
සම්මානනීය ටෙලි නාට්‍ය නිර්මාණවේදියකු සහ සිනමා වේදියකු වන සුදත් රෝහණයන්ගේ කලා ජීවිතයට මෙම වසරේදී දශක තුනක් සම්පූර්ණ වේ.
ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ උඩුගංබලා යමින් විවිධ, වචිත්‍ර, විශිෂ්ට කෘති රැසක් නිර්මාණය කරමින්ද, ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ධනය කැප කරමින්, අන්‍යයන් කෙරෙහි පරාර්ථචර්යාවෙන් යුතුව සුදත් විසින් ඉටුකළා වූ සහ ඉටු කරන්නාවූ සේවය ඇගයීම වෙනුවෙන් සත්ජන සහෘද සංසදය පවත්වන උපහාර උලෙළ අද (26) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ඒ නිමිත්තෙන් සුදත් රෝහණයන්ගේ නිර්මාණ චාරිකාව පිළිබඳව කළ කෙටි පිළිසඳරයි මේ.
ඔබ නිර්මාණ කරණයට යොමුවන පාසල් අවදිය පිළිබඳව මතකය අවදි කරමු
පාසල් යන කාලයේ ඉහළ පන්තිවල අපේ සහෝදර අයියලා පුරුදු වුණ් සහ පෙන්වපු නාට්‍ය දිහා මම ආසාවෙන් බලාගෙන හිටියා.නමුත් ඒවාට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒ නිසාම මම පාසලේ පස්වැනි පන්තියේ ඉගෙන ගන්න කාලයේ පාසලේ තවත් ළමයි පිරිසක් සම්බන්ධ කරගෙන මමත් රඟපාලා‘යුගයක පෙරලියක්‘ කියලා ඓතිහාසික නාට්‍යයක් කළා. මොකද ඒ කාලයේ හුඟක් වෙලාවට පෙන්නුවේ රජකතා ආශ්‍රිත නාට්‍යය. ඒක තමයි මගේ පළමුවැනි රංගනය සහ නිර්මාණය.
ඊට පස්සෙ පාසලේ පුංචි අපි ගැන අවබෝධයක් ඇතිවෙනවා. මේ නිසා පාසලේ රඟ දැක්වෙන ළමා නාට්‍ය වලට අපිව සම්බන්ධ කරගන්නවා. මට ඒකෙ ප්‍රථිඵලයක් විදියට ‘දහමක් නැති මිනිස්සු‘ කියන නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා නළුවාට හිමි සම්මානය පාසලෙන් ලැබුණා.
ඊට පස්සෙ මම තව නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය කළා. දේදුනු පාලම්, අම්මාවරුනේ, බිසවක් රජවෙයි වැනි නාට්‍යය. මේ බිසවක් රජවෙයි කියන නාට්‍යය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් තහනම් කළා.ඒ අතරතුර මම නීල් ද මොරායස් ගේ නිව්යෝක් කන්ද, හමුදා බෑණා වැනි නාට්‍ය වල රඟපෑමට සම්බන්ධ වුණා. ඒ ප්‍රසිද්ධ වේදිකාවේ. ඉන්පස්සෙ මම බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ වාලම්පුරි චිත්‍රපටයේ වහල් මෙහෙය කරන ළමයකුගේ චරිතයක් රඟපෑවා. ඒක තමයි මගේ පළමු සිනමා ප්‍රවිශ්ටය. මම සහ තවත් ළමයි 14 දෙනෙක් මේකට රංගනයෙන් දායකවුණා. ඒකෙදි රූපගත කරන්නේ නැති වෙලාවට අනෙක් ළමයි ගිහින් සෙල්ලම් කරනවා. ඒත් මම කරන්නේ කැමරාව පිටිපස්සට වෙලා කැමරාවේ කට කට ගාලා යන ශබ්දයට ඇහුන්කන් දෙමින්, කැමරා ශිල්පියා කැමරාගත කරන ආකාරය, අධ්‍යක්ෂවරයා නළු නිළියන් මෙහෙයවන ආකාරය දිහා බලමින් මේ සියලු කාරණා පිළිබඳව අවධානය යොමුකරමින් ඉගෙන ගැනීමයි. ඒක මේ විෂය පථයට යටිහිත තුළ තිබුණු මගේ කැමැත්ත වෙන්න ඇති.
ඊට පස්සෙ මම ‘ධීවරී‘ කියල පරිසර දූෂණය පිළිබඳව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න ගියා. නමුත් ආර්ථික අපහසුකම් නිසා ඒක නිම කරන්න ලැබෙන්නේ නැහැ.
තිස්ස අබේසේකරයන් මුණගැසීම ඔබේ නිර්මාණ ගමන් මගේ සංධිස්ථානයක්.
ඔහොම ඉන්න අතර තමයි මට ආචාර්ය තිස්ස අබේසේකරයන් මුණ ගැහෙන්න ලැබෙන්නෙ. එතැන්සිට තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිර්මාණාත්මක පැත්තට යොමුවන ඒ පරිවර්තන කාලය උදාවෙන්නේ. ඒ 1985 වසර. විරාගය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙක් සහ සහය සංස්කරණ ශිල්පියා විදිහට කටයුතු කරන්න ලැබෙනවා. මම ඒකට මුලින්ම සම්බන්ධ වෙන්නෙ සහායක ශිල්පියෙක් විදිහට. නමුත් ඒ චිත්‍රපටය අගභාගය වනවිට මම ඒකෙ විශාල භූමිකාවක් ඉටුකරනවා. ඇත්තටම මට ඒක විශ්ව කෝෂයක් වගේ වෙනවා. මොකද විරාගය කියන්නේ දැවැන්ත චිත්‍රපටයක්. විශාල කාල සීමාවක්. මාස 6 කට වඩා කාල සීමාවක් රූපගතකිරීම් කළා. නමුත් අවසානයේ චිත්‍රපටය රූගත කිරීමේ සිට ප්‍රදර්ශනය දක්වා සිටි එකම පුද්ගලයා වන්නේ මම පමණයි.බොහෝ අය විවිධ ප්‍රශ්න ගැටලු ඇතිවෙලා විරසක වෙලා ඉවත්වෙලා යනවා.වෙන එකක් තබා නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා අතර ප්‍රශ්න ඇතිවුණු අවස්ථාවල සාම දූතයෙක් විදියට ඉඳලා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදිත් අඛණ්ඩව සම්බන්ධවෙලා ඉන්න අවකාශය හිමිවන්නේ මට.
ඊට පස්සෙ මම ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ තවත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙනවා. ගංගාවතරණය, දොළොස් මහේ ගංගාව වැනි නිර්මාණයන්ට. දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස සම්බන්ධ වෙලා පසුව ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ඔය විදියට තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ.
ඔබ සාහිත්‍ය කෘති ඇසුරෙන් නිර්මාණ කරණයේ යෙදෙන්නෙක්
මගේ පළමුවැනි නිර්මාණය වන්නේ අමරාවතී සහ සෝමදාස කියන ටෙලි නාට්‍යය. ඒක කමල් පෙරේරා කියන ලේඛකයාගේ කෙටි කතාවක්. මට සාහිත්‍ය නිර්මාණ සමඟ තමයි මුල සිටම කටයුතු කරන්න ලැබෙන්නේ. මම රඟපාන පළමු චිත්‍රපටය වලම්පුරි රොඩ්නි ජොන්ක්ලාස් ගේ වාලම්පුරි නවකතාව. මම සිනමාවට සම්බන්ධ වෙන විරාගය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව. මම අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටයට පාදක වන්නේත් ඇන්. ටී. කරුණාතිලක මහතාගේ උළුගෙදර ආරච්චිල නවකතාව . ඒ නිසා බොහෝ සෙයින් සාහිත්‍ය හා සම්බන්ධව තමයි මගේ නිර්මාණ මට කරන්න ලැබී තිබෙන්නෙ. මගේ වැඩිමනත් නිර්මාණවලට පාදක වෙලා තියෙන්නේ නවකතා හෝ කෙටිකතා. අවසන් වරට මම කළ ශාන්ති දිසානායකයනගේ සිට මාර්ටින් විකමසිංහ ශූරීන් දක්වා විවිධ නිර්මාණ කරුවන්ගේ සාහිත්‍ය කෘති පරිශීලනය කරමින් විවිධ නිර්මාණ කරන්න අවකාශය ලැබුණා. එයින් සාහිත්‍ය පැත්ත පෝෂණය වුණා. අනෙක් පැත්තෙන් නිර්මාණ පැත්ත පෝෂණය වුණා.
සාහිත්‍ය කෘතියක් ටෙලි නිර්මාණයක් බවට පත්කිරීමේදී සිදුවුණු අමතක නොවන සිදුවීම් ඇති.
ඇත්තෙන්ම ස්වයං නිර්මාණයක් කිරීමට වඩා සාහිත්‍ය කෘතියකින් නිර්මාණයක් කිරීම අතුරේ යන්නා වාගේ වැඩක්. ඒකට හේතුව කිසියම් නිර්මාණයක ඉන්නා චරිතයක් ගත්තම පාඨකයින් ඒ චරිතය විවිධ විදිහට තමන්ට දැනෙන ආකාරයට මවාගන්නවා. ඉතින් එය දෘෂ්‍ය මාධ්‍යයට ගේන කොට මේ හැම දෙනාමටම සාධාරණයක් ඉටු කරන්න ඕන. ඒක හරිම අමාරු වැඩක්. අනෙක් කාරණය තමයි කිසියම් කතාවක එන කාල පරාසය අනුව ඒ ඒ පරිසරයන් නිර්මාණය කරන්න ඕන. නැතිනම් නිර්මාණය පිළිබඳව විශ්වාසය පළුදු වෙනවා. උදාහරණයක් ලෙස ගත්තම සරදියෙල් රූගත කිරීම් වලට උතුවම් කන්ද නැතිව වෙන තැනක් යොදාගන්න බැහැනෙ. සත්‍ය ස්ථාන වලම රූගත කරන්න ඕන. ඉතින් උතුවම් කන්ද මුදුනේ රූපගත කරන්න ගියාම එතැන තියෙනවා පුංචි කොටුවක්. ඒ කොටුවේ යකඩ කූරක් තියෙනවා සුළඟින් ආරක්ෂාවෙන්න අල්ලගන්න. නමුත් සරදියෙල්ගේ කාලයේ මෙහෙම යකඩ කූරක් තිබුණේ නැහැනෙ. ඉතින් මම ජී.ඒ. මහත්මාට , පොලිසියට හා ඒ සම්බන්ධ වගකිවයුතු සියලුම දෙනාට කතා කරලා දැනුවත්කරලා අවසරය මත ඒ යකඩ කූර ගැලෙව්වා. යළිත් එය තිබුණු විදිහටම සවිකරන්න පුළුවන් පුද්ගලයෙක් එතැනට ගෙනැවිත් තමයි ඒ දෙය කළේ.
ඒ වගේම තමයි කරුවල ගෙදර කරන කොට ප්‍රධාන භූමිකාව රඟන තිනන් මුදලාලි මුලින් ඉන්නේ කටුමැටි ගෙදරක. අපි දර්ශන තලයක කටුමැටි ගේ හැදුවා. ක්‍රමයෙන් තිලන් මුදලාලි දියුණු වෙලා ධනවතෙක් බවට පත්වෙනකොට ඔහු හදනවා විශාල ගෙයක්. ඒ ස්ථානයේම මට ගේ හදන්න ඕන වුණා. අපිට ලක්ෂ 14 ක් ගියා ඒ ගේ විතරක් හදන්න. අපි ඒකට ගෙනාවා සෙක්කු දෙකක්. මේකට බැකෝ යන්ත්‍ර යොදාගන්න වුණා. සෙක්කු දෙක අදින්න ගොන්නු හුරු කරන්න ඕන වුණා. සෙක්කු අදින්න දන්න ගොන්නු හිටියෙ නැහැ. ඒ නිසා රූගත කිරීම් කරන්න මාස තුනකට කලින් ගාල්ල ප්‍රදේශයෙන් ගොන්නු දොළොස් දෙනෙක් ගෙනිහිල්ල පුරුදු කරල තමයි ගත්තෙ. එක දර්ශනයක දෙකක මේක පෙනුනට හරිම විශාල වෙහෙසකර වැඩක්.
සැබෑ නිර්මාණයක් කිරීමේදී එය ප්‍රේක්ෂකයාට ග්‍රහණය කරගන්න නම්, එය පිළිබඳව විශ්වාසයක් ඇතිවෙන්න නම් ඒ දෙය අපි කරන්න ඕන.නමුත් අද මේ යන ටෙලි නාට්‍ය කලාව ඇතුළේ අපට අනුගත වෙන්න බැරි රුපියල් ශත කියන ප්‍රශ්නයත් එක්ක. මේක හරහා ප්‍රේක්ෂකයාට බොරුවක් කරන්න මම සූදානම් නැහැ.
යළිත් අපේ ටෙලිනාට්‍ය කලාව නගා සිටුවන්න නම් මොනවද ඔබ යෝජනා කරන්නෙ.
මහාචාර්ය නිහාල්සිංහන්ගේ දිමුතු මුතු ටෙලි නාට්‍ය යෙන් පටන් ගත්ත ටෙලි නාට්‍ය කලාව මේ දශක හතර පුරාවට පැමිණ තියෙන්නේ අවගමනක.අපි කරන්න ඕන ඒකට දෝෂාරෝපණය කර කර ඉන්න එක නෙමෙයි.මොනවා හෝ ආකාරයක එක්කෝ රජය මැදිහත්වෙලා නැත්නම් නාළිකා මැදිහත්වෙලා හොඳ නිර්මාණ කරන්න ඕන. අද දවසේ ඉන්නවා ඉතාම විශිෂ්ට දස්කම් දක්වන්න පුළුවන් තරුණ කොටස් ඉන්නවා. ඔවුන් පැත්තකට වෙලා ඉන්නේ. මගේ යෝජනාව නම් මේ යන රටාව තුළදී මේ ටෙලිනාට්‍ය කලාවට යම් කිසි ප්‍රමිති කරණයක් ඇති කළ යුතුමයි. දැන් නාළිකාවෙන් නාළිකාවට නාළිකාවල ඉන්න බලධාරීන් විසින් පත්කරගෙන ඉන්න අධීක්ෂණ, සමීක්ෂණ මණ්ඩල වලින් තමයි ටෙලි නාට්‍ය අනුමත වෙන්නෙ. එතකොට වෙන්නෙ තමන්ට කැමැති නාට්‍ය තමන් ගන්නවා මණ්ඩලය හරහා. නමුත් ලංකාවේ පෙන්වන සියලුම ටෙලි නිර්මාණ එක මණ්ඩලයක් මගින් අධීක්ෂණයට ලක්වෙනවා නම් මේ ප්‍රශ්නය ගොඩක් දුරට අවම වෙනවා. මොකද එතකොට මේ හරසුන්, බාල, දුර්වල, සමාජයට අහිතකර නිර්මාණ යම් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙයි.එහෙම වෙනකොට නිර්මාණ කරුවෝ අවර ගනයේ නිර්මාණ කරන්න පස්ස ගහනවා ප්‍රතික්ෂේප වෙන නිසා. නිෂ්පාදකයෝ මුදල් ආයෝජනය කරන්න බයවෙනවා ප්‍රතික්ෂේප වෙන නිසා. එතකොට නැවතත් අර මුල් දශකයේ වගේ හොඳ නිර්මාණ බිහිවෙයි. බලන්න දැන් චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල විශාල ගණනක් තිබෙනවා. නමුත් මේ චිත්‍රපට සියල්ල ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වෙන්න ඕන. එක්කෝටි පනස්ලක්ෂයකට වඩා එක රැයකට බලන ටෙලි නාට්‍යයවලින් හවසට ගේ ඇතුළට මේ විෂ පොම්ප කරනවා. අද ටෙලිවිෂනය තමයි ප්‍රබලම මාධ්‍යය. මේ නිසා අපි ටෙලිවිෂනයෙන් දෙන දෙයින් මිනිස්සු අවිඥානික, විකෘති පිරිසක් බවට පත්වනවා නම් මේ පවතින ක්‍රමවේදය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුමයි. මොන රජය වුණත් ඒක විශාල වගකීමක් බවට පත්වෙලා තිබෙනවා. අඩුම තරමේ රැඟුම් පාලක මණ්ඩල පනතට මේක ඇතුළත් කරලා දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව, නමුත් රජය මැදහත්වීමෙන් මේ ටෙලි නාට්‍ය ප්‍රමිති කරණයක් විය යුතුයි.