කලාවේ ආලෝ­ක­යෙන් මනු­ෂ්‍ය­ත්වය බබ­ළ­වන නින්නාද 2017 | සිළුමිණ

කලාවේ ආලෝ­ක­යෙන් මනු­ෂ්‍ය­ත්වය බබ­ළ­වන නින්නාද 2017

UCSC Exploration Club කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ (UCSC) සියලුම වසර වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සහ ආචාර්ය මණ්ඩලයේ එකතුවෙන් පිහිටුවා ඇති සංගමයකි.

මේ මගින් ශ්‍රී ලංකාවේ විවිධ පිටිසර, දුෂ්කර ප්‍ර දේශයන්හි ජීවත්වෙමින් සිප්සතර හදාරන දරු දැරියන් සොයා ගොස් ඔවුන්ගේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් විවිධ විෂයයන්ට සම්මන්ත්‍රණ පැවැත්වීමේ උතුම් සමාජ සත්කාරය වසර ගණනාවක සිට ක්‍රියාත්මක කරයි.

බොහෝ දුෂ්කරතා මැද තම ඉගෙනුම් කටයුතු කරගෙන යන, මතුදිනෙක රටේ අනාගතය බබාරගන්නට සැරසෙන එම අහිංසක දූ පුතුන්ට රටේ අනෙකුත් දරු දැරියන් සේම ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් ලබා දී ඔවුන්ද මේ සමාජයේ කොටස් කරුවන් බවට පත් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මේ අරමුණ වෙනුවෙන් UCSC Exploration Club හරහා සරසවි සිසු දරු දැරියන් තම නිර්ලෝභී දායකත්වය ලබාදෙනුයේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව බව එම සංගමයේ සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ 3වසරේ ශිෂ්‍ය සහිරු සසංක පවසයි.

‘‘ ඉතා උග්‍ර අපහසුතා මධ්‍ය යේ සිප් සතර හදාරන දරු දැරියන් බොහෝ පිරිසක් ජීවත්වන ආනමඩුව, ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍ර දේශවල පාසල් වලට අපිගියා.ඒ අනුව 2015 ඔක්තෝබර් 13 සහ 14 දෙදින පස්සර බිබිලගම මහා විද්‍යාලය, ඇත්පට්ටිය වැරැල්ලගොල්ල විද්‍යාලය සහ කනවැරැල්ල මහා විද්‍යාලය යන පාසල්වල අපොස සාපෙළ සිසු සිසුවියන්ට අධ්‍යාපනික සම්මන්ත්‍රණ පවත්වා පොත් පත් පරිත්‍යාග කළා.

2015 ඔක්තෝබර් 26 සිට 28 දක්වා ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ නවොද්‍යා පාසලේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා සම්මන්ත්‍රණ පැවැත්වූවා.

අපේ රටේ තවත් දුෂ්කර ප්‍රෙද්ශ ගණනාවක අපි මෙවැනි සම්මන්ත්‍රණ ගණනාවක් පවත්වා තිබෙනවා.

මේ ගිය ගමන්වලදී අපි අත්දැක්කා මේ ප්‍රදේශවල පානය කිරීමට සුදුසු පිරිසුදු ජලය නොමැති කමින් ඔවුන් දැඩි අපහසුතාවන්ට මුහුණදී සිටිනවා. ඒ අනුව අපේ සංගමයේ සියලුම දෙනාට මෙවන් අපහසුතා ඇති පාසල් සොයාබලා පිරිසුදු පානීය ජලය ලබා දීමට කටයුතු කිරීමට අවශ්‍ය වුණා.

මෙම පානීය ජල ව්‍යාපෘතියට අමතරව පරිගණක තාක්ෂණය එම දරු දැරියන්ට සමීප කරවීමේ අරමුණින් පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීමට අපි තීරණය කළා. නමුත් ලාභ නොලබන අරමුණ යටතේ පවත්වාගෙන යන මෙම සංගමයට මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම ගැටලුවක්.

ඒ නිසා මෙයට අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් ‘නින්නාද 2017 ‘ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා.

තාරුණ්‍ය යේ හදවත් දිනූ කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සහ සනුක වික්‍රමසිංහ යන තිදෙනා එකම වේදිකාවක සංගීතවත් වන මෙම ප්‍රසංගය ලබන 26 වැනිදින සවස 6.30 ට මහරගම තරුණ සේවා සභා රඟහලේදී පැවැත්වෙනවා.

එදින පැමිණ අපට මෙම සද්කාර්යය සාර්ථක කරගැනීමට දායක වන ලෙස රසඳුන පාඨක ඔබෙන් ඉල්ලා සිටිනවා.‘‘

  

 

 

Comments