ඩිජිටල්කරණයෙන් ලෝකය ජයගනිමු | සිළුමිණ

ඩිජිටල්කරණයෙන් ලෝකය ජයගනිමු

 ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් තම අලෙවිකරණ කටයුතුවලට නැඹුරුවීම දිනෙන් දින ඉහළ යයි. ශ්‍රී ලංකාවද පසුගිය වසර පහක පමණ කාලයක සිට මෙම ක්ෂේත්‍රය කෙරෙහි තම අවධානය යොමු කර ඇත. ලාංකික සංචාරක හෝටල් ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගැනීමේ පහසු මඟක් ලෙස දැන් දැන් ඩිජිටල් අලෙවිකරණය වෙත යුහුසුලු වේ. එමෙන්ම දේශපාලන පක්ෂ, රාජ්‍ය සමාගම්, සමාජ සහයෝගිතා කණ්ඩායම් මේ කෙරෙහි අවදානය යොමු කර ඇති බව අපි කාටත් නොරහසකි. අන්තර්ජාල වෙළඳාම පුළුල් පරාසයක් ඔස්සේ දිවෙයි. ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), විද්යුත් වෙළෙඳකරණය (e-commerce) ලෙසද අන්තර්ජාල අලෙවිකරණය හඳුන්වයි. මෙය එකවරම රටවල් ගණනාවක සිටින පුද්ගලයන්ට සැනින් තොරතුරු යැවිය හැකි මාධ්‍යයකි. බොහෝ දියුණු රටවල මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවද තමන්ට අවැසි භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමට පෙළෙඹී තිබේ. මෙමගින් කාලය හා මුදල් යන දෙකම ඉතිරි කර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. ඔබ සතුව එසේත් නොමැති නම් ඔබ සේවය කරන ආයතනය සතුව වෙබ් අඩවියක් ඇත්නම් ඩිජිටල් අලෙවිකරණය මගින් විශාල වාසි අත්කරගත හැකිය.

ඩිජිටල් අලෙවිකරණයේ (Digital Marketing) හි ප්‍රධාන අංශ 3කි.

1. සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය (SEO - Search Engine Optimization).2. සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය (SEM - Search Engine Marketing).3. සමාජ ජාල අලෙවිකරණය (SMM – Social Media Marketing).

ඩිජිටල් අලෙවිකරණයේ ක්‍රියාකාරී ප්‍රධානම අංශයකි සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය (SEO - Search Engine Optimization). ඔබට සතුව වෙබ් අඩවියක් ඇත්නම් එය සෙවුම් යන්ත්‍රයන්හි මූල පදයන් (Keywords) ඇතුළත් කළ විට මුල්ම සෙවුම් ප්‍රතිඵල අතරට එන්නට නම් ඔබේ වෙබ් අඩවිය අනිවාර්යෙන්ම සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණයට ලක්කළ යුතුය. එමගින් ඔබට සෙවුම් යන්ත්‍ර මිත්‍ර (Search Engine Friendly) වෙබ් අඩවියක් හිමිකරගත හැකිය. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රධාන සෙවුම් යන්ත්‍ර 3කි. එනම් Google, Yahoo හා Bing ය. එහි ප්‍රධාන තැන උසුලන්නේ Google ය. ඔවුන් කාලයෙන් කාලයට තම සෙවුම් යන්ත්‍රයට විවිධ භාවිතයට පහසු අංශ එකතු කිරීම මීට හේතුවයි.

SEO හි ප්‍රධාන අංශ 2කි. 1. Onpage Optimization - වෙබ් අඩවියේ සිදුකරන ප්‍රශස්තිකරණය.

2. Offpage Optimization - පිටුවෙන් පිටත සිදුකරන ප්‍රශස්තිකරණය.

Onpage Optimization - වෙබ් අඩවියේ සිදුකරන ප්‍රශස්තිකරණය.මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ භාණ්ඩය හෝ සේවාවට අදාළ මූල පදයන් (Keywords) හා කෙටි හැඳින්වීමක් මගින් සෙවුම් යන්ත්‍රයට වෙබ් අඩවිය හා එහි ඇති ඡායාරූප හඳුන්වාදීමට අවැසි කොටස් සැකසීමයි. එමෙන්ම සෙවුම් යන්ත්‍රයට අදාල වෙබ් අඩවිය යොමු කිරීම සිදුකරයි. එමෙන්ම වෙබ් අඩවියේ විශ්ලේෂණයට (Analytics) අවැසි කේතයන් ලබා දේ. සරලව පැවසුවොත් සෙවුම් යන්ත්‍රයට වඩාත් පහසුවෙන් වෙබ් අඩවිය සොයාගැනීමට හැකිවන ආකාරයට වෙබ් අඩවිය සූදානම් කිරීම මෙම ක්‍රියාවලියයි. එමෙන්ම ඔබේ වෙබ් අඩවියේ කරුණු ඔබට අවේණික (Unique Content) ලෙස සකස් කිරීම සිදු කළ යුතුය.

Offpage Optimization - පිටුවෙන් පිටත සිදුකරන ප්‍රශස්තිකරණය.මෙහිදී සිදු කරන්නේ මූලික වශයෙන් වෙනත් අඩවිවලට අප සතු වෙබ් අඩවිය අතුළත් කිරීමයි. එය අපි Back link ඇතිකරගැනීම ලෙස හඳුන්වනු ලබයි. මෙහිදී වෙබ් අඩවි නාමාවලිවල, එමෙන්ම බ්ලොග් අඩවිවල, සමාජ ජාලවල යොමුවන් ඇති කිරීම සිදු කරනු ලබයි.

මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් විටෙක ඉතා ඉක්මනින් මාසයක් ඇතුළත වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍රයේ මුල් පිටු අතරට ගෙන යා හැකි අතර, ඉතා තරඟකාරී සේවාවන් හා භාණ්ඩ ඇතුළත් වෙබ් අඩවියක් නම් මාස 6ත් අවුරුදු 2ත් අතර කාලයක් පිටුවෙන් පිටත සිදුකරන ප්‍රශස්තිකරණයට ලක් කළ යුතුය. එමෙන්ම එය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු ක්‍රියාවලියක් වන අතර, සමස්ත ක්‍රියාවලිය සිදුකරගෙන ප්‍රතිඵල භුක්ති විඳීමට ඔබට ඉවසීම ප්‍රගුණ කිරීම මෙන්ම අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරුවෙකුගේ සහාය ලබාගැනීම අත්‍යාවශ්‍යය.

ඔබත් අදම ඔබේ, ඔබේ ආයතනයේ වෙබ් අඩවිය සෙව්ම් යන්ත්‍ර ප්‍රශස්තිකරණයට ලක්කර ඩිජිටල් අලෙවිකරණය අරම්භ කරන්න. ඔබට නිසැක ප්‍රතිඵල ලැබෙනු ඇති.

පුලස්ති වන්නිආරච්චි

Comments