
අධ්‍යක්ෂණය - දයාරත්න රටගෙදර
නිෂ්පාදනය - නිමල් උඳුගොඩ සහ ආරියනන්ද දොඹගහවත්ත
කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස
වේෂ නිරූපණය - ප්‍රියන්ත ඊශ්වර
රූපවාහිනී රචනය - අජිත් මෙන්ඩිස් සහ වජිර කස්තුරි
කැමරාකරණය -චින්තක සෝමකීර්ති
සංගීතය - ප්‍රියනාත් රත්නායක
ගිත රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
ගායනය - ඊලියාස් බෙග් -අමිලා නදීෂානි
රංගනය - තාරුකා වන්නිආරච්චි, අරවින්ද දොඹගහවත්ත,විණා ජයකොඩි, විජේරත්න වරකාගොඩ, ජනක් ප්‍රේමලාල්, සුමිත් මුදන්නායක, රත්නා සුමනපාල, හේමන්ත ඊරියගම, හැරී විමලසේන, ජගත් බෙනරගම, සරත් කූලාංග. අනෝජා මනතුංග සහ උදේනි නදිෂා පීරිස්
අද මෙම සටහන වෙන්වන්නේ එදා සිනමා කෘතියක් බවට පත්වුණු ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ ‘කැලෑහඳ‘ මෙදා ටෙලි නාට්‍යයක් බවට පත්වන බව කියන්නටය. කැලෑහඳ මෙලෙස පුංචි තිරයට නිර්මාණය කරන්නේ රටගෙදර හේරත් මුදියන්සේලාගේ දයාරත්න ය. ඒ අප කවුරුත් දන්නා දයාරත්න රටගෙදර නම් සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයායි.
වේශ නිරූපණ ශිල්පියකු ලෙස සිනමා ක්ෂේත්‍රයේ අත්පොත් තබන රටගෙදර ජාතික රූපවාහිනිය ආරම්භයේදී පුහුණුව ලබන නිෂ්පාදන සහකාරවරයකු ලෙස ඊට සම්බන්ධ වී වර්තමානයේ එහි විවිධ වැඩසටහන් අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරයි. එසේම 1986 වසරේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍රවන ඔහු ‘සිත නිවන කතා ‘ වසර 16 ක් පුරා නිර්මාණය කරමින් වාර්තාවක්ද තබා තිබෙනවා. එහි ඉදිරි නිර්මාණ කටයුතු මෙන්ම නිර්මාණශීලී ගමන් මඟ පිළිබඳව රටගෙදර සමඟ කළ සංවාදයයි මේ.
ඔබේ ළමා කාලයෙන්ම කතාබහ අරඹමු.
මගේ අප්පච්චි ආර්. එම්. එච්. බණ්ඩාර. අම්මා කේ. ඩී. නන්දාවතී. අප්පච්චිගේ ගම මහනුවර හඟුරන්කෙත. මට නංගිලා දෙන්නයි මල්ලිලා තුන් දෙනයි. අප්පච්චි සේවය කළේ කොළඹ ජැෆර්ජි බ්‍රදර්ස් ආයතනයේ ගබඩා පාලකවරයා විදිහට.ඒ නිසා අපි පුංචි කාලයේ පදිංචි වෙලා හිටියේ කොලොන්නාවේ. මම පාසල් ගියේ කොලොන්නාව ටෙරන්ස් සිල්වා පාසලට.
ඔබ කලාවට යොමුවන්නේ පාසල් වයසේදී
මගේ ආච්චි කේ.ඒ. ඩී. මැගිලින් නෝනා. ඇය මාව චිත්‍රපට බලන්න එක්ක යනවා.මේ නිසා මට පොඩිකාලයේ ඉඳලම රඟපෑමේ ආසාවක් තිබුණා. එහෙත් අවස්ථාවක් තිබුණෙ නෑ. මට වයස අවුරුදු 12 විතර වයසේ දී අපි කිරුළපන පදිංචියට ආවා. නිහාල් සිල්වා, අශෝක සෙනරත් මුදලිගේ,සංජය ලීලාරත්නත් පදිංචි වෙලා හිටියේ මේ ප්‍රදේශයේ.අපි පාසල් ගියේ පොල්හේන්ගොඩ භද්‍රාවතී පාසලට. මේ අය මගේ යාළුවෝ වුණා. අපි කට්ටියටම රඟපෑමේ පිස්සුව තිබුණා.
මෙහෙම ඉන්නකොට නිහාල් සිල්වා ‘සාදු සිරීපා‘ කියල වෙසක් නාට්‍යයක් කළා. මට ඒකේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ අශෝක සෙනරත් තවත් නාට්‍යයක් කළා. ඉන්පස්සේ මමත් නාට්‍යයක් කළා ‘අඳුරු රැයයි සඳපානයි‘ කියලා. නිහාල් සිල්වා මේන් රෝල් එක කළා. සංජය ලීලාරත්න, කරුණාදාස අතුකෝරළ මෙහි රඟපෑවා.මගේ නාට්‍යයේ ගීත රචනා කළේ කේ. ඩී. කේ. ධර්මවර්ධන.
නළුවකු වෙන්න ගිය දුම්රිය ගමන මතක් කළොත්
වී. උපාලි පෙරේරා කොලොන්නාවේ අපේ ගෙවල් ළඟ පදිංචිවෙලා හිටියේ. ඔහු ලෙස්ටර් මහත්තයාගේ සහාය අධ්‍යක්ෂවරයා. ඒත් ඔහු සිනමාවට සම්බන්ධයි කියලා මම දැනගෙන හිටියෙ නැහැ. උපාලි අයියා ගෙදර ඉන්න දවස්වල මාව පාසල් පවා අරගෙන ගිහින් තියෙනවා.අපි කිරුළපන පදිංචියට ඇවිත් කාලයකට පස්සේ දවසක් ආච්චි එක්ක යනකොට උපාලි අයිය හම්බවුණා.ඇය උපාලි අයිය එක්ක කතා කරලා මට රඟපාන්න අවස්ථාවක් දෙන්න කිව්වා.
දෑස නිසා කියල චිත්‍රපටයක් ලෙස්ටර් මහත්තයා පටන් ගන්නවා.ඇහැටුවැව තමයි ෂූටින් තියෙන්නේ. කෑල්ලක් දෙන්නම් එන්න කියලා කිව්වා. මම හා කියලා ආවා. ටික දවසකින් පෝස්ට් කාඩ් එකක් ආවා.කෝච්චියේ ඇහැටුවැව යන්න ඕනේ. ඒත් කවදාවත් බස්වල කෝච්චිවල ගිහින් නෑ.ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑ. මගේ උදව්වට ආවේ සංජය ලීලාරත්න.ගේ ඉස්සරහ කෙහෙල් කොටුවෙන් කෙහෙල් කැනක් කපලා විකුණලා රු 100 ක් විතර ගත්තා.
කොටුවට ගියා කෝච්චියට නැග්ගාම සමහර පෙට්ටිවල සෙනඟ පිරිලා හිටියත් සමහර ඒවයේ ඉඳගන්න ඉඩතියෙනවා. මම ගිහින් ඉඳගත්තා. හොඳට නිදා ගත්තා.ටික වෙලාවකින් චෙකර්ලා ඇවිත් ටිකට් එක ඉල්ලුවා. මම දුන්නාම ඒක තර්ඩ් ක්ලාස්.මම ඉඳලා තියෙන්නේ සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියක. මොනවා කරන්නද අතේ තිබුණු සේරම සල්ලි ටික චෙකර්ලට දීලා මම බෑග් එකත් අරන් අඬ අඬා සෙනඟ ඉන්න පෙට්ටියකට ගියා. කවුද කෙනෙක් මට අනුකම්පා කරලා සල්ලි දුන්නා.කොහොම හරි මම ඇහැටුවැවට යනකොට පරක්කු වෙලා. මට දෙන්න තිබුණ කෑල්ල ෂූට් කරලා ඉවරයි.
ඒත් ආපහු එන්න වෙන්නේ පහුවදා. ඉතින් රෑ ඉන්න කොට ශ්‍රියාණි අමරසේන අක්කගේ මහත්තයා ආතර් යූ මාත් එක්ක කතා කරලා හිතවත් වුණා.එයා තමයි ඊට පස්සේ මට මඬොල් දූව චිත්‍රපටය ගැන කිව්වේ. මම එහි රඟපාන්න අවස්ථාව ලැබුණා.
ඔබ රංගනය අතහැරලා වෙනත් අංශයක් තෝරා ගන්නවා.
ටික දවසකින් රඟපෑම මහ වදයක් මේක මට හරියන දෙයක් නෙමේ කියලා හිතුණා. උපාලි අයියා මාව හිල්ටන් මෙන්ඩිස් සහ ඊබට් විජේසිංහ ළඟට යොමු කරනවා.ඒ අනුව තමයි මම සහාය වේශ නිරූපණ ශිල්පියෙක් බවට පත්වන්නේ.වීර පුරන් අප්පු, තවලම, ගැහැනු ළමයි චිත්‍රපට වල සහාය වේශ නිරූපණ ශිල්පියා මමයි. ඒ වෙනකොටත් මම තර්ස්ටන් විදුහලේ ඉගෙන ගන්නවා.
ඉන්පසු ඔබ පුවත්පත් කලාවේදියෙක් බවට පත්වනවා.
මම පුංචි කාලයේ සිටම ලියන්න ආසයි. ඒ දවස්වල ලේක්හවුස් ආයතනයේ මිහිර පත්තරේ කමලක්කාගෙන් අහන්න කියන විශේෂාංගයට මම එවූ ලිපියක් පලවෙලා තිබුණා.මම ලියන්න ආසයි කියලා ඊබට් දැනගෙන හිටියා. දවසක් මට කිව්වා ලියන්න පුළුවන් නිසා මල්ටි පැක්ස් එකේ සිනමා පත්තරයක් පටන් ගන්නවා. යන්න කියලා. ඒ අනුව මමත් ගියා පරණ ටයිම්ස් බිල්ඩින් එකේ තිබුණේ. සුරතුර පත්තරයට මම සම්බන්ධ වුණේ ඒ විදියට. රොඩ්නි විදානපතිරණ වගේ අයත් එහි සේවය කළා.මට මාර්ටින් වික්‍රමසිංයන් පවා ඉන්ටවීව් කරන්න ඉඩ කඩ ලැබෙනවා.
වේදිකාවට යොමුවන්නේත් මේ කාලයේදීමයි නේද?
ජයන්ත චන්ද්‍රසිරි, නාලන් මෙන්ඩිස් දෙන්නාගේම පළමු වේදිකා නාට්‍යවල මෙකප් කරන්න මට ලැබෙනවා. 1975 තරුණ සේවා සභාවේ පළමු සම්මාන උළෙලේ දී හොඳම වේශ නිරූපණ ශිල්පියා සම්මානය දිනාගන්නේ මමයි.ඊට පස්සේ මට තිස්ස අබේසේකරයන් හඳුනාගන්න ලැබෙනවා.මේ වකවානුවේදීම සෝමවීර සේනානායක මහතා නිසා මට ගාමිණී හේවාවිතාරණගේ ‘අඳුරු චාරිකාව‘ සහ ‘දූ දරුවෝ‘ යන චිත්‍රපට වල දෙවැනි සහාය අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබෙන්නේ මීට පස්සෙයි.
තිස්ස අබේසේකරයන්ගේ මහගෙදර, මංමුලාවැල් සහ සරත් ගුණරත්නගේ වත්සලා අක්කා, සුනිල් ආරියරත්නයන්ගේ අහස් මාලිගා යන චිත්‍රපට වල සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නටත් අවස්ථාව ලැබෙනවා.
ජාතික රූපවාහිනියට සම්බන්ධ වන්නේ කොහොමද?
මේ වකවානුවේ තමයි ජාතික රූපවාහිනිය ආරම්භ වෙන්නේ. තිස්ස අබේසේකරයන්ගේ චිත්‍රපට වල වැඩ කරන කොට හඳුනාගත් ධම්ම ජාගොඩ මහතා තමයි මාව රූපවාහිනියට යොමු කරන්නේ.ඒ අනුව 1983 අවුරුද්දේ මම, අතුල රන්සිරිලාල්, ෂර්ලි අනිල්, ජේ. විජේරත්න, එරින් විජේකෝන්, සුරම්‍යා මාපිටිය,සුන්න්දා සරත්සේකර, සිසිර විජේසිංහ යන පිරිස ජාතික නාළිකාවට බඳවා ගන්නවා.අපි බැඳුනේ පුහුණුව ලබන පිරිසක් විදියට වුණත් මම ඒ වෙනකොටත් පුවත් පත්වල වැඩකරලා චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරලා නමක් හදාගෙන හිටියේ.
ඒ නිසා ධම්ම ජාගොඩගේ පළිඟු මැණිකේ, ටයිටස් තොටවත්තගේ රන් කහවනු, ලූෂන් බුලත්සිංහලගේ තාරාදේවී, තිලක් ගුණවර්ධනගේ කුමාරිහාමි සහ බන්දුල විතානගේ ගේ එරබදු මල් , ජනක මල්ලිමාරච්චි ගේ ගිම්හානේ නිමාවිය කියන ටෙලි නාට්‍ය වල ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. මගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කළ පළමු ටෙලිනාට්‍ය වුණේ සෝමවීර සේනානායක පිටපත ලියූ ‘එක වහල යට‘ ඒකාංගික ටෙලි නාට්‍යයයි. මෙයට 1986 වර්ෂයේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස O C I C සම්මානය මට හිමිවුණා. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රට එම සම්මාන උළෙලේදීම මෙහි රංගනයට හොඳම නළුවා ලෙස සම්මාන ලැබීමත් විශේෂත්වයක්.
ඉන්පස්සේ මම විශාල ලෙස ඒකාංගික ටෙලි නාට්‍ය 20 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළා.සීනි ජෝන්,දාසියගේ රාත්‍රිය, පරමේෂ්වරී, වතුර මල මේ අතරින් කිහිපයක්.
ප්‍රසාංගික ටෙලිනාට්‍ය වලට යොමුවන්නේ
මගේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍ය තමයි ‘මහමෙර පාමුල‘. මෙහි පිටපත ජැක්සන් ඇන්තනීගේ .මාලිනී, ටෝනි, ශ්‍රියන්ත,දයා අල්විස්, මහේන්ද්‍ර පෙරේරා, රාධා දි මෙල්, ජැක්සන් සහ ඩිලානි මෙහි රංගනයෙන් දායක වුණා. මේ නාට්‍ය හරිම විශේෂයි. මේ රටේ තහනම් කළ දීර්ඝ ටෙලිනාට්‍යය දෙකක් තිබෙනවා. එකක් සෝමරත්න දිසානායකගේ ‘අවසඳ‘. අනෙක තමයි මගේ ‘මහමෙර පාමුල‘. මේ නිසා තමයි ටෙලිනිස බිහිවුණේ. ඊට පස්සේ මම දීර්ඝ ටෙලිනාට්‍ය ගණනාවක් නිර්මාණය කළා. ජයතිලක කම්මැල්ලවිර ලියූ එහා ඉවුර, ජයලත් මනෝරත්න ලියූ දොළොස් මහේ අපි, සරත් ධර්මසිරි ලියූ බෝගල සවුන්දිරිස් මේ අතරින් වඩාත් ජනප්‍රිය වුණු නිර්මාණ.
ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ ඊට පස්සේ
ඔව්. මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අසාවක් තිබුණා. එය ඉටුවුණේ 2008 අවුරුද්දේ නිල් දිය යහන අධ්‍යක්ෂණය කිරීමෙන්.ජාතික නාළිකාවේ රැකියාව කරන අතර චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ මා පමණයි. චිත්‍රපට අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමක් ලැබෙනවා. ඩී. බී. නිහාල්සිංහ මහතාගෙන් පසුව තමයි මට මෙම තනතුර ලැබෙන්නේ. ජාතික රූපවාහිනියේ සිට එහි අනුයුක්තව වසර 3 ක් කටයුතු කළා.
ඔබේ සිත නිවන කතා වාර්තාවක්
ඇත්තෙන්ම මෙම සිත නිවන කතා ඒකාංගික පෝය ටෙලි නාට්‍ය මාලාව සෝමවීර සේනානායකයන්ගේ අදහසකට හැටියට ආරම්භ කළේ. මේ වෙනවිට වසර 16 ක්. මෙය වාර්තාවක් ලෙස තමයි හඳුන්වන්නේ.
විදේශයන්හි ලැබූ පුහුණුව පිළිබඳව කිව්වොත්
ටෙලි නාට්‍ය කලාව ගැන බටහිර ජර්මනිය, ඉන්දියාව, මැලේසියාව යන රටවල ඉගෙනුම ලබලා තියෙනවා.
පෞද්ගලික ජීවිතය පිළිබඳව සඳහන් කළොත්
මට දියණියන් තුන්දෙනයි. ලොකු දියණිය ජිනාලි පියසාරි ඉන්දියාවේ ඇඳුම් මෝස්තර නිර්මාණය පිළිබඳව වැඩිදුර හදාරලා දැන් ව්‍යාපාරයක් කරනවා. දෙවැනි දුව ගයාත්‍රි ඉන්දීවරි නවසීලන්තයේ උසස් අධ්‍යාපනය හදාරනවා. තුන්වැනි දියණිය චත්‍රිකා ඕදිනී තවම අධ්‍යාපනය ලබනවා. විශේෂයෙන් කියන්න ඕන මගේ දරුවන්ගේ කටයුතු බලාගෙන මට නිර්මාණ කරණයේ යෙදෙන්නට අවශ්‍ය නිදහස ලබා දුන්නේ බිරිඳගේ අම්මා රංජනී ඇල්පිිටිය.ඒ වගේම මගේ පවුලේ උදවිය.
කැලෑ හඳ නිර්මාණය පිළිබඳව කතා කරමු
මම බෝගල සවුන්දිරිස් ටෙලි නාට්‍යටය පස්සේ ජාතික රූපවාහිනියට අලුත් නිර්මාණයක් කළේ නෑ. මේ නිසා බෝගල සවුන්දිරිස් දෙවැනි කොටස ‘අඳුරු නගරය‘ නමින් නිර්මාණය කරන්නට සරත් ධර්මසිරිට කියලා පිටපත සකස් කිරිමේ කටයුතු මේ දවස්වල සිදුකරනවා. ඒ අතර ආරියනන්ද දොඹගහවත්ත මහතා තමයි මට මෙම යෝජනාව ගෙනාවේ. මම මිට ඉතාම ආසාවෙන් කැමැති වුණා. පුංචි කාලෙ මම ආසාවෙන් බලපු චිත්‍රපටයක් තමයි ‘හඳපාන‘. ඉතින් මට මෙම යෝජනාවට කැමැති වුණා.ඒ වගේම ජාතික රූපවාහිනියේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතා ,අධ්‍යක්ෂ ජනරාල්තුමා, ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම දෙනා ඇතුළු ආයතනයේ සියලුම දෙනා මට මේ සඳහා උදව් කළා. කැලෑහඳ අධ්‍යක්ෂණය කිරීමට ලැබීම මගේ නිර්මාණ ජීවිතයේ ලැබු භාග්‍යයක්.
ඒ අනුව ලබන මාසයේ මෙහි රූගත කිරීම් ආරම්භ වනවා.
මෙහි මාලනි හැටියට තාරුකා වන්නිආරච්චි,ජෝන් ජයපාල හැටියට අරවින්ද දොඹගහවත්ත,නන්ද සීයා හැටියට ජනක් ප්‍රේමලාල්, ජයපාල මැතිණිය හැටියට වීණා ජයකොඩි ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වනවා. 1950 -60 දශකයේ කතාවක් නිසා නවකතාවේ එන පරිසරය නිර්මාණය කරලා රූගත කිරීම තරමක අභියෝගයක්. අද ගම හැම තැනම නාගරීකරණය වෙලා. රුවන්වැල්ල , යටියන්තොට , පාදුක්ක, හඳපාන්ගොඩ, කලුතර අවට තමයි බොහෝවිට රූගත කිරිම් සිදුවන්නේ. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සමඟ ආරියනන්ද දොඹගහවත්ත සහ නිමල් උඳුගොඩ සම නිෂ්පාදනයෙන් නිර්මාණය වන කැලෑහඳ කොටස් 40 ක ටෙලි නාට්‍යයක් ලෙස මෙම වසරේ දෙසැම්බර් මාසයේ බොහෝවිට විකාශය වේවි.
අවසාන වශයෙන් ඔබේ අනාගත නිර්මාණ දිවිය ගැන ඇහුවොත්
ජාතික රූපවාහිනියේ මගේ සේවා කාලය දැන් දශක තුන ඉක්මවලා තියෙන්නේ. රාජකාරි බහුල ගමනක් එක්ක නිර්මාණකරණයේ යෙදෙමින් පැමිණි ගමනේ ආපසු හැරිල බැලුවම ගතින් වයසට ගියත් හිතින් තවමත් තරුණයි කියලා හිතෙනවා.ඒ නිසා මැරෙන තුරුම නිර්මාණ කරනවා. ඉදිරියේදි වේදිකා නාට්‍යයක් කරන්න, චිත්‍රපටයක් කරන්න ආසයි.මම කාටවත් ඊර්ෂ්‍යා කරල නෑ.මේ නිසා මනසට සැහැල්ලුවක් දැනෙනවා.මට ලැබිය යුතු දේ ලැබෙන්න ඕන කියල මම හිතනවා. ඒ නිසා ලද දෙයින් සතුටු වෙලා ජීවත්විම තමයි බලාපොරොත්තුව.
අවසානයේ කියන්නේ මම මහමෙරක් නගින්න උත්සාහ කරනවා. ඒත් තවම ඉන්නේ පහළ.