සිරුරේ බර අඩු කරන පලතුරු සහ එළවළු යුෂ | සිළුමිණ

සිරුරේ බර අඩු කරන පලතුරු සහ එළවළු යුෂ

 ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයින් නිරන්තරයෙන් ම ළතවෙන්නේ එම තත්ත්වය නැති කර ගන්නේ කෙළෙස ද යන්න පිළිබදවය. කොපමණ ආහාර පාලනය කරමින් ව්‍යායාම සිදු කළ ද බොහෝ පුද්ගලයින්ට ක්ෂණික පැණි බීම පානය කිරීමේ පුරුද්දෙන් මිඳිමට නොහැකි වී තිබේ . එලෙස වී තිබෙන්නේ ද වර්තමානයේ පවතින කාර්යබහුල සමාජ රටාවේ බලපෑම නිසාය. ස්වභාවික එළවළු සහ පළතුරු යුෂ මඟින් ස්ථුලතාවය ඇතිවන අතුරු රෝගාබාධ රැසකට ගුණදායක බව ඇමරිකානු වෛද්‍යවරුන් තම පරීක්ෂණවලින් සොයා ගෙන තිබේ. ශරීරයේ බර ප්‍රමාණය පාලනය කරන එළවළු සහ පළතුරු යුෂ කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේය.

නෙල්ලි

උදැසන කාලයේ දී නෙල්ලි යුෂ වීදුරුවක් පානය කිරීමෙන් දවස ආරම්භ කිරීම මගින් ශරීරයේ මේදය තැන්පත්වීම අවම කර ගත හැකි ය. එමෙන් ම නෙල්ලි යුෂ මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය ද මනාව පවත්වා ගැනීමට හැකි බව ඇමරිකානු වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් සනාථ කර තිබේ. නෙල්ලි යුෂ පානය කිරීමේ දී සීනී වෙනුවට

මී පැණි වැනි ස්වභාවික සීනී අන්තර්ගත කර සකස් කරන ලද යුෂ වීදුරුවක් මගින් ඉතාමත් ලෙහෙසියෙන් ශරීරයේ අධික බර ප්‍රමාණය අඩු කර ගත හැක.ඒ වාගේ ම එමගින් ශරීරයට අමතර ශක්ති සම්පන්න බවක් ළඟා කර ගැනීමට පුළුවන.

දෙළුම්

දිල්ලියේ based Weight Management Expert හි වෛද්‍යවරයෙකු වන ජාගි ෂර්මා තමන් සිදුකළ පර්යේෂණයක් මඟින් තහවුරු කරන ලද්දේ දෙළුම් යුෂ පානය කිරීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩු කර ගත හැකි බව ය. දෙළුම්වල අඩංගු වී තිබෙන ඇන්ටිඔක්සයිඩ්, ලිනෝලෙනික් ඇසිඩ් මඟින් ශරීරයේ බර ප්‍රමාණය මනාව පාලනය කර ගැනීමට පුළුවන.ඊට අමතරව දෙළුම් යුෂ පානය කිරීම පුරුද්දක් වශයෙන් කළහොත් ශරීරයේ සම දිලිසෙන ස්වරූපයට පත් කර ගැනීමට පුළුවන. දෙළුම් යුෂ කෝප්ප එකකට දෙහි යුෂ කාලක් සහ මිංචි කොළ යුෂ ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර සාදා ගන්නා පානය මඟින් ශරීරයේ මහත තත්ත්වය අවම කර ගැනීමට පුළුවන. දෙළුම්වල අඩංගු තන්තු සහ ඇන්ටිඔක්සයිඩ හේතුවෙන් ශරීරයේ බර ප්‍රමාණය පාලනය කර ගත හැකි ය.

දෙහි

ශරීරයේ මේදය දහනය කරන පානයක් වශයෙන් දෙහි යුෂ පානය හැඳින්විය හැකි ය. කෘත්‍රීම පැණි බීම පානය කිරීම අතහැර දමා ඒ වෙනුවට ස්වභාවික දෙහි යුෂ පානය කිරීමට හුරු වීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩු කර ගැනීමට පුළුවන. එමෙන් ම උදෑසන අවදි වු සැණින් පිරිසිදු ජල වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම මඟින් ද ශරීරයේ මේදය දහනය කර ගත හැක. පිරිසිදු ජලය කෝප්ප භාගයකට දෙහි ගෙඩියක යුෂ සහ මී පැණි තේ හැඳි එකක් මිශ්‍ර කර පානය කිරීම ශරීරයේ අධික බරක් ඇති පුද්ගලයින්ට ඉතාමත් යෝග්‍ය බව ඇමරිකානු වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

කැරට්

ශරීරයේ මේදය දහනය කර බර ප්‍රමාණය අඩු කරන කැරට් පානය ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින්ට වඩාත් ගුණදායක වේ. කැරට් යුෂ වීදුරුවක් උදෑසන හෝ දහවල් ආහාර ගැනීමට ප්‍රථමයෙන් පානය කිරීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අවම කර ගැනීමට පුළුවන. පැණි බීම වරින් වර පානය කිරීම නතර කොට ඒ වෙනුවට කැරට් යුෂ පානය කිරීමෙන් ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන අනෙකුත් රෝගබාධ වැළදීමේ ප්‍රවණතාවය ද අඩු කර ගත හැක.ශරීරයේ හැඩය මැනවින් පවත්වා ගැනීමට මෙන් ම තරුණ බව රැක ගැනීම සදහා කැරට් යුෂ ගුණදායක වේ.

පිපිඤ්ඤා

ඇමරිකානු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ සෑම ආහාර වේලකටම ප්‍රථමයෙන් පිපිඤ්ඤා යුෂ වීදුරුවක් පානය කිරීමට පුරුදු වීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩු කර ගත හැක බව ය. එමෙන් ම ශරීරයේ හැඩය ද මනාව රඳා පවත්වා ගැනීමට පුළුවන.පිපිඤ්ඤා යනු දැඩි සිසිල් ගුණයෙන් යුක්ත එළවළුවක් හේතුවෙන් මෙයින් සාදා ගන්නා යුෂ සෙම් රෝගීන්ට එතරම් සුදුසු නොවේ. සෙම් රෝගීන් පිපිඤ්ඤා යුෂ පානය කිරීමට ප්‍රථමයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් වේ.පිපිඤ්ඤා ගෙඩි එකක යුෂ ප්‍රමාණයට දෙහි යුෂ මේස හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර සාදා ගන්නා පානය ශරීරයේ බර ප්‍රමාණය අවම කර ගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයින්ට වඩාත් සුදුසු ය.

බීට් රූට්

බීට් රූට් එළවළු තුළ තන්තු විශාල ප්‍රමාණයක් ඇත. එම නිසා ශරීරයේ බර ප්‍රමාණය අධික පුද්ගලයින්ගේ බර ප්‍රමාණය මනාව පාලනය කිරීමේ හැකියාව බීට් රූට් යුෂවල පවතී.බීට් රූට් ගෙඩියක යුෂ ගෙන එයට දෙහි යුෂ කාලක් සහ ලුණු ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම මඟින් ශරීරයේ බර ප්‍රමාණය අඩු කර ගත හැක.එදිනෙදා ජීවිතයේ දී ක්ෂණික පැණි බීම පානය කිරීම අතහැර දමා මෙවැනි යුෂ වර්ග පානය කිරීම ඉතාමත් සුදුසු ය. එමෙන් ම බීට් රූට් එළවළුවක් වශයෙන් ආහාරයට එක් කර ගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයින්ට ද මෙම පානය ඉතාමත් සුදුසු වේ.

අන්තර්ජාලය ඇසුරිණි

මදාරා

Comments

පිටු