'දර­පාන් මාමා'ගේ සොඳුරු කැදැ­ල්ලට ගොඩ­වැ­දෙමු | සිළුමිණ

'දර­පාන් මාමා'ගේ සොඳුරු කැදැ­ල්ලට ගොඩ­වැ­දෙමු

ඒ පැතුම අපි දෙන්නගේම හදවතේ තිබෙනවා

ඔහු ප්‍රදීප් මානවඩුගේ. නම ආගන්තුක වුවත් ඔහුගේ රුව නම් ප්‍රේක්ෂකයාට ආගන්තුක නොවේ. පසුගිය කාලය පුරාවටම ඔහුගේ රංගන දිවිය ගෙවී යන්නේ පොඩිත්තන්ගේ වගේම වැඩිහිටියන්ගේ ද ආදරය නොඅඩුව දිනූ 'සිඳූ' ටෙලි නාට්‍යයේ 'දරපාන් මාමා' ලෙසයි. 'දරපාන් මාමා' මේ නිසාම අදවන විට ඔවුන්ගේම කෙනෙක් ලෙස ප්‍රේක්ෂකයනට හුරු පුරුදු චරිතයක් වී හමාරයි. කාගේත් හිතේ රැ‍ෙඳන චරිතයක් බවට පත් වූ දරපාන් මාමා එහෙමත් නැතිනම් රංගන ශිල්පී, සාහාය අධ්‍යක්ෂ ප්‍රදීප්ගේ සොඳුරු කැදැල්ලට පසුගිය දිනෙක අපි ගොඩවැදුණේ ඔහුගේ දිවියේ බොහෝ සොඳුරු තැන් ඔබ වෙත ගෙන එන්නයි. මේ ඔවුන් හමු වූ ආදරණීය මොහොතයි.

'දරපාන් මාමා' කියන්නද? එහෙම නැතිනම් ප්‍රදීප් කියන්නද?

හුඟදෙනෙක් දන්නේ මගේ උප්පැන්නයේ දී ඇති නමට වඩා දරපාන් නමින්. එනිසා කොහොම ඇමතුවත් මට දැන් හුරුයි.

පසුගිය දිනෙක ඔබේ දිවියේ සොඳුරු පැතුමක් ඉටුවුණා? දැන් ඒ පැතුම තවත් පැතුමකට හැරිලානේද?

ඇත්තටම. මම පසුගිය සැප්තැම්බර් විවාහ වුණා. ඇය නදීෂා මදුෂානි. වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්. පෙම්වතුන් විදිහට වසර කීපයක් ඇසුරු කරලා තමයි අපේ විවාහය සිදු වුණේ.අපේ පළමු පැතුම ඉටුවුණා. අනෙක් පැතුම ගැන පසුව කියන්නම්.

රංගනය ඔබට වාසනාව ගෙනා හැඩයි?

රංගනය නිසාම ජීවිතයේ බොහෝ දේ මට ඉටු කරගන්න හැකි වුණා. මම අද මෙතැන ඉන්නේ විශාල කැපකිරීම් කරලයි. ඒ කියන්නෙ මෙතැනට එන්න ලොකු කට්ටක් කෑවා.

කැමැතියි ඒ අතීතය දැනගන්න?

මගේ ගම හලාවත. හලාවත ආනන්ද විද්‍යාලයෙන් සහ G.C.S කොරයා මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසල් වේදිකාව තමයි මගේ රංගනයේ මුලික අඩිතාලම. පාසලේ දී වේදිකා නාට්‍ය නිර්මාණය කළා. රඟපෑවා. මේ නිසා පාසලෙන් ඉවත් වුණත් රංගනයෙන් දුරස් වෙන්න සිතුනෙම නැහැ. ගෙදරින් කොතරම් විරෝධතා ආවත් මම මගේ ගමන නැවැත්තුවෙ නැහැ. කොහොම හරි මගේ ඇගේ තියෙන උණටම මම 2004 දි විතර කොළඹට එනවා. ඒ නාට්‍යවල රඟපාන්න. සුනිල් චන්ද්‍රසිරිගේ වේදිකා නාට්‍යවලට දායක වෙනවා. 

ඉන්පසු විවිධ නාට්‍ය වැඩමුළුවලට දායක වෙනවා. ජෝන් මාටින්, අනෝජා වීරසිංහ, ගිහාන් ප්‍රනාන්දු , ධර්මප්‍රිය ඩයස් වැනි දෙස් විදෙස් ප්‍රවීණයන් සම්බන්ධ වූ වැඩමුළු මඟින් රංගනය ගැන ඉගෙනුම ලැබුවා. ඉන්පසුව ගිහාන් ප්‍රනාන්දු තමයි මාව ටෙලි නාට්‍යවලට සම්බන්ධ කරන්නේ. වසර ගණනක් පුරා විවිධ චරිත රඟපාන්නට ලැබුණා. ඒ අතර සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ජානක සිරිවර්ධනගේ නිර්මාණ කටයුතුවලට දායකත්වය දුන්නා.

'සිඳු' ඔබේ ඒ රංගන වාසනාව බොහෝ දුර ගෙන ගියා?

'සිඳු' ටෙලි නාට්‍යයේ සාහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ මම. මේ විදහට කටයුතු කරන විට ඒ නාට්‍යයේ චරිතයක් ලිය­ැවෙනවා 'දරපාන් ' කියලා. ඒ චරිතයට මගේ දායකත්වය ලබා දෙන්න කියලා මට යෝජනා කරනවා. ඒ අනූව මම කැමැත්තෙන්ම 'දරපාන්' ලෙස චරිත නිරූපණය කරනවා. ඒ චරිතය නොසිතූ ලෙස සමාජගත වෙනවා. ප්‍රේක්ෂකයාගේ ආදරයට බඳුන් වෙනවා.

'සිඳූ' නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මට මේ නාට්‍යයේ රඟපාන්න ලැබීම භාග්‍යයක්. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව කණ පිට පෙරළු නාට්‍යයක්. 'සිඳු' ෂුටින් සිදු කරන්නේ 'පොල්පිතිගම'. දැන් ප්‍රේක්ෂකයන් අපිව බලන්නම බස් පිටින් ලොකේෂන් එකට එනවා. මොකද අනුරාධපුර වන්දනා ගමන් යන අයගේ එක් තැනක් තමයි සිඳූ ලොකේෂන් එක. අපේ නාට්‍යයේ හාමුදුරුවරුන්ට රඟපාන නළුවන්ට පෝළිමට වඳිනවා. මේ දේවල් එක්ක හරි සතුටක් දැනෙනවා.

දැන් ඔබ ආදරණීය සැමියෙක්. මොකද ඒ ගැන හිතෙන්නේ?‍‍

එයත් ලොකු වගකීමක්. නමුත් මගේ බිරිය නදීෂාගෙන් ලැබෙන සහයෝගය නිසාම රංගන දිවියත් පෞද්ගලික ජීවිතෙත් සමබරව පවත්වාගෙන යන්නට මට ශක්තිය ලැබෙනවා. ඇය වැනි සුන්දර හොඳ බිරියක් ලැබීම මගේ වාසනාවක්.

ඇත්තද මේ කියන්නේ? අපි විමසුවේ ප්‍රදීප්ගේ ආදරණීය බිරිය නදීෂා ගෙනි.

ප්‍රදීප් කියන්නෙත් ඉතා හොඳ සැමියෙක්. කවදාවත් නොහිතපු විදිහට තමයි අපි දෙදෙනා හමුවුණේ. ඒ අතීතය හරිම සොඳුරුයි.

හිතුවද කෙදිනක හෝ නළුවෙකුගේ බිරිය වෙන්න?

කවදාවත්ම නැහැ. මුලදිත් අපේ ආදර කතාව පටන් ගන්නකොට අද කලා ලෝකේ සිදුවෙන සිදුවීම් එක්ක යම් චකිතයක් හිතේ තිබුණා. නමුත් ආශ්‍රය කරත් දී ප්‍රදීප්ගේ ගතිගුණ හැසිරීම ගැන ලොකු අවබෝධයක් හිතේ ඇතිවුණා. එනිසා මේ තරම් දුරක් ඇවිත් අපි ආදරෙන් බැදී විවාහ වුණා.

මොනවද ප්‍රදීප් වෙනුවෙන් ඔබ අතින් සැකසෙන කෑම බීම?

ප්‍රදීප් හලාවත නිසා මාළු මස් කන්න තමයි හුඟක් කැමැති. හැකි හැම වෙලාවටම මගේ අතින් ප්‍රදීප් වෙනුවෙන් කෑම බීම හැදෙනවා.

මේ ගෙවී යන්නේ දෙදෙනාගේම ජීවිතේ සුන්දරම කාලයක්?තුන් වැන්නෙකුත් එකතු කර ගන්න සූදානම් ඇති?

ඒ පැතුම අපි දෙන්නගේම හදවතේ තිබෙනවා. එය නුදුරේදීම ඉටුවේවි. ප්‍රදීප් පැවැසුවේ නදීෂා දෙස ආදරණීය නෙත් කැල්මක් හෙළමිනි. 

 
 

Comments