HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 සින්දු වෙනුවට නඩු කියන ටේලර්

 

පොප් ගී තරුව, ටේලර් ස්විෆ්ට් පසුගිය සතියේ ඇමෙරිකාවේ අධිකරණයක් අබියස සිටිනු බොහෝ දෙනකුට දකින්න ලැබුණා. විනිශ්චයාසනයක් අබියස ඇය වැනි සුපිරි ගායිකාවක් රැඳී සිටියේ ගී ගයන්න නම් නොවෙයි. බැරෑරුම් නඩු විභාගයකට මුහුණ දෙන්නයි. ඩී. ජේ. කෙනකුට එරෙහිව ඇය නඩුවක් පවරා තිබෙනවා. ටේලර් ස්විෆ්ට් මේ නඩුව පවරමින් චෝදනා කර සිටින්නේ ඩේවිඩ් මුලර් නම්වූ ඔහු, එක්තරා ප්‍රසංග අවස්ථාවකට සහභාගිවී සිටි තමාගේ නිතඹ පෙදෙස ස්පර්ශ කරමින් අපහසු තත්ත්වයකට පත්කළ බවයි. මෙය සිදුවුණේ වේදිකාවෙන් පිටුපසදී යැයි ද ස්විෆ්ට් සඳහන් කරනවා. සිද්ධිය අද ඊයේ සිදුවූ දෙයක් නම් නොවෙයි. මීට වසර හතරකට පෙර ඩෙන්වර්හි පෙප්සි සෙන්ටර් නම්වූ ස්ථානයේදීයි, මෙය සිදුවී ඇත්තේ. කෙසේ වෙතත්, මෙහි නඩු විභාගය අට පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීම පසුගියදා ඇරැඹුණා. ස්විෆ්ට් විසින් මේ චෝදනාව එල්ල කර දින දෙකකින් ඩේවිඩ් මුලර්ව ඔහු රැකියාව කළ ගුවන් විදුලි මධ්‍යස්ථානයෙන් නෙරපා හැර තිබෙනවා.

වැඩි අවදානම ජැකීට

සුපිරි නළු ජැකී චෑන් සිනමා ලෝකය තුළ මවන ත්‍රාසජනක සටන් ජවනිකා නරඹන්නට තරුණ පරපුර තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. ඔහු මේ ක්‍රියාදාම දර්ශනවලදී ස්ටන්ට් නළුවන් යොදා ගන්නට දැඩි අක­ැමැත්තක් දක්වනවා. එම ජවනිකා නිරූපණය කරන්නේ වෙනින් කවුරුත් නොවෙයි, ජැකීම තමයි. දැනට 63 වැනි වියෙහි පසුවන මේ ප්‍රවීණ සටන් නළුවා, පවසන්නේ ස්ටන්ට් නළුවන් යොදා ගැනීම පිළිබඳව ප්‍රේක්ෂක ජනතාව තුළ ඇත්තේ අක­ැමැත්තක් බවයි. “නිතරම මම උත්සාහ ගන්නේ ත්‍රාසජනක දර්ශනවලදී මගේම රඟපෑම් ඉදිරිපත් කරන්නයි. ප්‍රේක්ෂකයින් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ දෙය බව මම දන්නවා. ඉතාම කලාතුරකින් තමයි, මා වෙනුවට ස්ටන්ට් නළුවෙක්ව යොදාගන්නේ. සටන් ඇතුළු ක්‍රියාදාම දර්ශනවලදී 90%ක්ම රඟපාන්නේ මමයි. සමහර වෙලාවට දෘශ්‍ය ප්‍රයෝගත් භාවිත කරනවා. නමුත්, අවදානම් සහගත දර්ශන රඟපෑම මටනම් අමාරු දෙයක් නෙමෙයි. මම ස්ටන්ට් නළුවන්ව පුහුණු කරනවා. 1975 දියි මම ස්ටන්ට් නළු කණ්ඩායමක් ඇති කළේ. මේ ශිල්පීන් මගේ සහෝදරයන් වගෙයි.” ජැකී චෑන් කෙටි මාධ්‍ය හමුවකදී එලෙස පැවසුවා.

සල්මාට ‘මේක්අප්’ දැමූ ප්‍රවීණ නිළිය

සුරූපී නිළි පෙනිලෝප් කෲස් තමන්ගේ වේශ නිරූපණ කටයුතු ගැන දැඩි අවධානයකින් පසුවන අයෙක්. ඇයට ඒ පිළිබඳව හොඳ දැනීමක් සහ පළපුරුද්දක් තිබෙන නිසයි නිතරම තම සුරූපී පෙනුම මතු කරන්න උත්සාහ ගන්නේ. පෙනිලෝප් වේශ නිරූපණ කටයුතුවල ප්‍රවීණත්වයක් දරන නිළියක් බව හොලිවුඩ්පුරයේ බොහෝ දෙනකු දන්නවා. ජනප්‍රිය නිළි සල්මා හෙයක් ද පෙනිලෝප්ගේ මේ හැකියාව දැන සිටින සුරූපිනියක්. පසුගියදාක ඇයට එක්තරා චිත්‍රපටයක පූර්ව දර්ශනයකට සහභාගි වීමට සිදුවුණා. ඒ වෙනුවෙන් ඇය සූදානම් වුණත් ‘මේක් අප්’ එකක් හදිසියේ දාගන්න කෙනෙක් හිටියේ නැහැ. සල්මාට එක්වරම මතක් වුණේ පෙනිලෝප්වයි. ඇය මේ ප්‍රවීණ නිළියට කතා කළා. පෙනිලෝප් කිසිදු පැකිළීමක් නැතිව සල්මාව තවත් ලස්සන කිරීමේ කටයුත්ත භාර ගත්තා. තම නිවෙසට පැමිණෙන්නැයි ඇය සල්මාට දැන්වූවා. පෙනිලෝප් හමුවට ගිය සල්මා, ඇගේ සුරතින් හැඩ වැඩ වුණා. ඉන් පසුව, චිත්‍රපට පූර්ව දර්ශනයට ගිය සල්මාගෙන් බොහෝ දෙනකු ඇසුවේ ඇයව හැඩ වැඩ කළ වේශ නිරූපණ ශිල්පියා කවුරුන්ද කියලයි.

‘සමුගනිමි’ කියූ ග්ලේන් සදහටම සමුගනියි

 

ඇමෙරිකානු ගැමි සංගීත ශෛලියේ පුරෝගාමියකු වූ ග්ලෙන් කැම්බෙල් පසුගියදා මෙලොවින් සදහටම සමුගත්තා. දශක ගණනාවක් තිස්සේ ගී ගයමින් රසික ජනතාව පිනවාලූ මේ ගායන සහ වාදන ශිල්පියා මිය යන විට 81 වැනි වියෙහි පසුවුණා.

ඔහු ගැයූ ගීත ඇතුළත් 70කට වැඩි ගීත තැටිවල පිටපත් මිලියන 50කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වුණා. ග්‍රැමි සම්මාන 6කින් සහ ජීවිත කාලයටම එක් වරක් පමණක් පිරිනැමෙන යාවජීව සම්මානයකින් ද පුද ලද ග්ලෙන් කැම්බෙල් මෙලොව එළිය දුටුවේ 1936 අප්‍රේල් 22 දා ආකැන්සාස් හිදීයි. කුඩා කාලයේදීම කැම්බෙල්ගේ ගායන සහ වාදන හැකියාවන් හැඳින ගත් ඔහුගේ පියා, ඔහුට ඩොලර් 5කට බොක්ස් ගිටාරයක් මිලදී ගෙන තෑගි කළා. එතැනින් ඇරැඹුණු කැම්බෙල්ගේ සංගීත චාරිකාව සුපිරි පොප් ගායක එල්විස් ප්‍රෙස්ලි සහ ‍ෆ්‍රෑන් සිනත්‍රා වැනි සංගීතකරුවන්ගේ වාදක මණ්ඩල දක්වා ගමන් කළා. ඔහු අතිදක්ෂ ගිටාර් වාදකයෙක්. ඔහුගේ අවසන් ගී එකතුව නිකුත් වූයේ පසුගිය ජූනි මාසයේදීයි. එය නම් කර තිබුණේ ‘Adios’ හෙවත් ‘සමුගැනීම’ යනුවෙන්. 

Comments