මැරතන් ආච්චී වයස අවුරුදු 94 යි | Page 2 | සිළුමිණ

මැරතන් ආච්චී වයස අවුරුදු 94 යි

ඇමෙරිකාවේ සැන්දියාගෝහි වෙසෙන 94 හැවිරිදි හැරියට් තොම්සන් පිළිකා මාරයා පරදවා දෙවරක් ම ජීවිතය ජයගත් දිරිය මාතාවක්. දරුවන් තිදෙනකුගේ මවක හා ආදරණීය මිත්තනියක වන හැරියට් ගේ සැමියා මිය ගියේ මෙයින් වසර ගණනාවකට කලින්. අතිශයින් ධෛර්ය සම්පන්න ගැහැනියක වූ හැරියට් මැරතන් ඇවිදීමේ තරගවලට ඉදිරිපත් වන්නට පටන් ගත්තේ ඇයට 76 විය පැන්නාටත් පසුවයි.

දැනට සැන්දියාගෝ නුවර මැරතන් තරගයක් සාර්ථකව නිමකළ වයස්ගතම කාන්තාව ලෙස වාර්තාවක් තැබූ ඇය එම තරගයට සහභාගී වූයේ 2017 මාර්තු මාසයේදී. එම තරගයේදී ඇය සැතැපුම් 13.1 ක් වේගයෙන් ඇවිද්දා. සැතැපුමක් ඇවිදීමට ඇයට ගත වූයේ මිනිත්තු 17 යි. සැතැපුම් 13.1 ඇවිදීම සඳහා ඇයට ගතවූ සම්පූර්ණ කාලය පැය තුනයි, මිනිත්තු 42 තත්පර 56 යි.

හැරියට් දෙවරක් ම පිළිකාවෙන් බැට කෑ කාන්තාවක්. ඇගේ පාදයෙහි උඩ කොටසේ ඇති වූ පිළිකාවක් මෙන් ම මුඛ පිළිකාවකින් බරපතළ ලෙස පීඩා විඳි ඇය කල්තියා හඳුනාගෙන ඒවා ඉවත් කිරීමෙන් සුවය ලැබීමට තරම් භාග්‍යවත් වුණා. වරින්වර ඇයට සිදු කළ සැත්කම් හා අසනීප තත්ත්වයන් නිසා අඛණ්ඩව පුහුණුවීම්වල යෙදෙන්නට නොහැකි වුවත් ඇය ‍රෝහලෙන් පැමිණි සැම විටම හැකි ඉක්මණින් පුහුණුවීම් යළි ආරම්භ කළ බව හැරියට් පවසනවා.

“මගේ පාදයේ ඉහළ කොටසෙන් ලබාගත් සම කොටසක් ‍යොදා සිරුරෙහි විකිරණ ද්‍රව්‍යවලින් ඇතිවූ පිළිස්සුම් කැලලක් වැසීම සඳහා වෛද්‍යවරුන් සැත්කමක් කළා. එම තුවාල සුව වෙනතුරු මට ඇවිදින්නට බැරි වුණා. පළමුවෙන් ම මම කිලෝමීටර 5ක් ඇවිද්දා. අනතුරුව මගේ පුතා බර්නින් සමඟ තව දවසක් කිලෝමීටර 8ක් ඇවිද්දා.” ඇය කියනවා.

2015 දී ද හැරියට් තොම්ප්සන් සිය පුතු සමඟ මැරතන් තරගයට සහභාගි වුණා. වෘත්තියෙන් පියානෝ වාද්‍ය ශිල්පිනියක් වන ඇය මැරතන් තරග සඳහා සහභාගී වන්නේ සිය පුතු හා මිනිබිරියක ද සමඟින්. 2015 මැරතන් තරගයේදී ඇය පැය 7 මිනිත්තු 24 තත්පර 36 ක් ඇතුළත තරගයේ මුළු දුර ඇවිද නිම කළා. අනතුරුව බී.බී.සී. ඒබීසී, Espn සහ සී.බී.එස්. විද්‍යුත් නාළිකා සියල්ලෙහි ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නට මේ වයෝවෘද්ධ මැරතන් ශූරිය සමත් වුණා. 2015 සිට 2017 මාර්තු මාසය දක්වා අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඇයට තරගවලට සහභාගි වන්නට නොහැකි වුණා. “මේ තරගයට ඉදිරිපත් වීමට මා ජීවතුන් අතර සිටීවි යැයි මා අපේක්ෂා කළේ නැතැයි” පසුගියදා සිය තරගය නිමා කළ හැරියට් කියා සිටියා.

“මගෙන් ඔබ අනවශ්‍ය තරම් විස්තර නො අසන තාක්කල් මං හොඳින් සිටිනවා. දැන් මගේ වයස අවුරුදු 94 යි. මා අවුරුදු 16 කෙල්ල කා‍ෙල් කළ වැඩ කරන්නට බැරි බව මම පිළිගන්නවා. ඒත් තවමත් මට ඒ කාලේ තරමට ම වේගයෙන් ඇවිදින්න පුළුවන්. සමස්ථයක් වශයෙන් ගත්තාම මං හොඳින් ඉන්නවා” ඇය කියන්නේ උද්දාමයෙන් යුතුවයි.

හැරියට් මැරතන් තරගයකට ඉදිරිපත් වෙන්නට සිතක් පහළ වුණේ අවුරුදු 76 දි. ඒ අදහස ඇය සැන්දියාගෝ හි මැරතන් තරග සංවිධායකයන්ට දැන්වූ විට ඒ සඳහා ඇයට අවස්ථාව හිමි වුණා. ඇගේ ජයග්‍රහණයේ වටිනාම කොටස වන්නේ ඇගේ ජයග්‍රහණයෙන් ලද ආධාර මුදලින් ඇමෙරිකා ඩොලර් ලක්ෂයක් ලියුකේමියා සංගමයට පරිත්‍යාග කිරීම සහ පිරිනැමීමයි. ඒ සඳහා 2017 දී ඇය ගේ තරගයෙන් උපයන ලද ආධාර මුදල ඇ.ඩො. 15,000 ක්.

ඇමෙරිකා මැරතන් ධාවන තරග වාර්තා අනුව හැරියට් විසින් බිඳ හෙලන ලද්දේ 2012 දී 93 හැවිරිදි ග්ලැඩිස් බියුරිල් විසින් තබන ලද වාර්තාවයි. හවායි හිදී සම්පූර්ණ මැරතන් තරගයට සහභාගි වූ බියුරිල් සමත් වූයේ මුළු ධාවන පථයෙන් හරි අඩක් නිම කිරීමට පමණයි. 2016 දී හැරියට් සිය පුතුන් දෙදෙනා සහ මිනිබිරිය ඇන්ජලා සමඟ මැරතන් තරගයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටියත් මුඛයේ සිදු කළ සැත්කමෙන් පසු ඇති වූ අතුරු ආබාධ නිසා ඇයට එම තරගයට සහභාගී වෙන්නට නොහැකි වුණා.

2017 මාර්තුවේදී තරගයට සහභාගී වී නව වාර්තාවක් තැබූ හැරියට් කියන්නේ “මට වැටෙන්නට බැරි නිසා මා ඔහේ ඇවිද යන බවයි. ඒත් මට ඕනෑ ‍මීට වඩා වේගයෙන් ඇවිදින්නටයි. ඊළඟ වතාවේ මම දුවන්නට උත්සාහ කරනවා.” හැරියට් පවසන්නේ ප්‍රීතිමත් සිනාවකින් මුව පුරවාගෙනයි.

සාගරිකා

Comments