සන්ෆ්ලවර්ස්ලා ස්වර සප්තකය බිලිගන්න පැමිණි යක්ෂයන් නොවේ | Page 2 | සිළුමිණ

සන්ෆ්ලවර්ස්ලා ස්වර සප්තකය බිලිගන්න පැමිණි යක්ෂයන් නොවේ

දශක හයක සිය සෞන්දර්ය චාරිකාවේ ඔහු වෙතින් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉටු වූ අමිල මෙහෙවර මෙන් ම රසික ආනන්දය, ප්‍රඥාව, සාධනය, උදෙසා සිය මාධුර්ය හඬින් ඔහු පෑ පෙළහර සදාතනිකය. සුවහසක් සිසු කැලකගේ ආදරණීය මහ ඇදුරුතුමන් වූ ද හෙළ ගීත කෙත පෝෂණය උදෙසා ග්‍රන්ථ රැසක් දායාද කළා වූ ද ඒ සොඳුරු ගාන්ධර්වයා අද අපි ‘පැහැසර හමුව’ වෙත කැඳවන්නෙමු. ඔහු නම් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිසූරීහුය.

 උපන් දිනය?

1942 පෙබරවාරි 15

 උපන් ගම?

කොළඹට නුදුරු ගොතටුව

 දෙමවුපියෝ?

හේරත් මුදියන්සේලාගේ විලියම් පෙරේරා පියා, මව දෝන අමලින් කටුගම්පොල.

 සහෝදර සහෝදරියෝ?

අක්කා - ඊඩා, අයියා - රංජිත්, මල්ලි - නිමල්, නංගි - කුසුමා‍.

 මුලින් ම අකුරු කළේ?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දිය හැක්කේ පාසල් දෙකයි කියලා.

 ඒ කතාවේ තේරුම?

මා උදේ වරුවේ ගොතටුව මහ විදුහලට ගියා සිංහලෙන් අධ්‍යාපනය ලැබීමට. සවස් වරුවේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය සඳහා දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහලට ගියා.

 අ.පො.ස. (උ.පෙ) විභාගයට පෙනී ඉන්නේ?

සිංහල මාධ්‍යයෙන් පෙනී සිටියේ කොළඹ මහ බෝධි විද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ස්ටැෆඩ් විද්‍යාලයෙන්.

 ඔබ පාසල් කාලයේ දඩබ්බර චරිතයක්?

නෑ! හැබැයි මම ඒ කාලයේ හැම ක්‍රීඩාවක්ම වගේ කළා.

 නෑ! මං ඇහුවේ ඔබ ඒ කාලේ චණ්ඩියෙක්ද කියලා.

නෑ! ඒත් ඒ කාලේ චණ්ඩි නම් හිටියා. (සිනා)

 කුඩා අවධියේ ගෙදර සංගීතයට‍ බර පරිසරයක් තිබුණා?

ඔව්! තාත්තා සංගීතයට ඇලුම් කළ අයෙක්්‍. ඔහු ගෙදරට ග්‍රැමෆෝනයක් ගෙනාවා. මේ නිසා සංගීතයට මගේ හිත ගියා.

 පියාගේ ජීවන වෘත්තිය වුණේ?

ඔහු රජයේ කොන්ත්‍රාත්කරුවෙක්! ආර්ථික වශයෙන් ශක්තිමත්.

 මුදල් හදල් තිබුණ පවුල් පසුබිමක් තුළ ඔබ මෙතරම්ම සංගීතයට ආසක්ත වෙන්නේ?

සංගීතයට තාත්තගේ තිබුණ කැමැත්තම මා තුළත් ගොඩනැඟුණා. පාසලේ විශේෂ අවස්ථාවලදී කවි ගීත ගායනා කළා.

 ඔබේ ගායනා හැකියාව පාසලේ ගුරුවරුන්ට දැනුණද?

මගේ හැකියාව හොඳටම හඳුනාගත් හේමතිලක දයානන්ද ගුරුතුමා මාව ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට යොමු කළා.

 එතකොට වයස?

14 යි.

 එතකොට ළමා මණ්ඩපය කළේ?

නන්දා ජයමාන්න, මඩවල එස්. රත්නායක, කරුණාරත්න අබේසේකර, ඇල්ෆ්‍රඩ් පෙරේරා වැනි ප්‍රවීණ‍යෝ.

 අ.පො.ස උසස් පෙළින් පසුව?

රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වී වසරක් අධ්‍යාපනය ලැබුවා.

 ඇයි වසරක්?

වැඩිදුර සංගීතය හැදෑරීම සඳහා මා ඉන්දියාවට ගියා. ඒ 1959.09.01 දින.

 නැවත එන්නේ විශාරද සනත් නන්දසිරි ලෙසින්?

ඔව්! ඒ 1965 දී.

 ඒ ඇවිත්?

මට මිත්‍රයකුගෙන් ආරාධනාවක් එනවා නුගේගොඩ පැවැති වෙසක් නාට්‍යයක සංගීතය මෙහෙයවන්න.

 ඔබ බාරගන්නවා?

මිත්‍රයකුගේ ඉල්ලීමක්නේ...! වෙසක් නාට්‍යයේ ගීත පටිගත කිරීම සඳහා ගැහැනු ළමයින් කීපදෙනකුත් ඇවිත් සිටියා.

 ඇයි ඔබ ගැහැනු ළමයින් ගැන විශේෂයෙන් සඳහන් කළේ. එතන ඔබේ අනාගත සහකාරියත් සිටියද?

ඔබ පුවත්පත් කලාවේදියෙක්! ඔබේ අනුමානය හරියටම හරි...(සිනා)

 අපි ඒ ගැන ටිකක් කතා කරමු?

කවුරුත් දන්නවා මගේ බිරිය මල්කාන්ති ඇය මේ ගෑනු ළමයින් අතර සිටිය.

 දුටු පළමු දිනයෙම ඔබට ඇය ගැන සිතක් පහළ වුණා?

ඇයට හොඳට ගායනය පිළිවන් ඒ බව මගේ මතකයේ රැඳුණා.

 මතකය අලුත් කරගත්තේ?

මගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනේ යුග ගීතයකට ආරාධනය කිරීමෙන්.

 මොකක්ද ඒ ගීතය?

මිහිරාවි ඔබ වේ... ගීතය

 ඔබේ පළමු සරල ගීතය...?

ඇවිළුණු ගිනිදැල් නිවි නිවි යද්දී... දෙවැන්න මහද පෙම් විලේ... මේ ගීත තුනම සංගීතවත් කළෙත් මම.

 ඔබ මේ කාලයේ කොළඹින් බැහැර වෙලා?

ඔව්! අම්පාරේ උහන මහ විද්‍යාලයේ ගුරු පත්වීමක් ලැබෙන්නේ 1966 සැප්තැම්බර් මාසයේ.

 එතකොට යුග ගායනා සඳහා ආරාධනා කළ ගෑනු ළමයට යුග ජීවිතය සඳහා ආරාධනා කෙරෙන්නේ?

1969 මා නැවත කොළඹට පැමිණියා. ඒ රජයේ සංගීත විද්‍යාලයේ ආචාර්යවරයකු හැටියට. 1971 දෙසැම්බර් 28 දින අප විවාහ වුණා.

 ගැටලු - බාධක එහෙම ආවේ නෑ?

මා බෞද්ධ. ඇය ‍කතෝලික. පුංචි පුංචි බාධක ආවා. ඒවා විසඳගෙන දෙපැත්තේ ආශිර්වාදය මැද අප විවාහ වුණා.

 ඔබ දිගටම සංගීත ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

ඔව්! එය දීර්ඝ ගමනක්.

 දැන ගන්න කැමැතියි?

රජයේ සංගීත විද්‍යාලය පසුව කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනය වෙනවා.

 එහිදී?

කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අංශාධිපති තනතුරු දැරුවා!

 පසුව මෙය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නමින් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්වෙනවා?

ඔව්! එහි සංගීත අංශයේ පීඨාධිපති ලෙස මා පත්වෙනවා. මේ විශ්වවිද්‍යාලය බිහි කළ සංගීත අංශයේ ප්‍රථම මහාචාර්යවරයාත් මමයි. එහෙත්...!

 ඇයි ඔබ එහෙත් කිව්වේ?

බලන්න කොයිතරම් ඉන්නවද අපේ රටේ ආචාර්ය, මහාචාර්යවරු කියා ගන්නා උදවිය. ඒ අයගෙන් ඇහුවොත් ඒ පදවිය ගත්තේ කොහෙන්ද කියලා... දෙයියෝ‍... තමයි දන්නේ!

 ඔබේ ගායනා ක්ෂේත්‍රය දෙසට හැරෙන්න කැමැතියි?

මා ගීත එක්දහස් පන්සියයක් පමණ ගයා තිබෙනවා. ගී තනු පන්සියයක් පමණ නිර්මාණය කැර තිබෙනවා.

 ඔබේ චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණය.

මගේ පළමු චිත්‍රපටය ‘අජාසත්ත’ ඒ 1975 දී ‘මිහිදුම් සිහින’, ‘රන්මලීගේ වාසනාව’ ආදී චිත්‍රපට පසුබිම් සංගීතය නිර්මාණය කළා. චිත්‍රපට 15 කට අධිකව පසුබිම් ගායනා කළා.‍

 ඔබ වැන්නෙක් ‘සන්ෆ්ලවර්’ සමඟ ගීත ගායනා කිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා?

එය සාවද්‍ය කැලඹීමක්! ඒ සංගීත භාණ්ඩවලිනුත් වාදනය කරන්නේ එකම ස්වර සප්තකයම තමයි. ශෛලයේ වෙනස් කමට අප දොස් නැඟිය යුතු නෑ.

 ඒ කියන්නේ?

‘සන්ෆ්ලවර්’ කියන්නේ ස්වර සප්තකය බිලිගන්න ආ යක්ෂයෙක් නොවෙයි.

 පැහැදිලි මදි?

දැන් බලන්න සන්ෆ්ලවර්වල ඉන්න වාදකයෝ පස් දෙනා වෙන වෙනම පුද්ගල වශයෙන් අපේ ර‍ටේ බොහෝ ගායකයන්ට සංගීත භාණ්ඩ වාදනය කරලා ඇති! නමුත් මේ පිරිස එකට එකතුවෙලා වාදනය කරන විට ගීත ගැයීම වැරැදියි.

 සන්ෆ්ලවර් සමඟ ගීත ගැයීම හරියි කියලද ඔබ කියන්නේ?

ඇයි වරැදි!

 අද පැවැත්වෙන ‘රියලැටි ෂෝ’ ගැන ඔබ මොනවද හිතන්නේ?

දහස් ගණනක් අතරින් එක්කෙනෙක් ඔසවා තබනවා. දෙමවුපියෝ හඬ හඬා කඳුළු පුරවගෙන බලා ඉන්නවා‍. හැබැයි මේ තරුණ ළමයින් අතරින් කී දෙනෙක් ද රැඳී ඉන්නේ!

 ඒ කියන්නේ?

විද්යුත් මාධ්‍යවලින් සංගීත ක්ෂේත්‍රයේ කැලඹීමක් ඇති කරලා මේ නිසා රසික ජනතාව වල්මත් වෙලා.

 නව පරපුර අදක්ෂ ද?

අපෝ නෑ.‍ ඉතාමත් දක්ෂ දරුවො ඉන්නවා මා එක් නාළිකාවක විනිශ්චය මණ්ඩලයේදී කිව්වා මගේ ගීත මම ගායනා කරන්න ප්‍රථමයෙන් මෙතන ඉන්න තරුණ තරගකරුවන් ගායනා කරලා තිබුණා නම් මා ගායනා කරන්නේ මේ තරගකරුවන් ගායනා කළ විදිහට කියලා. ඒ තරම් අද පරපුර දක්ෂයි.

 මේ දක්ෂයො රැකගත යුතුයි?

අනිවාර්යයෙන් ම! අප කියන්නේ අතරමං නොකර රැකගැනීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් තිබිය යුතුයි.

 ඔබ මේ රටේ සිටින දක්ෂතම තබ්ලා වාදකයෙක් ‍ඔබට ගෝල පරපුරක්...?

ඔව්! මගේ ගෝලයන්ගේ තරම බලාගන්න, පුළුවන් නම් මේ මස 12 (බ්‍රහස්පතින්දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න. සවස 4 ට.

 එදින සුවිශේෂ කටයුත්තක්?

ඔව් ! යාපා බණ්ඩාර විසින් රචිත ‘සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියැසි’ ග්‍රන්ථය දොරට වඩිනවා‍. එය සියලු රසික ජනතාවට විවෘතයි.

 එදින තබ්ලාවාදනය?

ඔව් මගේ ගෝල පිරිසකගේ විශේෂිත වාදනයක්.

 ඔබ පසුගිය දිනවල යෙදුණ ඇමෙරිකානු සංචාරය ගැන යමක් කියන්න?

මට කියන්න තියෙන්නේ ඇමෙරිකාව කියන්නේ ඇමෙරිකාවයි. එහි ජනතාව අතිශයින් විනයානුකූලයි.

 ඔබ ජීවිතය පිළිබඳ තෘප්තිමත්ද?

උපරිමයෙන්! ගුරුවරයෙක් විදිහට රටට සේවය කළා. හොඳ පවුල් ජීවිතයක්, හොඳ දරුවෙක් ජීවිතයේ ලැබිය යුතු දේවල් ලැබුණා.

 එකම දියණියයි?

‍ඔව්! අද අපේ ලෝකය මගේ දුවයි. මේ ලෝකයේ දුව ඇරෙන්න වෙන ලෝකයක් අපට නෑ.

Comments