අපේ සිංහ­යන්ට ජය­වේවා | සිළුමිණ

අපේ සිංහ­යන්ට ජය­වේවා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන චැම්පියන්ස් කුසලාන තරගාවලිය (I C C Campions Trophy)ඇරැඹීමට තව ඇත්තේ දින 3 කි.මෙය ලබන ජූනි 01 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙයි.ජූනි 01 වැනිදා සිට 12 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වෙන අතර 14 වැනිදා පළමු අවසන් පූර්ව තරගයත් 15 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයත් පැවැත්වෙයි.

අවසන් මහා තරගය පැවැත්වෙන්නේ 18 වැනිදා ලන්ඩන් නුවර ඓතිහාසික ඕවල් ක්‍රීඩාංගණයේ දීය. මෙවර තරගාවලියට සහභාගිවීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සටහන තැබෙන මොහොත වන විට පිටත්ව ගොස් ඇති අතර පුවත්පත මුද්‍රණයෙන් එළිදකින වන විට ඕස්ට්‍රේලියාව සමඟ (26 වැනිදා ) පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය අවසන්කර තිබෙනු ඇත. ලබන 30 වැනිදා නවසීලන්තය සමඟ තවත් පෙරහුරු තරගයක් පැවැත්වීමට නියමිතය.

මෙවර මෙම ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් තරග වදින අතර, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය සහ නවසීලන්තය Aකාණ්ඩය යටතේත් ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රීලංකාව B කාණ්ඩය යටතේත් මූලික වටයේදී එකිනෙකා හමුවෙනු ඇත.

ක්‍රිස්ගේල්, සුනිල් නාරායන්, කිරන් පොලාර්ඩ්, මාලන් සැමුවෙල්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගිවීමට අවස්ථාව අහිමිවන්නේ නියමිත දිනයට පෙර ශ්‍රේණිගත කිරීම් වල ඉහළට ඒමට අවස්ථාව අහිමි වීම හේතුවෙනි.

එම අවස්ථාව ලබාගන්නේ ශ්‍රේණිගත කිරීම් වල 8 වැනි ස්ථානය ලබාසිටි බංගලාදේශ කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ මූලික වටයේ තරග 3ක් තිබේ.ජූනි 03 වැනිදා සෙනසුරාදා පස්වරු 3.00 ට දකුණු අප්‍රිකාව සමගත්, ජූනි 08 වැනිදා බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට ඉන්දියාව සමඟත් , ජූනි 12 වැනි සඳුදා පස්වරු 3.00 ට පාකිස්තානය සමඟත් එම තරග පැවැත්වෙයි. මූලික වටයේ ජයග්‍රහණ වලින් ලබාගන්නා ලකුණු වලින් පළමු සහ දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ වටයට පිවිසෙයි. එයින් ජයගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

චැම්පියන් කුසලාන තරගාවලියේ ඉතිහාසය දෙස බැලීමේදී මෙහි ආරම්භය සනිටුහන් වන්නේ 1998 වසරේදීයි.1998 වසරේ මෙම ආරම්භක තරගාවලිය නිළවශයෙන් හඳුන්වා ඇත්තේ (Wills International Cup ) විල්ස් ජාත්‍යන්තර කුසලාන ලෙසිනි.පවත්වා ඇත්තේ බංගලාදේශයේය.අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව මෙම තරගාවලියට සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ නවසීලන්තය කඩුලු 5 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර අර්ජුන රණතුංග පන්දු 116 කදී නොදැවී ලකුණු 90 ක් ලබාගනිමින් එම ජයග්‍රහණයේ නියමුවා වුණා.

අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වුණු ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත්වුණු අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් මංගල චැම්පියන් කුසලානය දිනාගන්නට දකුණු අප්‍රිකාව සමත්වුණා.වසර දෙකෙන් දෙකකට පැවැත්වීමට නියමිත වුණු මෙම තරගාවලිය 2000 වසරේ කෙන්යාව සත්කාරකත්වය දරමින් පැවැත්වුණේ ICC Knockout Trophy ලෙසින් .

සනත් ජයසූරියගේ නායකත්වයෙන් සහභාගිවුණු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ පළමු තරගයේදිම පාකිස්තානය වෙතින් පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවතට ගිය අතර ඉන්දියාව පැරදවූ නවසීලන්තය ශූරයන් වුණා. 2002 වසරේ පැවැත්වුණු 3 වැනි තරගාවලිය ( ICC Champions Trophy ) ශූරයන්ගේ කුසලානය ලෙසින් මුල්වරට හැඳින්වූ අතර සත්කාරකත්වය දැරුවේ ශ්‍රී ලංකාව නිසා විශේෂ වෙයි.

ටෙස්ට් ක්‍රීඩාකරන රටවල් 10 සහ කෙන්යාව, නෙදර්ලන්තය සමඟ කණ්ඩායම් 12 ක් තරග වැදුණු මෙම තරගාවලිය කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 4 කට බෙදා පැවැත්වුණු අතර පාකිස්තානය, නෙදර්ලන්තය සමඟ ශ්‍රී ලංකාව 4 වැනි කාණ්ඩයෙන් තරග වැදුණා. සනත් ජයසූරිය නායකත්වය දැරූ අතර මූලික වටයේ සහභාගිවූ තරග 2 ම ජයගෙන අවසන් පුර්ව වටයට පිවිස එහිදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් පරාජය කර අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රතිවාදියා ලෙස හමුවන්නේ ඉන්දියාවයි. එහිදී තරගයට වැස්සෙන් බාධා එල්ල වන අතර අතිරේක දිනයද යොදා ගනිමින් දින දෙකක් තරග දෙකක් පැවැත්වූ නමුත් ජයග්‍රහණය කාටදැයි තීරණය කළ නොහැකිවිය. 2002 සැප්තැම්බර් 29 සහ 30 පැවැත්වූ තරග දෙකේදීම සනත් ජයසූරිය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් නමුත් දින දෙකේදීම ඉන්දීය ඉනිම් දෙක වර්ෂාව නිසා අතරහැර දැමීමට සිදුවිය.

පළමු දිනයේ ශ්‍රී ලංකාව කඩුලු 5 කට ලකුණු 244 රැස්කළ අතර ඉන්දියාවට ලබාගන්නට හැකිවුණේ ලකුණු 14 ක් පමණි. දෙවැනි දිනයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 222ක් රැස්කළ අතර ඉන්දියා ලබාගත්තේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38 ක්පමණි.මේ නිසා කුසලානය ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සමය හිමිවීම විශේෂත්වයකි.

2006 වසරේ මෙම තරගාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අතර ශූරතාව හිමිකරගත්තේ ඕස්ට්‍රේලියාවයි.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිමලුන් පිටු දැකීමේ පියවරේදී පාකිස්තානය හා දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත්වුණා.2009 තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු අතර ඕස්ට්‍රේලියාව දෙවැනි වරටත් ශූරතාව හිමිකරගන්නට සමත්වුණා. කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරග තුනෙන් 2 ක් පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

අවසන් වරට ශූරයන්ගේ කුසලාන තරගාවලියක් පැවැත්වුණේ 2013 වසරේදී. එහිදී එංගලන්තය සත්කාරකත්වය දැරූ අතර ඉන්දියාව එංගන්තය පරදවා දෙවැනි වරටත් ශූරතාව දිනාගත්තා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ තරගාවලියට සහභාගි වූ අතර A කාණ්ඩය යටතේ එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ තරග වැදුණා. මෙහිදී සහභාගි වූ තරග 3න් දෙක බැගින් ජයගත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව ඊ ළඟ වටයට සුදුසුකම් ලැබූ අතර ඉන්දියාව හමුවේ පරාජය වීමනිසා තරගාවලියෙන් ඉවත්වනවා.

මේ අනුව බලන කල ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ශූරයන්ගේ කුසලාන තරග මාලාව එතරම් දස්කම් දැක්වීමට අවස්ථාවක් නොලැබුණු තරගාවලියක් බව පෙනී යනවා. එහෙත් මෙවර ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ උප නායකයා ලෙස අත්දැකීමී බහුල ක්‍රීඩකයෙක් වන උපුල් තරංග ක්‍රියාකරනවා.එසේම දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා,අසේල ගුණරත්න, චාමර කපුගෙදර, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න පිතිකරුවන් ලෙස සිය වගකීම් ඉටුකිරීමට සූදානමින් සිටින අතර ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් පන්දු යවන්නන් ලෙස සිය යුතුකම් කොටස ඉටුකරනු ඇත.

කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේ තරමක පසුබැස්මකට ලක්වුණු අපේ ක්‍රිකට් ක්‍රීඩාවට නව ජවයක් එක්කරමින් මෙම තරගාවලියේදී අපේ කොල්ලන් ක්‍රීඩා කරනු දැකීම අප සැමගේ බලාපොරොත්තුවයි. ක්‍රිකට් වලට ආදරය කරන අප සැමගේ ප්‍රාර්ථනාවයි. ඒ සියල්ල මල්පල ගන්වමින් තව දින තුනකින් ඇරැඹෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව මෙවර ලක්බිමට ගෙන එන්නට අපේ ක්‍රීඩකයන්ගේ ශක්තියට මුළු රටක්ම ආශීර්වාද කරනු ඇත.

අපේ සිංහයන්ට ජයවේවා! 

 

 

Comments