කාසි ගණින මැෂිමක් නිපදවා රනින් පුද ලද තුෂාන් | සිළුමිණ

කාසි ගණින මැෂිමක් නිපදවා රනින් පුද ලද තුෂාන්

තුෂාන් ජීවන්ත වේරගල පාසල් අධ්‍යාපනයේ සිටම විවිධ නිමැවුම් සඳහා වෙහෙස වූවෙකි. එහෙත් ඔහු පාසල් අධ්‍යාපනයේදී උසස් පෙළ විභාගයට ඉදිරිපත් කළ යුතු ව්‍යාපෘතිය සඳහා ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් රන් සම්මාන ගැනීමට හැකි වේයැයි කිසිදා සිතුවේ නැත. ඒ නිපැයුම වූයේ කාසි වෙන් වෙන්ව තේරීම සහ එකතු කිරීම සඳහා වූ යන්ත්‍රයකි. දේශීයව පාසලෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමෙන් ඒ සඳහා සහායද, ඇගැයුම්ද හිමි විය. ඊට අමතරව යුනෙස්කෝ සංවිධානයෙන් සහ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර අන්තර්ජාතික නව නිපැයුම් තරගාවලියේදී රන් සම්මාන පිට සම්මාන ලැබීමට තරම් තුෂාන්ගේ නව නිපැයුම උසස් විය.

පාසල නිමවා නිවෙසට පැමිණි පසු තම පියාගේ වෙල්ඩින් වැඩපොළට වී කාලය ගෙවූ ඔහු නිතර තමා අවට ඇති දෙයින් යම් යම් නිර්මාණ කිරීමට උත්සාහ දැරුවේය.

ඔහු තම සෙල්ලම් බඩු කෑල්ලෙන් කෑල්ල ගලවා නැවැත සවි ක‍ළේය. අවසානයේ වෙනස්ම, එහෙත් ක්‍රියාකාරී තත්ත්වයේ සෙල්ලම් බඩු ඔහුගේ නව නිපැයුම් අතරට එක් විය. එය තුෂාන්ගේ නව නිපැයුම් දිවියේ ආරම්භය විය.

එතැනින් ඔහු නැවැතුණේ නැත. ආයුර්වේද ප්‍රතිකාරයට සහාය වන තැවිලි පොට්ටනියක් සඳහා උෂ්ණත්වය පාලනය කළ හැකි, ක්‍රියාත්මක කිරීමේදී එකම උෂ්ණත්වයක් රඳාපවතින වාෂ්ප පීඩන මෙවලමක් නිපදවූයේය. එය ජාතික වශයෙන් වැදගත් වන දේශීය වෙදකමට රුකුලක් වූ උපකරණයක් විය. තුෂාන් ඊළඟ දස්කම කළේ ඉන්දියාවේදීය. ද්‍රව පෘෂ්ඨික ආතතිය මැනීම සඳහා වූ උපකරණයකි. විශේෂයෙන් දියර වර්ගවල නිරීක්ෂණ කටයුතු සුළු වේලාවක් තුළ සිදු කළ හැකි උපකරණයකි.

මේ වන විට නව නිපැයුම් රාශියක් ජාතියට තිළිණ කළ තුෂාන් ජීවන්ත වේරගල පාදුක්ක පෝරේගෙදර පදිංචිව සිටියි. විවාහකයකු වන ඔහු තිස්පස් හැවිරිදිය. තම නිර්මාණ මඟින් විශ්වය දිනූ හපනකු ලෙස ඔහු මෙසේ තම නිර්මාණ දිවිය ගැන මතකය අවදි කළේය.

“පාසල් අධ්‍යාපනය ලැබීමට මම ගියේ පාදුක්ක සිරි පියරතන මධ්‍ය විද්‍යාලයටයි. එහිදී අප විශාල පන්නරයක් ගත්තේ විවිධ දේ හදන්නයි. උසස්පෙළ විෂය ධාරාවට අනුව ව්‍යාපෘතියක් ලෙස කාසි ගණින යන්ත්‍රයක් හැදුවා. ඒ වෙනුවෙන් විද්යුතය, විදුලිය, යාන්ත්‍රික මෙවලම් පිළිබඳ දැනීමක් මම බාහිරව ලබාගෙන තිබුණා. බැංකුවේ කාසි මුදල් ගණින යන්ත්‍රවල තිබෙන්නේ වරකට එක් කාසිවර්ගයක් ගණනය කිරීමේ හැකියාව පමණයි. විවිධ ප්‍රමාණයේ, විවිධ බර සහ අගයන්ගෙන් යුත් කාසි හඳුනාගැනීමට සංවේදක සහිතව නිර්මාණය කරන්න මට හැකි වුණා. මේ නිපැයුම සඳහා විශාල ප්‍රසිද්ධියක් ලැබුණේ කලාප තරගයකට යොමු කිරීමෙන් පසුවයි. ඒ අතරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පොදු ජාතික වෘත්තීය සුදුසුකම් යටතේ යුනෙස්කෝ සංවිධානයෙන් පැවැත්වූ ජාතික විද්‍යා උපකරණ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලැබුවා. පාසල් අතර තරගාවලියක් ජාතික නව නිපැයුම් කොමිසමේ පැවැත්වූ නිසා එයටත් මම කාසි ගණින යන්ත්‍රය ඉදිරිපත් කළා. එහිදීත් මම ප්‍රථම ස්ථානය ලැබූවා. නව නිපැයුම් කොමිසම නිසා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වූ අන්තර්ජාතික නව නිපැයුම් තරගාවලියේදී රන් පදක්කමක් දිනාගන්න ලැබුණා. මේ සඳහා පේටන්ට් බලපත්‍රයත් ලබා ගත්තා.“

කාසි ගණින යන්ත්‍රයට වෙළෙඳපොලෙන් ප්‍රතිචාර ලැබුණාද යන ප්‍රශ්නයට තුෂාන් දුන්නේ අපූරු පිළිතුරකි.

“ලංකාවේ බැංකුවලට සහ මූල්‍ය ආයතනවලට මෙය හඳුන්වා දුන්නා. ඒ අය විස්මයට පත් වී මගේ නිපදවීමට සුබ පැතුවා පමණයි. තව තවත් නිපැයුම් කරන්න කියා ආශීර්වාද කළා පමණයි. අන්තිමේදී බෞද්ධ සිද්ධස්ථාන පින් කැටවල එකතු වන මුදල් ගැණීමට යන්ත්‍ර කිහිපයක් සාදා දුන්නා. වරින් වර රටේ කාසි වර්ග හඳුන්වා දීම නිසා බර ප්‍රමාණය අනුව නැවත නැවත වෙනස් කම් කරන්න අපහසුයි. නර්ඩ් ආයතනය මෙහි ඉදිරි කටයුතු කිරීමට බාර ගත්තා.

මගේ හැකියාවන් තේරුම් ගත් එවකට සිටි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගූණවර්ධන මහතා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ බ්‍රින්දාවන් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. එහිදී ජෛව තාක්ෂණය පිළිබඳව වසර තුනක උපාධියක් ලැබුවා. ඉන්දියාවේදීත් නව නිපැයුම් සඳහා කාලය මිඩංගු කළා. උපාධි වැඩසටහන්වලදී පෘෂ්ඨිය ආතතිය මැනීම සඳහා රසායනාගාර මෙහෙයුමක් සිදු කළ යුතුයි. මම එහිදී මිනුම් යන්ත්‍රයක් නව නිපැයුමක් ලෙස විශ්වවිද්‍යාලයට හඳුන්වා දුන්නා. විනාඩි කිහිපයකදී අදාළ මිනුම් ලබාගැනීම එහි විශේෂත්වයයි. ඉන්දියාවේදී පේටන්ට් බලපත්‍රය එම මිනුම් යන්ත්‍රයට ලබාගැනීමට හැකියාව ලැබුණා.“

මෑතකදී තුෂාන් තවත් හපන්කමක් කළේය. ඒ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගන්නා ඖෂධ තැවිලි පොට්ටනියේ උෂ්ණත්වය නොවෙනස් වන ලෙස ක්‍රියාත්මක කිරීමට වාෂ්ප පීඩන මෙවලමක් නිපදවීමයි. ඒ සඳහාත් නව නිපැයුම් කොමිසමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට හැකි විය. ආයුර්වේද අවශ්‍යතා සඳහා යෝග්‍ය මේ මෙවලමට ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණත් බොහෝ අය තම සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැර යෑමට ඇති අකැමැත්ත ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් තුෂාන් පවසා සිටියේ වෛද්‍ය ආකල්ප වෙනස් කිරීමට නොහැකි වීම මෙවැනි දියුණු ක්‍රමවේද හඳුන්වා දීමට ඇති ප්‍රධාන බාධාවක් බවයි. කෙසේ වෙතත් දිවයිනේ සුප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරුන් මේ වාෂ්ප පීඩන මෙවලම සාර්ථකව ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව කීවේය.

තුෂාන් මේ වසරේදීත් නව නිපැයුමක් ඉදිරිපත් කිරීමට යුහුසුලුව කටයුතු කරමින් සිටී. එපමණක් නොව, ඔහු ඉදිරියේදිද නොකඩවා නව නිපැයුම් රැසක් අප රටට පමණක් නොව මුළු ලොවටම තිළිණ කරනු ඇත. අප රට තුළ නව නිපැයුම්කරුවකුගේ පැවැත්ම සහ අනාගතය සම්බන්ධව තුෂාන් ඔහුගේ මතය මෙසේ පවසා සිටියේය.

“ලංකාවේ අය විවිධ නිපැයුම් ලොවට හඳුන්වා දුන්නත් ඒවා නිෂ්පාදනය කරන්න ගියොත් අපහසුවට පත් වෙනවා. බැංකු ණය හෝ වෙනත් මූල්‍ය පහසුකම් ලබාගැනීමට සිදු වනවා. ණය මුදලක් බැංකුවකින් ගත් විටම ඊළග මාසයේ සිටම ණය වාරික ගෙවන්න සිදු වනවා. එය විශාල අභියෝගයක්. ඉන්දියාවේ සහ චීනයේ දී මම දුටු දෙයක් තමයි, නව නිපැයුමක් ගැන ආරංචි වූ පමණින් ඔහුට හෝ ඇයට රැකියාවක් සමඟ නිපැයුමේ නිෂ්පාදන ක්‍රියාවලියට හවුල් කරගැනීමයි. නැත්නම් සැලකිය යුතු මුදලක් එම නිපැයුම සඳහා යෝජනා කිරීමයි. අපේ රටේ එවැනි ක්‍රියාකාරකම් නැහැ.“

තම මතය එසේ පැවසුවද තුෂාන් සහ නව නිපැයුම් වෙන් කිරීමට කිසිවකුට නොහැකි වනු ඇත. එය එසේම වේවායි යන්න අපේද පැතුමය.

අනිල් ලසත් පෙරේරා

Comments