නොහැර ගිය විරාගයේ අරවින්ද ජයසේන | සිළුමිණ

නොහැර ගිය විරාගයේ අරවින්ද ජයසේන

විරාගය නවකතාව මා ප්‍රථමයෙන් කියවන විට මගේ වයස අවුරුදු දහ තුනකි. ඒ පොත පමණක් නොව ගම්පෙරළිය කලියුගය යුගාන්තය ඇතුළු වික්‍රමසිංහයන්ගේ බොහෝ පොත්පත් ගම්බඳ පාසලක විදුහල්පතිවරයකු වූ මගේ තාත්තාගේ පොත් මේසයේ තිබුණි. මට මතක හැටියට තාත්තා පුහුණුව ලැබූ කටුකුරුන්ද ගුරු ඇබෑසි විද්‍යාලයේ සිංහල විෂයයට යුගාන්තය නිර්දේශ කර තිබුණි.

එහෙත් තාත්තා මේ පොත්වල තිබූ සංසිද්ධි කෙසේ වටහාගෙන තිබුණේ දැයි අදටත් මට කිව නොහැකි ය. අංක ගණිතය විෂයයට කප්පිත්තෙක් වූ තාත්තා ඒ කතාවල චරිත පිළිබඳ ව කතා කරනවා මම අසා නොතිබුණෙමි.

මෙයින් මා කියවූයේ විරාගයේ දෙවැනි හෝ තෙවැනි මුද්‍රණය යි. 1956 දී ප්‍රථම මුද්‍රණය නිකුත් කළ විරාගය 2012 දී මුද්‍රණය කළේ එහි පස්වැනි මුද්‍රණය යි. සයිමන් සිල්වාගේ මීනා, පියදාස සිරිසේනගේ වාසනාවන්ත විවාහය, ඩබ්.ඒ. සිල්වාගේ හිඟන කොල්ලා වැනි ජනප්‍රිය නවකතාවලට වඩා අදටත් විරාගය කියවන පිරිස වැඩි ය. එක් අතකින් සිංහල විෂයයෙන් ඉහළට ඉගෙන ගන්නා විද්‍යාර්ථියකු විරාගය නොකියවා නොවටහා‍ ගෙන සිටින්නේ නම් ඔහු අසම්පූර්ණ සහතික ලාභියෙකි.

විරාගය මා ප්‍රථමයෙන් කියවන විට මම මඩොල්දූව කියවා හමාර කර තිබුණෙමි. දැන් දරුවකු කොම්පියුටර් ගේමක් ගහන්න උපන් ආසාවට වඩා අසිරිමත් ආසාවක් මඩොල් දූව පිළිබඳව අපට ඇති විය. උපාලි ජින්නා සේ ගෙදරින් පලා ගොස් කොහේ හරි දූපතක කෙසෙල්, මඤ්ඤොක්කා සිටුවන්න රුචියක් අපට ඇති විය‍. එහෙත් විරාගය මා තුළ ඇති කළේ කිසිම හැඟීමකින් තොර ළමා ශුන්‍යතාවයකි.

මා දෙවැනි වතාවට විරාගය කියව‍ූයේ කුඩා උඩුවේ නාලන්දා විද්‍යා පීඨයේ නේවාසිකාගාරයේ දී ය. මගේ සද්ධි විහාරිකයකු වූ සරත්චන්ද්‍ර ජයකොඩි නම් පසුව ආචාර්ය උපාධිය ලබා විද්වත් ලෝකයේ ඉදිරියට ගිය අකාලයේ මිය ගිය මගේ වැඩිහිටි මිතුරාගේ පොත් මේසයෙනි. එකල ජී.සී.ඊ. (G.C.E) පන්තියේ නුරුස්සන හැඟීමෙන් විද්‍යාව අධ්‍යයනය කරමින් සිටි මා කලා අංශයට යොමු වීමට මේ උතුම් මිතුරා හේතු වී යැයි මම සිතමි.

එකල සරසවි ප්‍රවේශයේ අවසන් වසරේ සිටි සරත්චන්ද්‍ර ජයකොඩි තම පන්ති සගයන් පිරිවරාගෙන විරාගය පිළිබඳ ව කතාබහ කරනවා මම අසා සිටියෙමි. ඔවුන් හැම දෙනා ම ශපථ කළේ අරවින්ද ජයසේන යනු අමු පරාජිතයකු බව ය. ඒ කාලයේ බොහෝ විචාරකයන් ද කීවේ එම කතාව ම යි. මම ද එය එක සිතින් පිළිගත්තෙමි.

ඒ වනවිට පියදාස සිරිසේන, ඩබ්.‍ඒ. සිල්වා වැනි ලේඛකයන් ලියා තිබුණේ ජයග්‍රාහී චරිත ඇති කතා ය‍. ඒ අනුව සිරිසේනයන්ගේ වාසනාවන්ත විවාහයේ ජයතිස්ස ජය ගත්තකු විය. සිල්වා සූරීන්ගේ හිඟන කොල්ලා හි සයියා ජයග්‍රාහකයකු විය. කෙසේ වුව ද වික්‍රමසිංහයන් ගේ ගම්පෙරළියේ එක් පරාජිතයෙක් විය. ඒ ජිනදාස ය. එහෙත් එහි මුඛ්‍ය චරිතය වූයේ ජයග්‍රාහී නන්දා කයිසාරුවත්තේ ය.

විරාගය තත්කාලීන නවකතා විෂයය සඳහා නව නිමිත්තක් විය. පරාජිතයෝ, කරුමක්කාරයෝ, යළි උපන්නෙමි, වල්මත් වී හසරක් නොදුටිමි, ගන්ධබ්බ අපදානය, මළගිය ඇත්තෝ වැනි කතාවන්හි පරාජිත ස්වරූපය අලුතින් සිතන්න පුරුදු කළේ විරාගය යි.

සරත්චන්ද්‍ර ජයකොඩි සමඟ සිටි එක් සගයකු ගේ රූපකාය මගේ මතකේ සිටි අරවින්ද ගේ රූප කායට සමාන විය. දිගැති හිස‍ කේ තිබූ සගයා සිහින් ය. කුරුලෑ සහිත මුහුණ සුදුමැලි ය. ඔහු නොමැදපු කලිසම උඩින් කමිසය හැඳ රබර් සෙරෙප්පු දෙකක් දමා බිම බලා විටෙක සිනාසෙමින් ගමන් කළේ ය. කුලසූරිය තැපැල් මහත්තයා සේ විතණ්ඩ වාදියකු ව‍ූ ඔහු හැත්තෑ එකේ කැරැල්ලේදී හමුදා විසින් වෙඩි තබා මරා දැමීම අදත් මට විස්මයකි.

අරවින්ද මිය යෑමට දින කීපයකට පෙර තමාගේ ආත්ම කථනය අවසන් කර ඇත්තේ මෙසේයි. ‘බතීත් සරෝජනීත් පිළිබඳ මගේ හැඟීම් මැරෙන්නට යන පක්ෂියකු මෙන් අත්තටු සලතියි මට සමහර විට හැ‍ඟේ. නොතිත් ආසාව දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතු වෙයි. මගේ ආත්ම විශ්වාසය නැති විය. ගුණවතීගෙන් සාත්තු ලබමින් මා තනිව ජීවත්වූ කාලය මරු කතරක ජීවත්වීමක් ලෙස හැ‍ඟේ. මගේ ලෙඩේ සුව නොවේ. එහෙත් කරුණාව දයාව ඇල්ම යන ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කලකිරීම දුරු විය. මා වඩාත් කලකිරුණේ බතී නිසා ය. ඈ නිසා ම මගේ කලකිරීම තුනී විය...”

මේ ප්‍රකාශය තුළ අරවින්ද මිය යන්නේ පරාජිතයකු සේ නොව නොකලකිරුණු ආත්ම තෘප්තියෙන් යුතු ජයග්‍රාහී සුවපත් මිනිසකු ලෙසයි.

එහෙත් අපේ පොදු සම්මුතියට අනුව අරවින්ද පරාජිතයෙකි. ඔහු සරෝජනීගේ සොඳුරු ආදරය බැහැර කෙළේ ය. බතී පිළිබඳ ව ඔහු තුළ උපන් ගේහසිත් කාමය ඉෂ්ට සිද්ධ නොවී ය. දරු මල්ලන් නැතිව සිදුවූ ඔහුගේ මරණය අ‍පේ පක්ෂයෙන් පරාජිත වීමකි. ඒ විශ්‍රාමික මට දැන් සිතෙන අයුරුයි.

ආරණ්‍ය සේනාසනයකට ගොස් පැවිදි වී ගල් ගුහාවක හිඳ ඇටසැකිල්ලක් දෙස බලා භාවනා කිරීම අරවින්ද ප්‍රතික්ෂේප කළේ ය. ඔහු ගිහි දිවිය ප්‍රිය කළේ ය‍. ඔහු රත්තරන් නිපදවීමට වෑයම් කළේ ය. එහෙත් ඔහු විවාහය නම් ගිහි සම්බාධකය ඉදිරියේ කටුව තුළට ඇදෙන බෙල්ලකු සේ සැඟව ගියේ ය. එහෙත් අරවින්ද ද ලිංගික සත්වයකු බව අප අමතක නොකළ යුතු ය. ඔහු බතී ගැන සිතුවේ මෙසේ ය.

“මෙයට නව අවුරුද්දකට පමණ පෙර මා සන්තෝෂ කරන්නට වෑයම් කළ කුඩා දැරිය කෙතරම් වෙනස් ද? පිරුණු කොපුල් තල ඇති ඇගේ මුහුණෙහි දෙ ඇස ලොකු ය. මඳක් විවර වූ ‍දෙතොල් මහත් ය. උතුරන තරම් ජිවයෙන් පිරුණු බඳුනක් වැනි ඇගේ කය වැඩී මෙතරම් වෙනස් ව‍ූයේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළතදී ය.”

අරවින්ද මේ විඳින්නේ බතීගේ කයෙන් උතුරන සරාගී බව නොවේද? තැතිගත් දැමුණු පුද්ගලයකු ව‍ූ අරවින්ද බතී පිළිබඳ ව එයින් එහාට කිසිදු ඉදිරිගාමී පියවරක් තැබීමට අසමත් වේ.

පෘතග්ජන සිතක් ඇති අරවින්ද මිනිසුන් සහ සත්වයන් උන්මත්තක කරවන ලිංගික තෘප්තිය ලබාගන්නේ කෙසේ විය හැකි ද? ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයක් සමලිංගිකත්වයක් අරවින්ද බැහැර කර තිබුණි. ඉන් එහා ලිංගික තෘප්තිය ඇත්තේ ස්වයංතෘප්තිය සහ සිහින දැකීමෙනි. ජපන් කාම කතා හෙවණැල්ලෙන් බැහැර වූ වික්‍රමසිංහයන්ගේ දැන සිටි සිතිවිලි ගතානුගතිකත්වයෙන් යදම් ලා තිබුණි. අරවින්ද කවර ලිංගික සත්වයකු වී ද යන්න සිතිය යුත්තේ අප ය. බුදුන් වහන්සේ සිත පිළිබඳව දක්වන දේශනාත් බටහිර මනෝ විද්‍යාව එහි දී අප ගුරුකොට ගත යුතු ය.

ක්ෂීණාශ්‍රව පුද්ගලයා වූ කලි අපට විඳිය නොහැකි ධ්‍යාන උපරිමයයි. අරවින්ද එවැන්නකු නොවී ය. ලෝකයේ හැම දෙනාම ස්වයං තෘප්තිය විඳ තිබීම හෝ විඳිමින් සිටීම පරම විද්‍යාත්මක සත්‍යයකි. අරවින්ද යනුත් ස්වයං තෘප්තිය විඳින්නකු බව බාගදා මට ද හැඟ‍ි යන්නේ අනුභූතිමය ප්‍රත්‍යක්ෂතාවයෙන් විය හැකි ය.

හීරළු සිත්තරකු වූ දෙවොන්දරාසං විකෘති කාම වින්දිතයෙකි. ඔහු අරවින්දට වඩා එහා ගිය අයෙකි. එයින් එහා විවාහ බන්ධනයේ දී ඔහු දිවිනසා ගත්තේ ඇබ්බැහිකමෙන් වෙන්වීමට නොහැකි වූ නිසා ය. දිවි නසා ගැනීම සඳහා ඔහු තෝරා ගත්තේ සිවිලිමේ විදුලි පංකාවේ එල්ලීම නොව නිදි පෙති අහුරක් ගිලීම ය.

අප බාල කාලයේ කියවූ මකුණා, ප්‍රංශරති වැනි කතා පදනම් වූ හේතු විග්‍රහ නොකළ අමු කාම කතා ය. අපේ සම්භාවනීය කතා කරුවන්ගෙන් එතැනට ගියේ ගුණදාස අමරසේකරයන් ය. බිය බැහැර කළ නොහැකි වූ එතුමා පසුව යළි උපන්නෙමි ලිවීම පිළිබඳව සමාව යැදීය. සත්‍යය බැහැර කිරීමේ සංස්කෘතික බිය අක්ෂරය වැනි සිනමා සිත්තමක් වාරණය වීමට බාගදා හේතු වූවා විය හැකි ය.

Comments