සහෝදරත්වය ගොඩ නැංවූ මුලතිව් වෙසක් කලාපය | සිළුමිණ

සහෝදරත්වය ගොඩ නැංවූ මුලතිව් වෙසක් කලාපය

 සිංහල දෙමළ ජනතාව අතර සමඟිය කාලාන්තරයක් තිස්සේම මේ රටේ ස්ථාපිතව තිබුණා. තිස් වසරකට ආසන්නව උතුරු නැඟෙනහිර පැවැති යුද්ධය නිසා මේ සමඟිය දෙදරා ගියා පමණක් නෙමෙයි මේ දෙපිරිසේ ආගමික මෙන්ම සංස්කෘතික කටයුතු ගැනද අනෙක් අයට අවබෝධයක් ලබා ගැන්මට හැකියාවක් ලැබුණේ නැහැ.

යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා. ඒත් උතුරේ බොහෝ ජනතාව අතර තවමත් සිංහල ජනතාවගේ ආගමික සංස්කෘතික අංග ගැන දැනුමක් ලබා ගැන්මට හැකි වී තිබෙන බවක් පෙනෙන්නට නැහැ. ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ ඒ අය තවමත් එයින් ගොඩ ඒමට දරන උත්සාහය නිසා එවැන්නක් ගැන අවධානය යොමු කරන්න තියෙන වෙලාව අඩු වීම එක් හේතුවක් වෙන්න පුළුවන්.

අනෙක් හේතුව වන්නේ ඒ අයට සිංහල ජන සංස්කෘතියත් සමඟ ගැටෙන්නට ඉඩකඩක් නොමැතිවීමයි. මේ තත්ත්වය වළක්වා සිංහල බෞද්ධයන්ගේ හැඟීම් මෙන්ම ආගමික හා සංස්කෘතික සිරිත් විරිත් උතුරේ ජනතාවට ලබා දෙන්නට පසුගියදා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා කටයුතු කළා.

ඒ මුලතිව් වෙසක් කලාපයක් ස්ථාපිත කිරීමෙන්. මෙහි විශේෂත්වය වන්නේ ආඥාපතිතුමා බෞද්ධයකු නොවීමයි. කුමන ආගමක වුවත් සහෝදරත්වය සමඟිය සාමය ජනතාවට ලබා දීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙමින් මේ උතුම් කර්තව්‍යයට අත ගසන්නට ආඥාපතිවරයාට හැකි වුණා.

මුලතිව් වෙසක් කලාපය දකුණේ වෙසක් කලාපයන් මෙන්ම අගනා මනරම් පෙනුමක් ගත්තා. මේ සඳහා මුලතිව් බල ප්‍රදේශයට අයත් ගුවන් හා නාවික හමුදාවන්ගේ දායකත්වයත් ලැබුණා.

වෙසක් කලාපයේ එක් විශේෂ අංගයක් වුණේ 68 සේනාංකය මඟින් පවත්වනන්ට යෙදුණු මහා බත් දන්සලයි. උතුරේ තරුණ තරුණියන්ට මෙය නවමු අත්දැකීමක් වුණා. යාචකයන්ට හැර ඇති හැකි අයටවිපතකදී හැර ආහාර පාන දෙන මේ ක්‍රමය කුමක්දැයි ඔවුන් දැන සිටියේ නැහැ.

සිංහල බෞද්ධයන් වෙසක් සැමරුමේ එක් අංගයක් ලෙසින් දන්සල් පවත්වන බව ඔවුන් දැන ගත්තේ එදිනයි. එය මේ ජාතීන් අතර සහයෝගීතාව වඩවන්නට මහත් රුකුලක් වුණා. යුද්ධය ආරම්භ වූ 1983 වසරේ ඉපැදුණු අයකු වුවත් අද වන විට වයස අවරුදු 34ක් වන තරුණ තරුණියන් එමෙන්ම 1983 වසර වන විට වයස අවරුදු 4ක් 5ක් පමණ වයසක සිටි අය පවා මේ සංස්කෘතීන් ගැන දන්නේ නැහැ. ඔවුන්ටද මේ දන්සල් ක්‍රමය ගැන දැනීමක් නැහැ.

මේ නිසා උතුරේ වත්මන් පරම්පරාව මෙන්ම ඉදිරියේ පරම්පරාවට මේ සිරිත් විරිත් ලබා දීමෙන් සිදු කරනු ලැබුවේ මහත්ම වූ අනාගතයේ ජාතීන් අතර සහෝදරත්වයක කැඩී බිඳී නොයන ලෙසින් කළ අත දීමක්.

ශ්‍රී ලංකාවට යළි කිසි දිනක යුද්ධය නැමැති අඳුරු මාවතට යළි නොයන්නට මේ සියලු ප්‍රයත්නයන් මල් ඵල දැරූ බවත් මෙහිදී පෙනී ගියා. සිංහල - දෙමළ සමඟිය ඇති කිරීමටත් එය වඩාත් වර්ධනය කිරීමටත් මේ කර්තව්‍යය මහත් පිටිවහලක් වූ බවයි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

මේ කාර්යය සාර්ථක කර ගන්නට දෙමළ වැසියන් විශාල දායකත්වයක් දැක්වූ බවත් අපට පෙනී ගියා.

විශේෂයෙන්ම මුලතිව්, නන්දිකඩාල්, පුදුකුඩුඉරිප්පු කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද මේ වෙසක් කලාපය නිසා වෙනත් කිසිදු දිනක නොදුටු සමඟියක් මේ ප්‍රදේශයේ පැවැතුණු බව පෙනී ගියා. ඇතැම් නිවාසවල පවා බකට් ලාම්පු දල්වා තිබෙන බවක්ද දක්නට ලැබුණා. වෙසක් කලාපයේ පුදුකුඩුඉරිප්පු නගරය කේන්ද්‍ර කර ගනිමන් පවත්වන ලද වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය වගේම මහා බත් දන්සල විශේෂත්වයක් ගත්තා. එය සංවිධානය කරන ලද්දේ 682 බල සේනාධිපති බ්‍රිගේඩියර් සංජය වනසිංහ මහතා විසින්. ඒ සඳහා මූලිකත්වය ලබා දුන්නේ 68 සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ඒ.ඩී. කහපොළ මහතා විසින්.

කවුරුන් මොනවා කිව්වත් සිංහල දෙමළ සහෝදරත්වය අපට පැහැදිලිව පෙනී ගියේ මේ බත් දන්සල දෙසට ඇස් ඇරලා බලපුවහමයි. දකුණේ පළාත්වල වගේම දෙමළ ජාතිකයන් මේ වෙසක් කලාපයට ඇවිත් සිංහල සංස්කෘතිය ගැන අසා දැන ගත්තා. බත් දන්සල වෙත ඔවුන් සියලු දෙනා පොදි කකා පැමිණුණේ කුසගින්න දරා ගන්න බැරි කමකට නැත්නම් ආහාර ගන්නට වත්කමක් නැති නිසා නොවේ.

සහෝදරත්වය සාමය ඇගැයීම පිණිස සංවිධානය කරන ලද එක්සත්ජාතීන්ගේවෙසක් උලෙළට සමගාමීව මේ වෙසක් කලාපයට තමන්ට හැකි දායකත්වයක් ලබා දීම පිණිසයි ඔවුන් විසින් මේ සඳහා සම්බන්ධ වුණේ.

මුලතිව් නගරයේ ත්‍රිවිධ හමුදාවේම දායකත්වයෙන් පවත්වන ලද භක්ති ගී ප්‍රදර්ශනය නරඹන්නත් විශාල පිරිසක් රැස්ව සිටියා. සමහර විට ඒ අයට සිංහලෙන් ගායනා කළ මේ බැති ගී නොතේරෙනවත් ඇති. ඒ වුණත් දරු පැටවුන් පොදි බැඳගෙන ඒ අය මේ ප්‍රසංග බලා ගන්න හිටගෙන පැය ගණන් බලාගෙන සිටියා.

මේ වෙසක් කලාපය ප්‍රධාන නගර 3ක් කේන්ද්‍ර කරගෙන පැවැතුවුණු නිසා 19 ගැමුණු හේවා බළ ඇණිය මඟන් බෙලි මල් දන්සලක්ද ලබා දුන්නේ පැමිණෙන අයගේ පිපාසය සංසිඳවා ගැනීම පිණිසයි. මේ සියල්ලේම අරුත ඒ අයට දැන ගන්න පුළුවන් වුණේ ප්‍රායෝගිකවම ඒ සියල්ලටම සම්බන්ධ වූ නිසයි. තමන් නොදන්නා සංස්කෘතියක් ගැන අසා දැන ගන්න ඒ අය මහත් උනන්දුවක් දැක්වූවා.

59 සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි මහතා වගේම 591 බළසේනාධිපති කර්නල් එන්.එම්.ඩබ්ලිව්.එස්.බී නායකරත්න මහතාත් මේ සඳහා විශේෂ සහායක් වගේම උපදේශකත්වයෙන් මහත් වූ දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම 682 බලසේනාධිපති බ්‍රිගේඩියර් සං‍ජය වනසිංහ මහතා පාසල් දරුවන්ට තමන්ගේ වියදමින් නොමිලේ පාපැදි ලබා දීමත් මෙහිදි විශේෂත්වයක් ගත්තා. ඒ දාන පාරමිතාව සිහි ගන්වමින්. ඇත්තෙන්ම දකුණේදී අපට දැක ගැන්මට නොහැකි ආකාරයේ බොහෝ පුණ්‍යකර්ම රැසක්ම මෙහිදී දැක ගැන්ම‍ට හැකි වුණා.

කොහාම වුණත් මේ වෙසක් කලාපයට ආපු සෙනඟ දිහා බලපුවහම අපට පෙනුණේ සිංහල දෙමළ සහෝදරත්වය කොයිතරම් දුරට ශක්ති සම්පන්නද කියලා. ඒ තත්ත්වය තවත් වර්ධනය කරන්න නම් අපිටත් ගොඩක් දේවල් කරන්න තියෙනවා.

තාරක

Comments