ජීවිතයක් බේරාගැනීම වරදක්ද? | සිළුමිණ

ජීවිතයක් බේරාගැනීම වරදක්ද?

 වෘත්තීය සමිති ව්‍යාපාරයට ගෞරවනීය ඉතිහාසයක් තිබේ. එහෙත් ගෙවුණු දශක කිහිපය තුළ එහි ක්‍රියාකාරීත්වය නිසා එහි තිබූ ගුණාත්මක ප්‍රවේශය විනාශ ව ගොස් සමාජ ගැරුහුමට ලක් ව තිබෙන බව පෙනේ. විශේෂයෙන් ම වෘත්තීය සමිති ව්‍යාපාරයක තිබිය යුතු මූලික ලක්ෂණ පවා අවබෝධ කර නො ගෙන කටයුතු කිරීම, දේශපාලන පක්ෂවල එහෙයියන් වීම, සැඟවුණු න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කිරීම ආදී හේතු නිසා මේ ව්‍යාපාරය පිරිහෙමින් පවතී‍‍. එමෙන් ම මේ හේතුවෙන් අද රටේ බොහෝ පිරිසක් පීඩාවට පත්වන බව ද පෙනෙන්නට තිබේ. මේ නිසා වෘත්තීය සමිති ජනතාව අතර පිළිකුලට පත් වන අවස්ථා සමාජයේ දක්නට ලැබේ. පසුගියදා අනුරාධපුර, රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලින් මෙවැනි සිදුවීමක් වාර්තා විය.

ගැබිනි මවක්, තම සැමියා සමඟ යතුරුපැදියකින් අත්‍යවශ්‍ය ගමනක් යමින් සිටි අතර ඔවුන් ගිය යතුරු පැදිය නො සිතූ ලෙස හදිසි අනතුරකට මුහුණ පෑවේ ය. මේ නිසා ඇද වැටුණු ගැබිනි මව රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලට රැගෙන යන ලදී. මේ මවට ලැබෙන්නට සිටියේ ඇයගේ දෙවැනි දරුවා වූ අතර ඒ වන විට දරු ගැබට සති 36ක් ව තිබිණි. රාජාංගන යාය 11 රෝහලට ඇතුළත් කරනවිටත් ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසු වී ඇති අතර, කුස තුළ සිටි දරුවාගේ හෘද ස්පන්දනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බව ‍ඇය ව ‍පරීක්ෂා කළ වෛද්‍ය ගයාන් දිල්රුක් මහතා අවබෝධ කරගෙන තිබේ‍‍. ඒ අනුව තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙන බව ‍තේරුම් ගත් වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කළ යුතු බව තීරණය කර තිබේ. එහෙත් එදින රෝහලේ ගිලන් රථ රියැදුරා නිවාඩු ලබා තිබිණි. මෙයින් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය තේරුම් ගත් වෛද්‍යවරයා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට සිදුවීම වාචිකව ප්‍රකාශකර තිබේ. එහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා, වෛද්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ රෝගියාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර ගන්නා ලෙස ය. ඒ අනුව ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා අසල පිටස්තර පුද්ගලයකු රියදුරු ලෙස යොදවා‍ගෙන, පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ඇගේ සහායිකාව, රිය සහායක, සමඟින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ගැබිනි මව පිටත් කළේ ය. මෙසේ ‍ඔවුන් රැගත් ගිලන් රථය අනුරාධපුරයට යන අතරතුර, රෝහල් සේවකයකු විසින් නිවාඩු ලබා සිටින ගිලන් රථ රියදුරාට අමතා සිදුවීම දන්වා තිබේ. එය දැනගත් රියදුරු වහා ම වෘත්තීය සමිති නායකයාට ප්‍රකාශ කර ඇති අතර, ඔහු උතුරු මැද පළාත් විගණන ඒකකයට ඒ බව පැමිණිලි කර තිබේ. මෙය ගිලන් රථය අවභාවිතය කිරීමක් බව ප්‍රකාශ කරමින් වෘත්තීය සමිති නායකයා අදාළ වෛද්‍යවරයා නැවත රෝහලට පැමිණි පසු ව චෝදනා කර තිබේ. පළාත් විගණන ඒකකය ද වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

අනතුරට මුහුණ දුන් මව අද වන විට නිරුපද්‍රිතව ප්‍රතිකාර ගනිමින් සිටී. ඒ වෛදවර‍යා‍ සුදුසු පරිදි ක්‍රියා කළ නිසා ය. එහෙත් දැන් වෛද්‍යවරයා‍ට එල්ල වී ඇත්තේ අභූත චෝදනාවකි. මිනිසත් බවට ගරු කරමින් කළ සේවය නිසා එයට නිදහසට කරුණු කියන්නට අද ඔහුට සිදුව තිබේ. මෙය කෙතරම් ශෝචනීය තත්ත්වයක් ද? මිනිසකු‍ගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කිරීම වරදක් කළ හැක්කේ කුමන වෘත්තීය සමිති මූල ධර්මයට දැයි අපට ප්‍රශ්න කිරීමට සිදුව තිබේ‍. වෘත්තීය සමිති පිහිටුවන්නේ නිර්ධන පන්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මූලික කරගෙන ය. එහෙත් අද වෘත්තීය සමිති වල බොහෝ නායකයන් කියා ගන්නා පිරිස් දේශපාලන ගොට්ටන් වී සිටී. කුහකත්වය පුරවාගෙන තමාට වඩා ඉහළ මට්ටමක සිටින වෘත්තිකයන් දෙස බලන වෘත්තීය කුහකයන් ඕනෑතරම් සිටී. මේ ගිලන් රථ සිද්ධියට මුල්වන වෘත්තීය සමිති නායකයා යැයි කියා ගන්නා ‍අයගේ ද වෘත්තීය කුහකත්වයක් හැරෙන්නට වෙනත් දෙයක් අපට නම් පෙනෙ‍න්නේ නැත.

අනෙක් අතට වෘත්තීය සමිතිවල නිල තල වලට පිරිස් පත්කර ගැනීමේදී එහි වගකීම් හරිහැටි තේරුම් ගත් මානව හිතවාදී මිනිසුන් පත්කර ගත යුතු ය. එසේ නොමැතිව මිනිසත් බව පිළිබඳ කිසිඳු තැකීමක් නැති, තම වෘත්තීය ස්වභාවය තේරුම් නො ගන්නා අඳ බාලයන් තනතුරුවලට පත්කර ගැනීම වෘත්තීය සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය ම විනාශයට ඇද දැමීමකි.

බොහෝ වෘත්තීය සමිති නායකයන් සිතා සිටි‍න්නේ වෘත්තීය සමිතිවල එකම වගකීම වන්නේ සේවක අයිතීන් උදෙසා සටන් කිරීම පමණක් බව ය. එහෙත් වර්තමාන ලෝකයේ ඒ සංකල්ප යල් පැන ගොස් තිබේ. ඒ අනුව එයින් ඔබ්බට ගොස් සේවක අයිතිවාසිකම් මෙන්ම සේවක යුතුකම්, සේවක වගකීම්, ආයතන අභිවෘද්ධිය, ජාතික සංවර්ධනය ආදිය වෘත්තීය සමිතිවල වගකීම් බවට පත් ව තිබේ.

මෙවැනි දේ තේරුම් ගැනීමට හැකි වෘත්තීය සමිති නොමැතිවීම රටේ අවාසනාවකි. යම්කිසි හෙයකින් මෙහිදී වෛද්‍යවරයා මැදිහත් නොවිණිනම් ගැබිනි මවට මෙයට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන්නේය. එවිට චෝදනාව එල්ල වන්නේ වෛද්‍යවරයාට ය. නැතිනම් රෝහලට ය. එසේත් නැත්නම් සමස්ත සෞඛ්‍ය සේවාවට ය. ‍එහෙත් වෛද්‍යවරයා නිසි ‍පරිදි ක්‍රියා කිරීම නිසා එක් අතකින් රෝහලේ ගෞරවය ද, අනික් අතින් සෞඛ්‍ය අංශයේ ගෞරවය ද ආරක්ෂා කර ගැනීමට ඔහුට හැකියාව ලැබිණි. එමනිසා බලධාරීන් මෙහිදී ක්‍රියාත්මක විය යුත්තේ තම ආයතනයේ ගෞරවය රැකීමට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවයේම ගෞරවය රැකීමට කටයුතු කළ මිනිසකු ඇගයීමට මිස ඔහු දඬු ක‍ඳේ ගැසීමට නො වේ. එසේම මෙවැනි ගෞරවනීය සේවයක් කරන නිලධාරීන්ට අකුල් හෙලන අද බාලයන්ගෙන් නිලධාරීන් බේරා ගන්නට කටයුතු කිරීමට ද වටී. නො එසේනම් මෙවැනි ජීවිත අව‍ධාන‍ම් අවස්ථාවල මැදිහත් වී කටයුතු කිරීමට මිනිසුන් පෙලඹීමට මැළි වනු ඇත. එය රටේ සමස්ත පුරවැසියන්ටම යහපත් දෙයක් ද නොවනු ඇත.

මලික් චමින්ද ධර්මවර්ධන

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.