ඉරණමට සරදම් කර හිනැහෙන පොඩි මැණිකේ | Page 2 | සිළුමිණ

ඉරණමට සරදම් කර හිනැහෙන පොඩි මැණිකේ

කිරිබද්දන් වඩා ගත් කාන්තාවෝ පේළියක රැඳී තම වාරය එන තුරු බලා උන්නෝ ය. පේළියේ මුලින් ම උන් කාන්තාව ළඟ තිබූ මේසය වටා උන්නේ එතැන කාර්ය භාර වෛද්‍යවරිය, එන්නත ලබා දුන් හෙදියන් කීපදෙනෙක් හා ඔවුන්ට ආධාර කළ කාර්යමණ්ඩලයත් පෝලියෝ මර්දන එන්නත ලබා දීමේ ජංගම සෞඛ්‍ය මධ්‍යස්ථානය පැවැත්වීමට දායක වූ ගැමියෝ කීපදෙනෙකි.

එක් එක් කිරිබද්දා ගේ වම් අතේ ඉහළ තුනී සම පාසාරු කර ගෙන එන්නත් කටුව යද්දී උන් බියෙන් හැඬූහ. එය දැක බියට පත් වූ අය උන් වඩා ගෙන හුන් කාන්තාව බදාගෙන හැකිළුණේ එන්නත් කටුව රැගත් හෙදියට ඇගේ කාර්යය කිරීමට ඉඩක් නොදීමට ය.

එවකට කිරිබද්දියක් වූ මිනිපේ-අඹගහපැලැස්සේ පොඩි මැණිකේ කැටුව පේළියට එක්ව හුන් අය හැඬූ හා බියට පත් ව හැකිළුණු උන් දැක කම්පාවට පත් වූවා ය. කුඩා දියණියට අතිශයින් ආදරය කළ ඇය පොඩි මැණිකේ හඬනු හෝ බියට පත් වනු දැකීමට අකමැති වූවා ය. ඒ අනුව ඇය ගත් තීරණය කුමන තත්ත්වයක් යටතේ වුවත් ඒ මොහොතේ නොගත යුතු වූවක් වීය.

වඩා ගෙන උන් පොඩි මැණිකේ තුරුළු කර ගත් ඇය එතැන උන් අන් කාටත් හොරෙන් පේළියෙන් බැහැර වූවා ය. ඇගේ කාරිය නිම කර ගෙන පැමිණෙන තුරු, පේළියට කිට්ටු තැනක බලා උන් තවත් කාන්තාවන් කීපදෙනකු වෙත ගිය ඇය ඔවුන් හා කළ විනාඩියක-දෙකක කතා-බහකින් අනතුරුව ඔවුන් ද කැටුව ගෙදර ගියා ය.

මිනිපේ යෝධ ඇළ යෝජනා ක්‍රමය යටතේ, මහවැලි ගංගාවෙන් මුලින් ම වාරි ජලය ලැබෙන කලාපයට අයත් අඹගහපැලැස්ස ගොවි ජනපදයේ හැම පවුලක ම කිරිබද්දන්ට පෝලියෝ මර්දන එන්නත (රජයෙන්) නොමිලේ ලැබෙද්දී පොඩි මැණිකේට නොලැබී ගියේ ඒ ආකාරයට ය. ඉන් අනතුරුව අවුරුද්දක පමණ කාලයක් ගතවූ අතර එක් දිනක මෙම කුඩා දැරිය හදිසියේ ම රෝගාතුර වූවා ය. එතෙක් ඇයට වැළඳී තිබෙනු නොදුටු රෝගී තත්ත්වයකින් පොඩි මැණිකේ පෙළුණු හෙයින් ඇයට වහා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගැනුණේ ය.

ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු මහා උපේක්ෂාවකින් කරුණු පැහැදිලි කළහ: කුඩා පොඩි මැණිකේට වැළැඳී තිබුණේ පොලියෝ රෝගය යි.

ඇගේ විධිමත් අධ්‍යාපන කටයුතු හරියාකාරව කර ගැනීමට ආධාර-උපකාර කළ යුතු බවට පවුලේ අය ගත් තීරණය ඉතා නිවැරැදි එකක් වීය. එහි ප්‍රතිඵලයක් වූයේ, මහියංගණය, පාලම් හංදිය, මොරයාය, හඳගනාව,රන්දෙනිගල හා කීර්ති බණ්ඩාරපුර හරහා හෝ මිනිපේ-හසලක, පල්ලේවත්ත හා පාලම් හංදියත් ඉන් ඔබ්බෙන් වන ඉහත කී ප්‍රදේශත් හරහා හෝ වලපනේට, හඟුරන්කෙතට, මතුරටට හා නුවරඑළියට යා හැකි මාර්ගයේ පිහිටා තිබෙන අටේ-කණුව අවට පැතිරී තිබෙන අඹගහපැලැස්ස ගොවි ජනපදය වෙනුවෙන් පිහිටුවන ලැබූ අඹගහපැලැස්ස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දරු දැරියන් අතර කැපී පෙනෙන අයකු බවට පොඩි මැණිකේ පත් වීම යි.

විධිමත් අධ්‍යාපනය ලැබීමේ ක්‍රියාවලියේ මුල් කඩඉම වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අඹගහපැලැසේ දී ලියූ පොඩි මැණිකේ ඊට ඉහළ තැනක දී (ඊළඟ කඩඉම වන) උසස් පෙළටත් ලියා මහනුවර-පේරාදෙණිය විශ්ව විද්යාලයේ දී උපාධියක් ලබා ගත්තී ය.

එහි ප්‍රතිඵලයක් හැටියටත් අත්වාරුවක පමණක් ආධාරයෙන් එදිනෙදා දිවියේ වෙනත් කටයුතු හරියාකාරයට කර ගැනීමට හැකියාව තිබිමේ ප්‍රතිඵලයක් හැටියටත් රජයේ ගුරුවරියක වීමේ බලාපොරොත්තුවෙන් ඇය ඉදිරිපත් කළ අයැදුම් පත ප්‍රතික්ෂේප නොවුණේ ය.

ඒ අනුව, දැන් ඇය දැන් ඇය අඹගහපැලැස්සේ ගුරු මණ්ඩලයට අයත් වෙයි.

දෛවය කළ පුංචි සරදමකට කම්පා නොවී දෛවයට හිනැහුනු පොඩි මැණිකේ වැනි අය ම රජයේ ගුරු සේවයට භාග්‍යයක් වනු ඇත. ඇය වැනි ගුරු මහත්ම මහත්මීන් ගේ මගපෙන්වීම යටතේ අකුරු කරන දරු දැරියෝ ඉතිහාසය-භූගෝලය-ගණිතය-විද්‍යාව-ඉංග්‍රීසි-දෙමළ-සිංහල හා නැටුම්වලට වඩා වැඩි යමක් දැන ගන්නවාත් ඇත. පොඩි මැණිකේ මුල් අකුරු කළ අඹගහපැලැස්ස රජයේ විද්‍යාලය යන නම වෙනුවට අඹගහපැලැස්ස ද්වීතියක ප්‍රාථමික විද­්‍යාලය යන අලුත් නමක් මේ වන විට ලබා ඇත්තේ ය. එය පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාත් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය අධ්‍යාපන කලාපීය මිනිපේ අධ්‍යාපන කොට්ඨාසයේ ය. 

මහවැලි කලාපීය වාර්තාකරු
නවරත්න බංඩාර

Comments