අපේ කුකුළ නං තාම හම්බ වෙලා නෑ | සිළුමිණ

අපේ කුකුළ නං තාම හම්බ වෙලා නෑ

 ඩවුන්ලෝඩ් කර⁣ ගෙන ෆිල්ම් බලන්න පටන් ගත්තත් තාම පිටකොටුවේ සිඩී කඩවලට එබෙන පුරුද්ද නැති වෙලා නෑ. එහෙම එබිච්ච කඩේකින් තමයි Rooster doodle doo හම්බ වුණේ. මේක කාටුන් ෆිල්ම්එකක්. කාටුන් කිව්වම ඒවා අපි සලකන්නේ ළමා චිත්‍රපට විදිහට. ඒත් බටහිර රටවල විශේෂ⁣යෙන් හොලිවුඩ්වල කාටුන් චිත්‍රපටවලට හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ රටවල කාටුන් ෆිල්ම් කරන්නේ අවුරුදු ගණන් අරගෙන කරන කොලිටි ප්‍රඩක්ෂන් විදිහට. මේ තරමට කාටුන් ෆිල්ම් ගැන කිව්වේ එවා අවතක්සේරු කරන අපේ පුරුද්ද නිසා.

Rooster doodle doo මතුපිටින් බලලා නිකම්ම කාටුන් ෆිල්ම්එකක් විදිහට රස විඳින්නත් පුළුවන්. ඒත් එකේ අභ්‍යන්තරයේ කියවෙන කාතාව වෙනස්. හොඳට බැලුවොත් ඒ කතාවෙන් කියන්නේ අපේ රටට වෙලා තියෙන දේ.

මේ කතාවට පසුබිම් වෙන්නේ කුඩා ගමක්. මේ ගම ස්වයංපෝෂිතයි. ග⁣මට අවශ්‍ය දේවල් ගමේම නිපදවාගන්නවා. මේ ගමට ඉන්නවා ගම්පතිවරයෙක්. මේ ගම්පතියාට ඉන්නවා කුකුළෙක්. මේ කුකුළා තමයි ගමේ සාර්ථකත්වයේ රහස. ගමේ මිනිස්සු උදෙන්ම ඇහැරවීම තමයි කුකුළගේ ප්‍රධාන රාජකාරිය. කුකුළගේ මේ ක්‍රියාව මත තමයි මුළු ගමේම මිනිස්සුන්ගේ දින චරියාව රැඳිලා තියෙන්නේ. කුකුළා අඬලන සද්දෙට ගමේ මිනිස්සු ඇහැරෙනවා. වැඩ පටන් ගන්නවා.

පිටි වෙළෙන්දා පිටි අරගෙන යනවා පාන් හදන තැනට. පාන් සාදන්නා තමාගේ රාජකාරිය පටන් ගන්නවා. පාන් වෙළෙන්දා අලෙවිය පටන් ගන්නවා. දවස උදා වෙන⁣ කොට ගමම තමතමන්ගේ රාජකාරිවල නිරත වෙනවා. ගම සශ්‍රීකයි. සුන්දරයි. ඒත් ගමේ මිනිස්සුන්ටඒ ගැන හැඟීමක් නෑ. එයාලා මැසිවිලි කියනවා, හැමදාම උදෙන් නැගිටින්න සිදුවීම ගැන. මිනිසුන්ගේ දෝෂදර්ශනයට ලක් වෙන්නේ කුකුළව( ඇත්තටම මෙතනදී කුකුළගෙන් අදහස් වන්නේ පාලකයා සහ පාලකයාගේ නීතිය ක්‍රියාත්මක කිරීම). මොකද කුකුළ තමයි මිනිස්සුන්ව ඇහැරවන්නේ( ඒ කියන්නේ පාලකයා තමයි මිනිස්සුන් මෙහෙයවන්නේ).

ප්‍රශ්නය දුරදිග යනවා. මිනිස්සු සාකච්ඡා කරලා තීරණය කරනවා කුකුළට මොකක් හරි කරන්න ⁣ඕනෙ කියලා. ගම්පතියා විතරයි මෙතනදී විරුද්ධ වෙන්නේ. ඒත් කවුරුවත් ඔහු කියන දේ අහන්නේ නැහැ. මේ වෙලාවේ හරියටම මෙතනට එනවා පිටගම්කාරයෙක්. මේ පුද්ගලයා ඉදිරිපත් වෙනවා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. ඔහු කියනවා කුකුළව මම අර⁣ගෙන යන්නම් ඒ වෙනුවට වාසනාවන්ත බූරුවෙක් දෙන්නම් කියලා. ගමේ මිනිස්සු එක පයින් මේ විසඳුම පිළිගන්නවා. ඒ වෙනුවට වාසනාවන්ත බූරුවාව ඔවුන් ආදරයෙන් පිළිගන්නවා. පිටගම්කාරයා කුකුළව අරගෙන යනවා. පහුවදා ගමේ කවුරුවත් උදෙන් නැගිටින්නේ නෑ. හැමෝම දවල් වෙන කල් නිදියනවා. කිසිම දෙයක් නිෂ්පාදනය කෙරෙන්නේ නෑ. මෙතෙක් කල් උපයාපු දෙයින් පාටි දානවා. විනෝද වෙනවා. එච්චරයි. ගමේ මිනිස්සු හිතන්නේ වාසනාවන්ත බූරුවා නිසා ඔවුන්ගේ හැමදෙයක්ම යහපත් විදිහට සිද්ධ වෙයි කියලා. එහෙම හිතලා ඔවුන් තමයි රැස් කර ගත් දේ වැය කරමින් ෆන්එකේ ඉන්නවා.

මේ අතරේ ගමට පිටගම්වල වෙළෙන්දෝ රිංගනවා. නිෂ්පාදනයක් නැති තැන තියෙන්නේ පරිහෝජන ආර්ථිකයක් විතරයි. ගමේ මිනිස්සු මිල දී ගන්නවා, කනවා, බොනවා. හෙට දවසක් ගැන හිතන්නේ නැහැ. මෙහෙම ටික දවසක් ගිහින් විනෝදෙන්ම ඉඳලා ඇති වෙලා පාන් නිෂ්පාදකයාට හිතෙනවා පාන් හදන්න ඕනෙ කියලා. නිකමට වගේ ඇය පාන් හදන්න බලනවා. ඒත් පිටි නැහැ. පිටි නිෂ්පාදකයා තාවකාලිකව වැඩ නතර කරලා දැන් දවස් ගණනාවක්. ඒ වගේම පිටි හදන්න ඕනෙ කරන තිරිඟු වවලා නැහැ. මේ විදිහට සම්පූර්ණ නිෂ්පාදනයම ආපහු ගොඩ දාන්න බැරි වෙන්න ඇණ හිටලා. නිෂ්පාදනයක් කියන්නේ කොටස් කිහිපයක එකතුවක්නේ. මේ සමස්ත ක්‍රියාදාමයෙන් එක කොටසක් විතරක් පවත්වාගෙන යන්න බැහැ. ගමේ සමස්ත නිෂ්පාදනයම මේ විදිහට කඩා වැටිලා පරිභෝජනය විතරක් ඉතිරි වෙනවා. මේ කඩා වැටෙන ගොඩට අධ්‍යාපනයත් ඇතුළත්. ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. විනෝද වෙලා ඇති වෙලා ඉස්කෝලේ යන්න බැලුවම ගුරුවරු නිවාඩු. අධ්‍යාපනයත් මේ විදිහට ඉවර වෙනවා.

පාන් නිෂ්පාදකයා කොහොම හරි පිටි ටිකක් හොයාගෙන පාන් හදනවා. ඒත් ඒ වෙනකොට පිට ගම්වල නිෂ්පාදකයන්ගේ පාන් රසයි, හොඳයි කියන්න ගමේ මිනිස්සු හුරු වෙලා ඉවරයි. මේ විදිහට ගමේ සම්පූර්ණ වෙළෙඳපොළ විදේශිකයන් නැත් නම් පිටගම්කාරයන් අතට යනවා.

අන්තිමට ගමේ මිනිස්සු තීරණය කරනවා කුකුළව ආපහු අරගෙන එන්න. ස්වේඡාවෙන් ඉදිරිපත් වෙන කීපදෙනෙක් කුකුළව හොයාගෙන යනවා. ගිහින් බලන කොට ඒ ගමේ මිනිස්සු හරිම විනෝදෙන් ඉන්නවා. සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ඒ කො‍හොමද කියලා ඇහුවම කියනවා, කුකුළ අපිව උදෙන්ම නැගිට්ටවනවා. අපි අපේ වැඩ රාජකාරි වේලාසනින් පටන් අරන් වේලාසනින් ඉවර කරන නිසා අපට විනෝද වෙන්නත් කාලය තියෙනවා කියලා. කුකුල ඉඳලත් අපි දේවල් හරියට කළමනාකරණය කරගත්තේ නැහැ, එහෙම කරගන්න තරම් මොළයක් තිබ්බේ නෑ කියලා ගමේ මිනිස්සුන්ට තේරෙනවා. එයාලා කුකුළව ආපහු ඉල්ලනවා. අනිත් ගමේ මිනිස්සු කියනවා කුකුළව නම් දෙන්න බැහැ. ඔයාලට එපා වෙච්ච කෙනා නේ. ඔයාලට එපා වුණාට අපි කුකුළට හොඳට සැලකුවා. දැන් එයාට දරු පවුලක්ම ඉන්නවා. ඕනෙම නම් කුකුළු පැටියෙක් ‍දෙන්නම් කියලා.

ෆිල්ම්එක ඉවර වෙන්නේ පුංචි කුකුළු පැටියෙකුත් අරගෙන ගමේ මිනිස්සු අාපහු ගමට යන දර්ශනයකින්. යළිත් වරක් ගම යථා තත්ත්වයට පත් වන බවක් එයින් ඇඟවෙනවා. ෆිල්ම්එක දිහා බලාගෙන ඉන්නකොට අපේ රටට වෙලා තියෙන දේ මතක් වෙන එක වළක්වගන්නම බැරි වුණා.

නීතිය ස්ථාපිත වුණු සමාජයක්, කෘෂිකාර්මික වගේම කාර්මික නිෂ්පාදනයන් හිස ඔසවාගෙන ආපු ආර්ථිකයක් අපටත් ඉස්සර තිබුණා. අපටම උරුමවෙලා තිබුණු ඒ කුකුලව පිටට දුන්නේ අපිමයි. අද අපේ නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. බහු ජාතික සමාගම් අපේ ආර්ථිකයත් එක්ක සූදු කෙළිනවා. නීතිය ස්ථාපිත කිරීම අරගලයක් වෙලා. ණය අරගෙන වේල කන රටක බෑන් චූන්වලින් නම් කිසිම අඩුවක් නැහැ.

ෆිල්ම්එකේ නම් වැරදි නිවැරැදි කරගන්න ගමේ මිනිස්සුන්ට අවස්ථාවක් ලැබුණු බව පෙන්නනවා. ඒත් අපේ කුකුළ නම් කවදා අපිට ආපහු ලැබෙයිද දන්නේ නැහැ...

ටිරෝනි වෑවලගේ

Comments