සුභා­විත ගී වැස්සේ තෙමෙන්න අනිද්දා ගුවන් විදු­ලි­යට එන්න | සිළුමිණ

සුභා­විත ගී වැස්සේ තෙමෙන්න අනිද්දා ගුවන් විදු­ලි­යට එන්න

නව පරපුරේ කවියකු හා ගීත රචකයකු වන ජයන්ත ග. ජෝතියරත්න ගේ නවතම කාව්‍ය සංග්‍රහය 'පරිමිලා' සහ ගේය පද ඇතුළත් 'සිල්මල් පිපිලා' සංයුක්ත තැටිය ජනගත කිරීම අනිද්දා(24) සවස 3.00ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදි සිදුකිරීමට නියමිතය.'නියඟයට පසු ගී කෙතට ඇදහැලෙන සුභාවිත ගී වැස්ස'නමින් පැවැත්වෙන මෙම ප්‍රසංගය ගැන ජයන්ත මෙසේ අදහස් දැක්වුවා.

 'නියඟයට පසු ගී කෙතට ඇදහැලෙන සුභාවිත ගී වැස්ස' මොනවගේ අත්දැකීමක්ද..

මෙය මගේ පළමු සංයුක්ත තැටිය දොරට වඩින ප්‍රසංගය. වසර තිහක(1987-2017)කාලය තුළ මා ලියු ගී අතරින් තෝරාගත් ගී 14ක් මේ සී.ඩී තැටියට අන්තර්ගත කොට තිබෙනවා. එය හඳුන්වා තිබෙන්නේ 'සිල් මල් පිපිලා' යන නමින්. ඒ නිමිත්තෙන් මේ සී.ඩී තැටියත් පරිමිලා කාව්‍ය සංග්‍රහයත් එදින එළිදක්වනවා.

ගෙවුණු වසර තිහේදි ගීත කොපමණ සංඛ්‍යාවක් ඔබේ අතින් ලියැවී තිබෙනවාද..

ගීත හතළිහක් පමණ ලියා තිබෙනවා. 1990දි ලියු විජය බණ්ඩාර වැලිතුඩුව ගායනා කරන ඔබෙ සුමුදු අතින්, මංගල දවසේ දෙනුවන් තෙමුණා ගීත ලිවීමත් සමග ගී පද ලිවීමට යොමුවුණා.ඉන් පසුව අපේ රටේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසකට ගී තනු නිර්මාණය කළා.

සල්මල් පිපිලා ප්‍රසංගයට සහභාගිවන ගායන ශිල්පීන් කව්රුන්ද..

මා ලියු ගීත අතරින් තෝරාගත් ගීත 14ක් ගායනා කරන විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද අමරසිරි පීරිස්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, නෙලූ අධිකාරි, කපිල පූගලආරච්චි, සඳසිරි අධිකාරි, විශාරද සරත් පීරිස්, රොහාන් ශාන්ත බුලේගොඩ, විජය බණ්ඩාර වැලිතුඩුව, ජානක වික්‍රමසිංහ, ඉනෝකා ප්‍රියදර්ශනී, චන්දන ලියනආරච්චි සහ රොඩ්නි වර්ණකුල වැනි දිවයිනේ දක්ෂ ගායක ගායිකාවන් මා ලියු ඔවුන් ගායනා කළ ගීත එදින ගායනා කරනවා. රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, සඳසිරි අධිකාරි, විශාරද සරත් පීරිස්, නිහාල් තිලකරත්න වැනි දක්ෂ සංගීත අධ්‍යක්ෂවරු සංගීතය සපයනවා.ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාරයන් හා ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායක මෙහිදී විශේෂ දෙසුම් පවත්වනවා.කථනය වසන්ත රෝහන.

එදිනම 'පරිමිලා' කාව්‍ය සංග්‍රහයත් එළිදක්වනවා...

'පරිමිලා'මගේ තෙවැනි කාව්‍ය නිර්මාණය. මීට පෙර 2009දි මාවිල් ආරු නොහොත් 'මරණයේ දොරටුව' හා 2014දි 'නිමක් නැති කවියක නමක් නැති මිනිසා' කාව්‍ය ග්‍රන්ථ දෙක එළිදැක්වුවා.ඉන් පසුව 2017දි ලියන ලද කාව්‍ය නිර්මාණය 'පරිමිලා'. එය මගේ රසිකයන්ට රසවිඳිය හැකි නිර්මාණාත්මක කාව්‍ය සංග්‍රහයක්. මෙහි මා විසින් විවිධ මාතෘකා යටතේ ලියන ලද කාව්‍ය නාර්මාණ රැසක් ඇතුළත් වෙනවා.

මෙවැනි නිර්මාණ කිරීමට නිරවුල් මනසක් අවශ්‍යයි. ඒ සඳහා නිවැසියන්ගෙන් ලැබෙන සහාය කෙබඳුද..

මගේ ගම නුවර ගුරුතලාව. බිරිය සහ පුතුන් තිදෙනෙක් සිටිනවා. ලොකු පුතා උපාධිය ලබාගෙන රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිනවා. දෙවැනි පුතා ඡායාරූප කලාව හදාරනවා. පොඩිම පුතා 9වැනි වසරේ ඉගනුම ලබනවා.ඔවුන් සියලු දෙනාගෙන්ම මගේ නිර්මාණ දිවියට විශාල සහයෝගයක් ලැබෙනවා. මා රැකියාව කරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ. එහි සේවය කරන සියලු දෙනා මට විවිධ අයුරින් සහයෝගය ලබාදෙනවා.

'සුභාවිත ගී වැස්ස'ප්‍රසංගය නැරඹීමට රසිකයන්ට අවස්ථාවක් ලැබෙනවාද...

'නියඟයට පසු ගී කෙතට ඇද හැලෙන සුභාවිත ගී වැස්ස'ප්‍රසංගය නැරඹීටම කැමැත්තක් දක්වන රසිකයන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න මම සූදානම්. 0718141135දුරකථන අංකයට මා ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි. 


මොරටුවට අං ආවෝ

සුනිල් ශ්‍රි විසින් රචනය කොට අධ්‍යක්ෂණය කළ 'අං ආවෝ' නාට්‍යයේ විශේෂ දර්ශනයක් ජලසම්පාදන හා ජලප්‍රව­ාහන මණ්ඩලයේ පරිගණක තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සුබ සාධක සංගමයට ආධාර පිණිස අද(22) සවස 3.30ට සහ 6.30ට මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේදී වේදිකා ගත කෙරේ.

අං ආවෝ නාට්‍යයෙහි රංගන දායකත්වය කුමාර තිරමාදුර, ක්ලීටස් මෙන්ඩිස්, අවන්ති අපොන්සු, සජීව මල්මාල ආරච්චි, සංජානා පීරිස්, ධනුක සිල්වා, සමන්ති ආටිගල, සුරංජිත් ප්‍රනානදු, සුපුන් ජයසංඛ සමග සුනිල් ශ්‍රි විසිනි. සංගීතය උදාර ප්‍රනාන්දුගෙනි. වෙස් ගැන්වීම ගාමිණී ෆොන්සේකාගෙන් වන අතර නිපැයුම ප්‍රියංක පෙරේරා විසිනි.


කැලණිය සරසවි නාට්‍ය උළෙල 24 සිට 02 දක්වා

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය සහ academic Players නාට්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන කැලණිය සරසවි නාට්‍ය උළෙල අනිද්දා (24) සිට නොවැම්බර් 02 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඔක්තෝබර් 26 වේදිකාගත වන්නේ සංජීව ගුණරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව වේදිකා නාට්‍යයයි.

මෙය මහාචාර්ය මර්ලින් පීරිස් මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොෆනීස් විසින් රචිත Women In Parliament නාට්‍ය ඇසුරින් කළ නිෂ්පාදනයකි. මෙහි කතා පුවත සැකෙවින් මෙසේය. ගැහැනු පිරිසක් සංවිධානය වී පිරිමි ලෙස වෙස් වලාගෙන පාර්ලිමේන්තුවට ඇතුළු වේ.

එහිදී ඔවුන් පිරිමි ගෙනයන පාලනයේ වැරැදි පෙන්වා ගැහැනුන්ගෙන් සමන්විත පාලනයක් ඇතිකර ගැනීමට යෝජනා කරයි. එම යෝජනාව පිරිමි විසින්ම සම්මත කරන අතර නව පාලනයක් බිහිවේ. මේ සියල්ල ගැහැනුන්ගේ කුමන්ත්‍රණයක් බව පිරිමි නොදනී. කාන්තාවන් විසින් ගෙන යන නව පාලනය තුළ ජනතාවට සියලු දේ සමානව භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කරනු ලැබේ. 

Comments