හෘදයාබාධ ගැන අනාවැකි කියන ඇවිදීමේ වේගය | සිළුමිණ

හෘදයාබාධ ගැන අනාවැකි කියන ඇවිදීමේ වේගය

 ඔබගේ හෘදයේ ක්ෂණික ගැස්මක් ඇතිවන්නට ඇති. ඒත් සමඟම ඔබ දැන් සිතන්නේ ඔබ ඇවිදින වේගය කෙබඳු ගැටලුවකට මුල පුරාවිද යන්න පිළිබඳ විය හැකියි.

ඇවිදීම යනු උදා වූ දවස ක්‍රියාකාරීව හා උද්යෝගිමත්ව ගත කිරීමට මහඟු දායකත්වයක් සපයන ඉතා සරල ව්‍යායාම් ක්‍රමයක්. හෘදය රෝගවලින් අප මුදා ගනිමින් හිතකර ලෙස ශරීර බර පවත්වා ගනිමින්, මාංස පේශී ශක්තිමත් කරමින් නීරෝගී ජීවිතයකට මංපෙත් විවර කරන්නේ මෙවන් ව්‍යායාම්.

ඔබ දන්නවාද ඔබගේ ගමනේ වේගයට ඔබගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව බොහෝ දේ කිව හැකි බව.

ඒ අනුව, එක් මෑත කාලීන අධ්‍යයනයක් හෙළි කර සිටින්නේ, එයට හෘදය රෝගවලින් මිය යෑමේ සම්භාවිතාවද නිශ්චය කළ හැකි බවයි.

අප අතර වේගයෙන් ගමන් කරන්නන් මෙන්ම මන්දගාමීව ගමන් කරන්නෝද වෙති. වේගයෙන් ගමන් කරන්නන් මෙන් නොව, මැදි වියේ පසුවන මන්දගාමීව ගමන් කරන්නන් හෘදය රෝගවලින් මිය යෑමේ සම්භාවිතාව දෙගුණයකින් වැඩියි. එමෙන්ම, අඩු ශරීර ස්කන්ධ දර්ශකයක් හිමි, වයසත් සමඟම මාංස පේශී පටක දුර්වල වූ මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණපාන අයත් පසුවන්නේ වැඩි අවදානම් තත්ත්වයකයි. මීට අමතරව, මන්දගාමීව ගමන් කරන්නන් හට ඇත්තේ අඩු යෝග්‍යතා මට්ටම්. මේ තත්ත්වයන් තුළින් තව දුරටත් පැහැදිලි වන්නේ හෘදය රෝග මරණවලට ඇති වැඩි නැඹුරුතාවයි.

මේ පර්යේෂණයේ නියුක්තව‍ූ පර්යේෂකයන් ව්‍යායාම්, ආහාර වේල් හා මිනිසුන් දුම් පානය කරනවාද නැතහොත් මද්‍යසාර භාවිත කරනවාද යන කරුණු අවධානයට ගනිමින් දක්වන ලද සොයා ගැනීම් තව දුරටත් සත්‍ය යැයි අවධාරණය කොට සිටියි. "පුරුද්දක් ලෙස ඔබ පවත්වා ගෙන යන ඔබගේ ගමනේ වේගය හෘදය ආශ්‍රිත මරණ පිළිබඳ කටයුතු කරන්නේ අනාවැකි පළ කරන්නකු ලෙසටයි". මෙසේ පවසා සිටියේ, Leicester විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විමර්ශක මහාචාර්ය Tom Yates මහත්මා. ඔහු තවත් ඔහුගේ සගයෙකු සමඟ 2006 හා 2007 අතර කාලයේ එක්සත් රාජධානියේ මිලියන බාගයක මැදි වියේ පසුවන්නන් පිළිබඳ එක්සත් රාජධානි biobank මගින් ලබා ගත් දත්ත විශ්ලේෂණයක යෙදී තිබේ. අධ්‍යයනය මුල් භාගයේ, 420,000කට වඩා මිනිසුන් සංඛ්‍යාවක් හෘදය රෝගවලින් හා පිළිකාවලින් සුරක්ෂිතව පවතින බව ඔවුන් විසින් සොයා ගන්නා ලදි. වසර 6ක පසුවිපරමකින් පසුව, 8598ක මරණ සංඛ්‍යාවක් වාර්තා වුණි. ඒ සංඛ්‍යාව අතරින්, හෘදය රෝගවලින් මිය ගිය සංඛ්‍යාව 1654ක් ලෙස ද, පිළිකාවලින් මිය ගිය සංඛ්‍යාව 4850ක් ලෙසද නිගමනය කොට තිබිණි.

2013 දී සිදු කළ තවත් එක් අධ්‍යයනයකින් පුද්ගලයන්ගේ ගමනේ වේගය කෙරෙහි බලපෑම් කරන තවත් එක් කරුණක් පිළිබඳ තොරතුරු එක් රැස් කරන ලදි. එම පර්යේෂණයට දායක වූ පර්යේෂකයන් පිරිසකගේ නව සොයාගැනීම වූයේ, අධිරුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන්නන්ගේ ගමන් වේගය සාමාන්‍ය රුධිර පීඩන තත්ත්වයක සිටින්නන්ට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් පහතට ඇදවැටෙන බව යි.

මෙවැනි සොයා ගැනීම් දින දින වැඩි වූවත්, අධිරුධිර පීඩන තත්ත්වය, පුද්ගලයකුගේ ගමන් වේගයට එතරම් බලපෑම් සිදු කරන්නේ මන්ද යන්නට හේතු ඵල සබඳතාවක් දැක්වීමට පර්යේෂකයන් හට අසීරු වී තිබේ. ඒ කෙසේ නමුත්, ඇවිදීම හා අනෙකුත් ව්‍යායාම් ක්‍රම හෘදය සම්බන්ධ ගැටලු සමනය කොට හෘදය සෞඛ්‍යය ඇති කරයි. මේ ආශ්‍රයෙන් සිදු කළ තවත් අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ, සතියකට තෙවරක් පැය බාගයක් පුරාවට ඇවිදින හෝ පාපැදියක් පදවන පුද්ගලයකු හට හෘදය රෝගවලින් සිදුවන මරණවලට ඇති අවදානම 26% කින්ද, සමස්ත මරණ අනුපාතය 20% කින්ද අවම කරන බවයි. එය එසේ වන්නේ, ඇවිදීම කොලෙස්ටොරෝල්, අධිරුධිර පීඩනය, දියවැඩියාව, ස්ථුලතාව, ප්‍රදාහය හා මානසික ආතතිය වැනි හෘදය රෝගවලට තුඩු දෙන කරුණු මන්දෝත්සාහී කරන නිසාවෙනි.

මේ තත්වයන්ට පිළියම් ලෙස American Heart Association යෝජනා කර සිටින්නේ, මැදි වියේ පසුවන වැඩිහිටියන් සතියකට දින පහක් විනාඩි 30ක් පමණ කාලයක් ස්වායු ව්‍යායාම්වලද, සතියකට දින තුනක් විනාඩි 20ක් පමණ කාලයක් ඇවිදීමේ ව්‍යායාම්වලද නිරත වන ලෙසයි.

උදානි ඉන්ද්‍රචාපා

Comments