විදෙස් චිත්‍ර­ප­ටය | සිළුමිණ

විදෙස් චිත්‍ර­ප­ටය

බොලිවුඩයේ රැන්ගූන් අසාර්ථක වෙද්දී කොලිවුඩයේ රැන්ගූන් අතිසාර්ථක ලෙස තිරගත වෙමින් පවතී. දමිළ සිනමාපට උතුරු ඉන්දියානු සිනමාපට පරයමින් ප්‍රේක්ෂක විචාරක මනාපය දිනා ගත් එක් අවස්ථාවකට ‘රැන්ගූන්’ හොඳම නිදසුනකි.

එකම නම තිබුණ ද සිනමාපට දෙකේ ‍තේමාවන් නම් එකිනෙකට වෙනස්ය.

රාජ්කුමාර් ‍ෙපරියසාමි අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ක්‍රියාදාම රැන්ගූන් සිනමා පටය යෞවන වයසේ පසුවන මිතුරන් තිදෙනකුගේ කතා පුවතකි. වෙන්කත් (ගෞතම් කර්තික්) මියන් මාරයේ (බුරුමයේ) හැදී වැඩී චෙන්නායි පැමිණෙයි. එහිදී ඔහුට ළමා වියේ මිතුරන් දෙදෙනකු වූ කුමාරන් (ලලූ) සහ ටිප්ටොප් (ඩැනියල් ඇනී පෝප්) මුණ ගැසෙයි. ඒ වන විට ඔහුගේ එම මිතුරෝ කපටි රන් ජාවාරම්කරුවකු වූ ගුණසීල (මලයාලම් නළු සිදික්) නිසා නොදැනුවත්ව ම රන් ජාවාරමේ කොටස්කරුවන් වී සිටිති. වෙන්කත් ද මිතුරන් මාර්ගයෙන් රන් ජාවාරමේ කොටස්කරුවකු බවට පත්වෙයි.

වෙන්කත් සමාජ ශාලාවක ගායිකාවක වන නටාෂාට ආදරය කරයි. ඇය ද (සානා මක්බුල්) ඔහුට සෙනෙහස දක්වන්නේ වෙන්කත් ගේ යුක්තිගරුක බව හා ධෛර්යවන්ත බව නිසයි.

ගුණසීලගේ ව්‍යාපාරික සතුරන් විනාශ කිරීම නිසා ගුණසීල වෙන්කත් ගැන දැඩි විශ්වාසයක් ඇති කර ගනී. මිතුරන් තිදෙනා ගුණසීලගෙන් ඈත්වන්නට තීරණය කර තිබියදී ඔහු යළිත් ඔවුනට භාරධූර කාර්යයක් බාර දෙයි.

ගුණසීල අවසන් වරට පවරන රාජකාරිය වෙන්කත්ගේත් මිතුරන්ගේත් ජීවිත උඩුයටිකුරු කරයි.

අනිෂ් තරුන් කුමාර්ගේ සිනමා ඡායාරූපකරණයෙන් විෂල් චන්ද්‍රසේකර්ගේ පසුබිම් සංගීතයෙන් රාජ්කුමාර් පෙරියසාමිගේ පිටපතින් සහ අධ්‍යක්ෂණයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ විශිෂ්ට ලෙස ‘රැන්ගූන්’ ජීවමානකර තිබෙන බව විචාරක අදහසයි. එලෙසම ‘වෙන්කත්’ ගෞතම් කර්තික් ගේ රංගනයේ අග්‍ර ප්‍ර‍ාප්තියක් බවට බොහෝ විචාරවල සඳහන් කර තිබිණි.

විසිහත් හැවිරිදි ගෞතම් කර්තික් මනි රත්නම්ගේ ‘කාදල්’ (2013) සිනමා පටයෙන් දොරට වැඩි අතර මාපියන්ගෙන් පමණක් නොව සීයාගේ රංගන උරුමය ද උපතින්ම දායාද කරගත්තෙකි. මනෝ විද්‍යා උපාධිධාරි‍යකු හා ගිටාර්වාදකයකු ද වන ගෞතම් කර්තික් ගේ රංගනය අරවින්ද් ස්වාමි, අර්ජුන් වැනි ප්‍රවීණ රංගධරයන්ගේ සහ විචාරකයන්ගේ අගැයුමට ලක් වූයේ කුලුඳුල් රංගනයෙන්මය. එපමණක් නොව ඊට හොඳම නළුවා ලෙස දකුණු ඉන්දීය සිනමා උලෙළේදී සම්මාන ද හිමි විය.

රජිනිකාන්ත් දියණිය අයිශ්චර්යා ධනුෂ්ගේ ‘වායි රාජා වායි’ (2015) රැන්ගුන්ට පෙර කර්තික්ගේ අති සාර්ථකවූ දමිළ සිනමාපටයයි. කොලිවුඩයේ නවතම චරිතාංග සුපිරි තරුව කර්තික් රැන්ගූන්්වලින් පසු ඉන්ද්‍රජිත්, ඉවාන් තන්තිරන්, හරා හරා මහාදේවකි, ඔරු නාලා නාල් පාදු සෝල්රන් සිනමාපටවල චරිත රංගනයන් සමඟ කාර්යය බහුලවී සිටියි.

තෙළිඟු සිනමාවෙන් පෑයූ තාරකාවක වන සානා ක්බුල් 2012 වසරේ ෆෙමිනා මිස් ඉන්ඩියා තරගයේ ‍සොඳුරු සිනාවක් හිමි රුවැත්තිය වූවාය. රැන්ගූන් ඇයගේ පළමු දමිළ සිනමා පටයයි. එලෙසම සංගීතයෙන් දායක වූ ආර්.එච්. වික්‍රම් ද චිත්‍රපට සඳහා තනු නිර්මාණයට නවකයකි.

රැන්ගූන් සිනමාපටය ගැන මුලින් ම අනාවරණය කෙරුණේ 2014 අගෝස්තුවේදීය. සිනමා පටයේ බොහෝ තැන් චෙන්නායි හිදී රූගත කර ඇති අතර දර්ශන කිහිපයක් පමණක් මියන්මාරයේ රූගත කර තිබේ.

අධ්‍යක්ෂ රාජ්කුමාර් පෙරියසාමි උතුරු මදුරාසියේ රන් ජාවාරම ගැනත් රන් අලෙවිසල් ගැනත් දීර්ඝ කාලයක් පුරා කළ සමීක්ෂණ ඇසුරින් සිනමාපට නිර්මාණය කිරීම එහි සාර්ථකත්වයට බෙහෙවින් බලපා ඇත.

සානා පළමු දමිළ පටයට දායක වී ඇත්තේ ඉතා සතුටිනි. ඒ සතුටට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගෞතම් කර්තික් ප්‍රධාන චරිතය රඟපෑමයි.

“රාජ්කුමාර් සර් ඇවිත් ප්‍රධාන චරිතයට ගෞතම් ගන්නා බව පැවසුවාම මට ලොකු සතුටක් දැනුණා. එයා නිළියන්ගේ ‘ස්වීට්හාට්’. එහෙම කියන්නේ ඔහු හොඳ සහයෝගයක් දෙමින්, විනෝදයෙන් රඟපාන්න උදව් වෙන නිසයි.” තමන් නටාෂා ගේ චරිතයට තෝරාගත් විට සානා පැවසුවාය.

නටාෂා යනු පවුලේ සාමාජිකයන් රැක ගන්නා ස්වාධීන චරිතයකි. දමිළ භාෂා දැනුම මඳ නිසා ඇයට දමිළ වචන නිසි ලෙස උච්චාරණය කිරීම පුහුණුවීමට ටික කලක් ගතවිය.

ආගන්තුක සත්කාරයට ළැදි, සහයෝගශීලී මියන්මාර් ජනතාව ඇසුරු කිරීමට ලැබීම ගෞතම්ට ‘රැන්ගූන්’ නිසා ලද සොඳුරු අත්දැකීමකි. චෙන්නායි සිනමා ශාලා 20ක තිරගත කරන ලද රැන්ගූන් දර්ශනවාර 175 කදී පළමු තෙදිනේදී ලද ආදායම ඉන්දියානු රුපියල් 39,09,120 කි. සිනමාපටය රූගතකළ ජුනි 9 වැනිදා සිට ජුනි 18 දක්වා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 1,00,42,400 ඉක්මවා ගොස් ඇත.

රැන්ගූන් අතිසාර්ථක වීම සමඟ අධ්‍යක්ෂ රාජ්කුමාර් පෙරියසාමි ගැන මෙන්ම නිෂ්පාදක ඒ.ආර්. මුරුගදෝස් ගැන ද කොලිවුඩයේ බොහෝ දෙනෙක් කතා කරති.

රුපියල් කෝටි පහකින් ඇරැඹූ ‘රැන්ගූන්’, මිත්‍රත්වය, ද්‍රෝහිවීම, අහිමිවීම පිළිබඳ කතන්දරය ප්‍රේක්ෂක විචාරක මනාපය දිගට ම දිනා ගනිමින් විජයග්‍රාහී වන්නේය.

(අන්තර්ජාලයෙනි ) 

 

Comments