භාෂාව ගැන උපදෙස් දිය හැකි ඡේකයෝ අද අඩුයි | සිළුමිණ

භාෂාව ගැන උපදෙස් දිය හැකි ඡේකයෝ අද අඩුයි

සම්භාවනා

• සිංහල, පාලි සහ සංස්කෘත භාෂා අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රාචීන භාෂා අවසන් විභාගයේදී ඔබ ස්වර්ණ මුද්‍රිකාවක් දිනා ගත්තා. භාෂාව සම්බන්ධයෙන් යම් යම් පර්යේෂණයන්හි නිරත වන්නකුට ප්‍රාචීන භාෂා හැදෑරීමේ වැදගත්කම කවරේ ද?

මෙහිදී මුලින්ම මම ස්වර්ණ මුද්‍රිකාව ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි. ලංකාවේ ප්‍රාචීන භාෂා විභාගයේ ගෞරව පන්තියේ අවසාන විභාගයට මේ කාලයේදි නම්, අවුරුද්දකට දෙසීයක් පමණ පෙනී සිටිනවා. එකල පළමු පන්තියටත් ඉහළ ගෞරව පන්තිය යනුවෙන් ලකුණු 75 කට වැඩිය ගන්න අය නම් කළ කොටසක් තිබුණා. සංස්කෘත, පාලි, සිංහල කියන විෂයත්‍රයෙන් ප්‍රශ්නපත්‍ර දොළහටම ලකුණු 75 ට වැඩිය ගත්තොත් පමණයි ස්වර්ණ මුද්‍රිකාව දෙන්නේ. 1950 දී මම ස්වර්ණ මුද්‍රිකාව ගත්තට පස්සේ අද වෙනකම් කවුරුවත් ඒ සඳහා සුදුසුකම් ලබා නැහැ. ඊට පෙර වැලිවිටියේ සෝරත නාහිමියන් ස්වර්ණ මුද්‍රිකාව දිනාගත්තා. අද ජීවතුන් අතර සිටින ස්වර්ණ මුද්‍රිකාව හිමි එකම පුද්ගලයා මමයි.

පාලි, සංස්කෘත භාෂා පිළිබඳ දැනුම හොඳින් සිංහලය හැදෑරීමට සහ හොඳින් සිංහලය භාවිත කිරීමට බෙහෙවින් වැදගත් වෙනවා. භාෂා භාවිතයේදී අංශ දෙකක් කෙරේ අපේ අවධානය යොමු කළ යුතුයි. හොඳින් හා සාර්ථකව භාෂාව භාවිත කිරීමට සහ භාෂාවෙන් හොඳින් සන්නිවේදන කාර්යය ඉටු කර ගැනීමට නම් මා මේ සඳහන් කරන අංශ දෙක ම පිළිබඳ මැනවින් අවබෝධයෙන් ක්‍රියා කළ යුතු වෙනවා. පළමුවැන්න: භාෂාවක් සම්පූර්ණ වීමට නම් භාෂාවේ වචන කෝෂය පිළිබ පෘථුල දැනුමක් තිබිය යුතු වෙනවා. දෙවැන්න: භාෂාවේ ව්‍යාකරණය පිළිබඳ මනා අවබෝධයකින් යුතු වීම. මේ කරුණු දෙක ම පිළිබඳ මනා හැදෑරීමක් අවශ්‍යයි, භාෂාව නිවැරදිව භාවිත කිරීමට, ජීව භාෂාවක් අධ්‍යයනය කිරීමේ අරමුණ එය සාර්ථකව භාවිත කිරීම සහ එමඟින් අපේ සන්නිවේදන කාර්යය ඉෂ්ට කර ගැනීමයි. ලේඛකයකුගේ වචන කෝෂය පුළුල් නම්, ඔහුට පොහොසත් වචන කෝෂයක් තිබෙනවා නම් එයට කලාත්මක සහ සන්නිවේදන කුසලතා එක් කර නොයෙක් දස්කම් විස්කම් පාන්න පුළුවන්. විශේෂයෙන්ම පාලි, සංස්කෘත භාෂා ඉගෙනගත් අ‍යගේ වචන කෝෂය එයින් පොහොසත් වෙනවා. එපමණක් නොවෙයි, සාර්ථක සන්නිවේදනය සඳහා වුවමනා කරන දෙයක් තමයි භාෂාවේ වචන, අක්ෂර වින්‍යාසය වරද්දන්නෙ නැතිව භාවිත කිරීම.

 

අද බොහෝ නිර්මාණකරුවන් නඟන මැසිවිල්ලක් වන්නේ නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිත කිරීම තම නිර්මාණකරණයට අනවශ්‍ය කරදරයක් බව. අක්ෂර වින්‍යාසය නිවැරදිව භාවිත කිරීමේ වැදගත්කම ඔබ දකින්නේ කෙසේ ද?

‍අක්ෂර වින්‍යාසය කියන්නේ ව්‍යාකරණ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. වචන කෝෂයේ වචන නිවැරදිව අර්ථ ජනනය කළ හැකි ලෙස අකුරු නොවරදවා ලිවීම තමයි අක්ෂර වින්‍යාසය කියන්නේ. අක්ෂර වින්‍යාසය නිවැරදි වූවොත් තමයි වචනයක අඅන්‍යතාව රැකෙන්නේ. අක්ෂර වින්‍යාසය නැති වුවහොත් ඒ වචනයේ අනන්‍යතාව නැති වෙනවා. නිදර්ශනයක් ගනිමු. ‘වනය’ කියලා දන්තජ ‘න’ භාවිත කළ හොත් එය ‘කැලය’ වෙනවා. ‘වණය’ කියලා මුර්ධජ ‘ණ’ ලිව්වොත් එය ‘තුවාලය’ වෙනවා. ‘වල’ කියන වචනයේදී දන්තජ ‘ල’ ලිව්වොත් එය ‘කැලය’ වෙනවා. ‘වළ’ කියාල මුර්ධජ ‘ළ’ ලිව්වොත් එය ‘වළක්’ වෙනවා. කල කියන වචනයේදී දන්තජ ‘ල’ ලිව්වොත් එය කාලය වෙනවා. කළ කියලා මුර්ධජ ‘ළ’ ලිව්වොත් එය කාර්යයක් හඟවනවා. ඒ විදියට වචනයක අනන්‍යතාව රඳා පවතින්නේ නිවැරදි අක්ෂර වින්‍යාසය මත. විශේෂයෙන් මෙය සංස්කෘත, පාලි වචන භාවිතයේදී වැදගත්. බොහෝ අය අක්ෂර වින්‍යාසයේදී වරද්දන දෙයක් තමයි අල්ප්‍රාණ අක්ෂර සඳහා මහාප්‍රාණ අක්ෂරත් මහාප්‍රාණ අක්ෂර සඳහාත් අල්පප්‍රාණ අක්ෂරත් යෙදීම. ඊළඟට දන්තජ අක්ෂර වෙනුවට මුර්ධජ අක්ෂරත්, මුර්ධජ අක්ෂර වෙනුවට දන්තජ අක්ෂරත් භාවිත කිරීම බොහෝවිට සිදුවෙනවා. මේවා වැරැද්දීම නිසා වචනයේ අනන්‍යතාව වෙනස් වී අර්ථය වෙනස් වෙනවා. එවිට සන්නිවේදනයට මැනවින් කෙරෙන්නේ නැහැ. ලිව්ව දේට වඩා වෙනස් දෙයක් කියවන කෙනාට තේරෙන්නේ.

සිංහල භාෂාවේ පවතින ද්විරූපතාව (කථන ව්‍යවහාරය හා ලේඛන ව්‍යවහාරය වශයෙන්) පිළිබඳවත් අද නිසි අවධානයක් නැහැ නොවේද? බසේ පවතින මේ ශක්‍යතාව භාෂාව නැසීමට මූලික වී ඇතැයි සමහරු පවසනවා.

සිංහල භාෂාව විශේෂයි. එහි ලේඛනයේ භාෂාව හා භාෂණයේ භාෂාව යනුවෙන් භෂා ද්විරූපතාවක් පවතිනවා. සමහරු කියනවා, කතා කරන විදියට ලිව්වහම ඇති, ඒක ලේසියි කියලා. ව්‍යාකරණ අවශ්‍ය නැහැ කියලත් මේ පිරිස කියනවා. මෙය සම්පූර්ණයෙන් වැරදි මතයක්. ලේඛනයටත්, භාෂණයටත් දෙකට ම ව්‍යාකරණයක් තියෙනවා. ලේඛනයේ ව්‍යාකරණය අපි ඉගෙන ගත්තට භාෂණයේ ව්‍යාකරණය අපි ඉගෙන ගන්නේ නැහැ. නිරායාසයෙන් එය තමන්ට ලැබෙනවා. පාසලේදී අපි සිංහල ව්‍යාකරණය ඉගෙන ගන්නවා කියලා කරන්නේ ලේඛනයේ ව්‍යාකරණය ඉගෙන ගැනීම. භාෂණයේ ව්‍යාකරණය ඉබේ ම අයත් වෙනවා මිස ඉගෙන ගන්නේ නැහැ. එය ඉගෙන ගන්නේ සජීවී පරිසරයෙන්. විශේෂයෙන් අම්මාගෙන්. දරුවකු තමා අවට පරිසරයෙන් භාෂණයේ ව්‍යාකරණය ‘අයත්’ කරගන්නවා. අයත් කරගන්නවා කියන්නේ මාධ්‍යයක් අනුසාරයෙන් ඉගෙනගැනීම නොවෙයි. ඒකයි සමහරු කියන්නේ භාෂණයට ව්‍යාකරණයක් නැහැ කියලා. නමුත් එය සාවද්‍යයයි. භාෂාවෙන් සන්නිවේදන කාර්යයේ යෙදෙනකොට අපි සම්මත ව්‍යාකරණ කථන හා ලිඛිත කියන දෙපාර්ශ්වය ම සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන. භාෂණ ව්‍යාකරණය පිළිබඳ හරි වැරදි අපිට විනිශ්චය කිරීමට සිදුවනනේ ඒ භාෂණය කරන අනෙක් අය එනම් වැඩිහිටියා භාෂණය කරන විදිය සැලකිල්ලට ලක් කරලා. ඒ අයගේ පිළිගැනීමට එය ලක්වෙනවා නම් භාෂණයේ ව්‍යාකරණය නිවැරදි යැයි අපි කියනවා. ලේඛනයේ ව්‍යාකරණයේ හරි වැරැදි තීරණය කිරීම සම්බන්ධයෙන් මතවාදයක් තියෙනවා. සමහර නූතන ලේඛකයන් විශේෂයෙන් හරියට ලියන්න බැරි අය කියනවා. “කොහොම ලිව්වත් කමක් නැහැ අනෙක් අයට තේරෙනවා නම්” කියලා. නමුත් ඒ අය දන්නේ නැහැ, එයා ලියන දේවල් අනෙක් අයට හරියට තේරෙන්නෙ නැහැ කියලා; එහෙමත් නැත්නම් වැරදියට තේරුම් ගන්නේ කියලා. සමහර මහාචාර්යවරු සහ ප්‍රසිද්ධ ලේඛකයෝ කියලා තියෙනවා “අපි නම් න - ණ, ල - ළ බේදය සලකන්නේ නැහැ” කියලා.

අජිත් තිලකසේන, සිරි ගුනසිංහ වැනි ලේඛකයන්ගේ භාෂා භාවිතය පිළිබඳ ඔබේ අදහස කුමක් ද? ඔවුන් මෙවැනි සම්මත ප්‍රතික්ෂේප කරනවා නොවේද?

අජිත් තිලකසේන වෙනස් මාර්ගයක යන කෙනෙක්. ඔහු කියන්නේ අපේ ලේඛනයේ සමරූපතාවක් ඇති කරන්න කියලයි. පිලි, හල් කිරීම් ආදිය ගැන සමරූපතාවක් ඇති කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඉස්සර බැඳි අකුරු තිබුණු ඒවා දැන් පොත්වල සහ විශේෂයෙන් පත්තරවල භාවිත වන්නේ නැහැ. එවැනි නවීකරණ සමහරවිට භාෂාවේ දියුණුවටත් හේතු වෙනවා.

සිරි ගුනසිංහ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන භාෂාව හැටියට කළේ සංස්කෘතයි. එයා සංස්කෘත අධ්‍යයන සම්ප්‍රදායත් දන්නවා. නමුත් හොඳට ඉගෙනගත් අයකුට වුණත් හිතෙනවා නම් මේක මතක තියාගෙන ඉන්න බැහැ කියලා ඒක ගැටලුවක්. ගුරුවරුන්ට වුණත් පඬිවරුන්ට වුණත් අක්ෂර වින්‍යාසය කරදරයක් හැටියට හිතෙන තැන් තියෙන්න පුළුවන්. කරදරයක් හැටියට හිතුණම අපි කළ යුත්තේ, මේ කරදරකාරී ව්‍යාකරණය ඉවත් කරනවද එහෙම නැත්නම් අපට අවශ්‍ය තැන ශබ්දකෝෂයකින් හෝ බලා ඉගෙනගන්නවාද කියන කරුණ සිතීමයි. ඒක පඬිවරුන්ට භාර කාර්යයක්. ඒ වගේ දේවල් හිතුවක්කාර විදියට කරන්න හොඳ නැහැ. එවැනි අවස්ථාවක කළ යුත්තේ ඒ පිළිබඳ පඬිවරුන්ගේ එකතුවක් කැඳවා සියලු ගුරුකුල නියෝජනය වන විදියට ඒක සම්මත කරගෙන භාෂා නවීකරණයක් කර ගැනීමයි. කවුරු කළත් එය භාෂාවට හිතකර නම් වෙන්නේ නැහැ. හොඳ කලාත්මක නිර්මාණයක් වුවත් අපට පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කරන්න බැහැ, එහි අක්ෂර වින්‍යාසය වැරැදි නම්, මොකද, ඒකෙන් සිසුන් විශාල ප්‍රමාණයක් නොමඟ යනවා. කලාත්මක අංගයන් අතින් ඒ නිර්මාණ හොඳ වෙන්න පුළුවන්. පසුගිය කාලේ ‘ස්වර්ණ පුස්තක’ කියලා සම්මාන දීපු සමහර නවකතාවල අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගන්නම දෙයක් නැහැ. ඒ අතර නවකතා වශයෙන් තේරීමේදී හොඳ නිර්ණායක තියෙන්න ඇති. නමුත් වර්තමාන, අනාගත පරම්පරාවල දරුවන්ට එවැනි කෘති හොඳ නිර්මාණ වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ද කියන එක ගැටලුවක්.

අපි ඔහොම කිව්වට අර නිදහසේ ලියන්න ඕන කියන අය හිතුමතේට ලියාගෙන යාවි. ඒ කණ්ඩායම එන්න එන්න ම වැඩි වෙන්නත් පුළුවන්. එතකොට වගකිව යුතු ආයතනයක් මඟින් මේ සියලු කොටස් එක්රැස් කර සාකච්ඡා කරලා භාෂා භාවිතය ගැන යම් එකඟතාවකට සම්මුතියකට එළැඹෙන්න පුළුවන්. වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අධ්‍යාපන ඇමැතිව ඉන්න කාලේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ක්‍රියාත්මක කළා. ‘ලංකාවේ පාසල්වල භාවිතයට දිය යුතු සිංහලය කෙසේ වියයුතුද?’ කියලා සාකච්ඡාවක්. අවුරුදු දෙකක පමණ කාලයක් ඒ ගැන සාකච්ඡා කළා. අපේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මම ඊට සහභාගී වුණා. අනෙක් විශ්වවිද්‍යාලවලින් සහ හෙළ හවුලෙන් නියෝජිතවරු එයට සහභාගි වුණා. එහිදී සම්මත කරගත් සම්මුතිය ‘ලේඛන රීතිය’ නමින් පොතක් වශයෙන් පළ කළා.

මෙහිදී සිංහලයේ වර්ණමාලාව පිළිබඳවත් සම්මුතියකට එළැඹුණා නේද?

ඔව්, සිංහලයේ වර්ණමාලාව සම්බන්ධ ඒකමතිකභාවයක් තිබුණේ නැහැ. ඉංග්‍රීසියේ වර්ණමාලාව පිළිබඳ කිසිම කෙනෙක් තර්ක කරන්නෙ නැහැ. ඉංග්‍රීසි කතා කරන, නොකරන ඕනෑම කෙනෙක් එහි වර්ණමාලාව දන්නවා. නමුත් සිංහල හෝඩියේ අකුරු කීයද කියලා හරියට ම දන්නෙ නැහැ. ඒ ගැන සැකයි. තිහ, තිස්දෙක, පනස්හතර, හැට ‍හෝ හැට එකයි යනුවෙන් විවිධාකාර ගණන් මේ සම්බන්ධයෙන් කියනවා. පැරණි කාලයේ ඉඳන් සිංහලයේ අක්ෂර මාලා දෙකක් තියෙනවා. ඒ පද්‍ය සඳහා භාවිත කළ අක්ෂර මාලාවත්, ගද්‍ය සඳහා භාවිත කළ අක්ෂර මාලාවත් වශයෙන්. පද්‍ය සඳහා භාවිත කළ අක්ෂර මාලාව තමයි සිදත් සඟරාවේ දක්වා තිබෙන්නේ, අකුරු 30 ක් වශයෙන්. ස්වර දහයයි ව්‍යංජන විස්සයි වශයෙන් එහි දැක්වෙන්නේ. සිදත් සඟරාවේම ඊට පස්සේ අනුසූත්‍රයකින් අකුරු දෙකක් එකතු කොට තිබෙනවා. ඒ ‘ඇ’, ‘ඈ’ කියන අක්ෂර දෙක. ස්වර දහයයි කිව්වට එය භාවිතයේදී ස්වර 12ක් වෙනවා. එතකොට අකුරු සංඛ්‍යාව තිහ නොවේ තිස් දෙකයි කියලා සිදත් සඟරාවම කියනවා. එය සිංහල පද්‍යයේ වර්ණමාලාව ලෙසයි සැලකුණේ.

ගද්‍යයේ තියෙන වර්ණ මාලාව සම්බන්ධයෙන් මත දෙකක් දක්නට ලැබෙනවා. ලිඛිත සිංහලය හෙවත් ගද්‍ය සිංහලය සඳහා පද නීතිය, ශබ්දානුශාසනය, සිංහල භාෂාව, කුමාරතුංගයන්ගේ ව්‍යාකරණ විවරණය වගේ පොත්වල හඳුන්වා දී තිබෙන වර්ණ මාලාවක් තිබෙනවා. මේවායේ වර්ණ මාලා දෙකක් දක්වනවා. ශුද්ධ සිංහල හා මිශ්‍ර සිංහල වශයෙන්. ශුද්ධ සිංහල යටතේ සිදත් සඟරාවේ වර්ණමාලාව දීලා තියෙනවා. මිශ්‍ර සිංහල යටතේ අකුරු 54 ක වර්ණ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒක හදලා තියෙන්නේ, සංස්කෘතයේ පාලියේ තිබෙන අකුරුත්, ශුද්ධ සිංහල වර්ණ මාලාවට එකතු කරලා. ඒකෙන් තමයි අක්ෂර 54 කියන එක ආවේ.

1989 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කරපු සාකච්ඡාවේදී අකුරු 60ක වර්ණ මාලාවක් සකස් වුණා. ඒක සිද්ධ වුණේ මුලින් තිබූ අක්ෂර 54ට සඤ්ඤක අකුරු පහක් එකතු වීමෙන්. ඒවා ‘ඟ’, ‘ඡ’, ‘ඳ’, ‘ඬ’ ‘ඹ’ වශයෙන් දැක්වෙනවා. ඊට අමතරව ‘ෆ’ අක්ෂරයක් එකතු වෙනවා. මේවා පාලි, සංස්කෘතවල නැහැ. ඉංග්‍රීසි ‘එෆ්’ ශබ්දය ලියන්නයි එය සම්මත කරලා තියෙන්නේ.

මේ අක්ෂර 60 වර්ණමාලාව හැදෙන්නේ එහෙමයි. මේ වර්ණමාලාව තමයි පාසල් සඳහා නිර්දේශ කරලා තියෙන්නේ. ඊළඟට මේකට තව අක්ෂරයක් එකතු කරලා 61 ක් බවට පත් වුණා. එය සිදු වුණේ පිළිගත් ක්‍රමයට නොවෙයි. ඒ නිසා අපි එය පිළිගන්නේ නැහැ.

මම පෙර කී විදියට මේ අකුරුවලින් තමයි අපේ වාක්කෝෂය පුළුල් වෙන්නේ, වචන හැදෙන්නේ. පර (අන්‍ය) භාෂාවක් ඉගෙනගන්න කොට මේ තියෙන වර්ණමාලාවේ අක්ෂර මදි වෙන්න පුළුවන්. පාලි, සංස්කෘත, සිංහල භාෂාත්‍රයට මේ වර්ණමාලාව ප්‍රමාණවත්.

Comments