ලසත් පෙරේරා

Comments