තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

කුමුදු ‘සුළඟ සේමා‘ ගෙනෙයි

කුමුදු නිශාන්ත කිව්වම ඔහුව හඳුන්වන්න අටුවා ටිකා අවශ්‍ය නැහැ. කෙටි චිත්‍රපට හා ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන් ද සම්මානනීය වූ මේ ප්‍රවීණ නිර්මාණකරුවා ඔහුගේ ප්‍රථම දීර්ඝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ‘සුළඟ සේමා‘ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්නට සූදානම් වෙනවා. මේ වන විට එහි රූ ගත කිරීම් බොහොමයක් සිදු කර හමාරයි. තම ප්‍රථම දීර්ඝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ගැන කුමුදු අපිත් එක්ක කතා කළා. ‘සුළඟ සේමා ‘ටෙලි නාට්‍යය ළඟදීම ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද සමාජයේ කතාබහට බඳුන් වන , අපූර්ව කතා තේමාවකින් තමයි මේ නාට්‍යය යුක්ත වන්නේ. විශේ‍්ෂයෙන්ම දුෂ්කර ගම්මානයක වකුගඩු රෝගීන් වෙනුවෙන් සේවය කරන්නට පිටත්ව යන ‘සෙනරත්‘නමැති ඉහළ පැලැන්තියක හැදී වැඩුණු තරුණ වෛද්‍යවරයකු වටා ගෙතෙන කතාවක් මෙය. ඒ වගේම මේ කතාවට තවත් කුතුහලය දනවන අන්තර් කතා කිහිපයකුත් එක්කාසු වෙනවා. මෙතෙක් කල් සම්මානයට පාත්‍ර වූ කෙටි චිත්‍රපට හා ඒකාංගික ටෙලි නිර්මාණ රැසක් නිර්මාණය කරමින් මා ලැබූ අත්දැකිම් මගේ ප්‍රථම දීර්ඝ ටෙලි නිර්මාණයට බලපෑවා. මේ නාට්‍යයට මමත් ඇතුළුව ජගත් චමිල, උමාලි තිලකරත්න, සමනලී ෆොන්සේකා,රම්‍යා වනිගසේකර, ක්ලීටස් මෙන්ඩිස්, දයා තෙන්නකෝන්, ග්‍රේස් තෙන්නකෝන්, දිලිනි ලක්මාලි, නලින් ප්‍රදීප් උඩවෙල,චමිලා පීරිස්, නිරෝෂන් විජේසිංහ ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

සිනමාවට පායන අලුත්ම තරුව

චමත්කා ලක්මිණී නිරූපණ ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම නිරූපණ ශිල්පිණියක් වගේම ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජන තරඟ රැසකට සහභාගි වූ ඇය මේ වන විට නර්තන ශිල්පිනියක හා ගීත රූපරචනා සඳහා නිරූපිකාවක ලෙස ද නමක් දිනා සිටින්නියක්. කොහොම වුණත් මේ ජනප්‍රිය නිරූපිකාව හා හා පුරා කියලා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් නිළියක ලෙස සිනමා රංගනයකින්ම කලඑළි බසින්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්න ලැබුණා. අපි ඒ ගැන චමත්කාගෙන් විමසා බැලුවා. ‘නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ‘සරුංගල්‘ චිත්‍රපටයේ ‘අසංකි ‘කියන ප්‍රධාන චරිතය රඟපාන්න මට මේ වන විට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ගැන හුඟක් සතුටුයි. මොකද රඟපාන්න ලොකු ආසාවක් හිතේ තිබුණා. එය මා දුටු සිහිනයක්. අද වන විට එය සැබෑ වී තිබෙනවා. අසංකි කියන්නේ මේ සමාජයේ ජීවත් වන චරිතයක්. සමාජයේ අනෙක් තරුණ ජීවිතවලට යම් ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක්. ඒ චරිතයේ යමක් කරන්න තිබෙන නිසා මම කැමැත්තෙන් ඒ චරිතය රඟපාන්න භාර ගත්තා. මගේ පළමු සිනමා රංගනයෙන් ප්‍රේක්ෂකයා වෙත අලුත් අත්දැකීමක් ලබාදෙන්න මම සූදානම්.

බලාපොරොත්තුවක් ඉටු වෙලා

දුලීකා මාරපනත් සුජීව ප්‍රියලාලුත් කලා ක්ෂේත්‍රයට අලුත් යමක් එක් කරන්නට නිතරම උත්සාහ ගන්නා යුවළක්. ලෝරන්ස්ගේ මනමාලි සමඟ රට වටේ ගිය මේ දෙන්නා දැන් තවත් අලුත්ම භූමිකාවකට පණ පොවන්න සූදානම් වෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන තොරතුරු සොයා බලන්න ඕන කියලා අපි හිතුවා. ඒ හින්දම අපි දුලීකව සම්බන්ධ කර ගත්තා. ‘මේ දවස්වල මමත් සුජීවත් වෙහෙසෙන්නේ අපි දෙදෙනා එක්ව නිර්මාණය කරන්නට සූදානම් වෙන නවතම චිත්‍රපටය වෙනුවෙන්. එහි පුර්ව නිෂ්පාදන කටයුතු සැලැසුම් කරගෙන යනවා. එනිසා අවිවේකී කාලයක් තමයි ගත කරන්නේ. කාලයක සිටම සුජීවගෙත් මගෙත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. එය ඉටු කරගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුජීව. මම චිත්‍රපටයේ ප්‍රඩක්ෂන් එකේ සියලුම කටයුතු සොයා බලමින් සහාය වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදිකාව මගේ සහෝදරියක් වෙන කල්‍යාණි රණවක. නෝත් වෙස්ට් ප්‍රඩක්ෂන් එකක් ලෙස මෙය නිර්මාණය වෙනවා. තවම මේ චිත්‍රපටයට නමක් යොදා නැහැ. නමක් යෝජනා මට්ටමේ පවතිනවා. ඒ තමයි ‘සුපර්ණා‘මේ චිත්‍රපටයේ කතා තේමාව වුණේ ස්වභාවික පරිසරය රැක ගැනීම පිළිබඳවයි. මේ ඔස්සේ දේශීය සංස්කෘතිකාංග සඳහා වටිනාකමක් ලබා දෙන්නට අපි උත්සාහ දරනවා. මේ චිත්‍රපටය පවුලේ හැමදෙනාටම එකට හිද රසවිදින්ට පුළුවන් ලෙසයි නිර්මාණය වන්නේ. ගැලරියෙන් දුරස් වූ ගැලරියේ විසිල් හඬ යළිත් වරක් ගැලරියට රැගෙන එන්නයි අපි උත්සාහ කරන්නේ.

 

මෙහෙමත් ලණුදීමක්.

මේ දවස්වල අපේ ප්‍රවීණ නළුවන් කිහිප දෙනෙක්ම අලුත්ම චිත්‍රපටයකට දායක වෙනවා. ඒ 'නැතිබැරි ටාසන්'. ටෙනිසන් කුරේ, රජිත හිරාන්(පිංපොන්),මංජුල මොරගහ, රුවන් ලොකුහෙට්ටිගේ මේ අතර වෙනවා. මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වන්නේ යාල වනාන්තරයේ. කැළේ ගත කරන කාලය නළුනිළියන්ට හරිම විනෝද ජනකයි. මේ අතර මේ අය එකිනෙකාට දෙන ලණුවලින් නම් අඩුවක් ඇත්තෙම නැහැ. රජිතයි, ටෙනිසන් කුරෙයි එකතු වෙලා මංජුලට දුන්න ලණුවක් අපිටත් දැන ගන්න ලැබුණා. ‍චිත්‍රපටයේ දෛනික රූගත කිරීම් නිම වු විගස ටෙනියි රජිතයි ඔවුන්ගේ නවාතැනට ගිහින් මුහුණ කට සෝදලා හවස් යාමය මධුවිතින් ගත කරන්න පටන් ගෙන . මධුවිත බෝතල් ක්‍රමයෙන් හිස් වෙන්න පටන් ගන්න කොට මංජුලත් නවාතැනට ඇවිත්. මංජුලවත් ඉතින් මේ දෙදෙනා බොහොම සාදරයෙන් පිළිඅරගෙන. 'මචං උඹ එනකන් බලන් හිටියා ඒත් උඔ ටිකක් ප්‍රමාද නිසා අපි වැඩේ පටන් ගත්තා. තම මිතුරාට පිළිතුරු දුන් රජිතයි ටෙනියි මෙතෙක් වේලා මංජුල පැමිණෙන තෙක් සඟවාගෙන සිටි තේවතුර පුරවා මධුවිත ලෙස සකස් කළ බෝතලය මංජුලට දීලා. ඒත් ඉතින් ඒ විහිළුව මංජුලට හොයාගන්න ගත වුණේ විනාඩියලු. කොහොම කොහොම හරි යාල රූගත කිරීම් ඉවර කරන තෙක්ම එකිනෙකාට දෙන ලණුවලින් නම් ඉවරයක් වුණේම නැතිලු.

Comments