ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට-2 | සිළුමිණ

ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට-2

මයිකල් ආන්ජලෝගේ අතිවිශිෂ්ට සිතුවම් නිර්මාණ ඇති සිස්ටීන් දෙව්මැඳුර

පසුගිය සතියේ අප මෙම ලිපිපෙළ ආරම්භ කළේ පාප් වහන්සේ වැඩ සිටින ලොව කුඩාම නගර රාජ්‍යය වන වතිකානය පිළිබඳව විස්තර කරමිනි.ඒ අනුව අද වතිකාන නගරයේ ඇති පාප් වහන්සේගේ නිල නිවහන තුළ පිහිටි කුඩා දේවස්ථානය වන සිස්ටීන් චැපල් (සිස්ටයින්) (Sistien Chaple ) දේවස්ථානය තුළට ඔබ සමඟ යන්නටයි මේ සූදානම. අපගේ මඟ පෙන්වන්නිය රොබර්ටෝ (රොබින්) මහත්මිය අප මෙම දේවස්ථානය තුළට කැඳවාගෙන යන්නට පෙර විශේෂ අවවාදයක් ලබාදුන්නාය. ඒ මෙම දේවස්ථානය තුළට ඇතුළු වූ පසු නිශ්ෂබ්ධතාව රැකීම අනිවාර්ය බවයි. ඒ වගේම ඡායාරූප ගැනීමත්, වීඩියෝ ගත කිරීමත් සපුරා තහනම් බවයි. ඇතුළු වීමට ප්‍රථම රොබින් අපට මෙම දේවස්ථානය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේ නිහඬව නැරඹීමේදී පහසුවනු පිනිසයි.

වර්තමානයේ මෙම දේවස්ථානය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ලෝපතල චිත්‍ර ශිල්පී මයිකල් ආන්ජලෝ විසින් දේවස්ථාන සිවිලිමේ ඇඳි අතිශයින් අලංකාර චිත්‍ර නිසාය.

එසේම පාප් වහන්සේගේ ක්‍රියා කාරකම් සඳහා යොදාගන්නා මෙම දේවස්ථානය නව පාප් වහන්සේ නමක් තෝරාපත්කර ගැනීමට යොදාගනී.පාප් වහන්සේ නමක ස්වර්ගස්ථ වූ විටෙක හෝ ඉල්ලා අස්වූ විටෙක නව පාප් වහන්සේ නමක තෝරා පත්කර ගන්නට කාදිනල් ප්‍රසාදීන් වහන්සේලා හමුවන්නේ මෙම සිස්ටීන් දෙව් මැඳුර තුළය. පාප් වහන්සේ වැඩ සිටින වතිකාන මැඳුර ආශ්‍ර යෙන් ඇති විශාලතම දේවස්ථානය වන මෙය ඉදිකර ඇත්තේ 1473ත් 1481 ත් අතර කාලයේදී වන අතර මෙය ඉදිකර ඇත්තේ සිව්වැනි සික්ස්ටස් ( Sixtus IV ) පාප්තුමා වෙනුවෙන් ගියෝවන්නි දෝයි දොලී (Giovanni dei Dolie ) නිර්මාණ ශිල්පියා විසිනි.

දේවස්ථානය ගඩොලින් ඉදිකර තිබේ. එහි හැඩය සෘජු කෝණාස්‍රාකාරය. බයිබලයේ සඳහන් වන සොලමන් රජුගේ දේවස්ථානයේ දිග පළලින් යුතුව මෙය ඉදිකර ඇති බව විශ්වාස කෙරේ. ඒ අනුව මෙහි දිග මීටර් 40.9 ක් සහ පළල මීටර් 13.4 ක් බව සඳහන්. දේවස්ථානයේ පිටත භූමිය සමතලාය. ඒ වගේම අලංකාරාදියෙන් තොරය. දේවස්ථානයට ඇතුළුවන පුළුල් දොර කවුුළු වලින් තොරය. ආරුක්කු හයකින් සමන්විත ජනේල එහි පැති බිත්ති දෙකෙහි දක්නට ඇත.

මෙහි බිම කිරිගරුඬ අතුරා තිබේ. දේවස්ථානයේ බිත්තිවල පහළ කොටස මොසෙයික් චිත්‍ර ශෛලියට අනුව රන් සහ රිදි පැහැය ආලේපකර තිබේ. මෙම දේවස්ථානයේ චිත්‍ර මුලින්ම නිර්මාණය කර ඇත්තේ පුනරුදයේ චිත්‍රශිල්පීන් විසිනි. ඒ අනුව දේවස්ථානයේ දකුණු බිත්තියේ මෝසස්ගේ කතාව චිත්‍රයට නගා තිබේ. උතුරු බිත්තියේ ජේසුස් වහන්සේ ප්‍රසාද ස්නාපනයේ සිට අන්තිම භෝජන සංග්‍රහය දක්වා සිදුවීම් සිතුවම් කර තිබේ.

නැගෙනහිර බිත්තියේ දේවස්ථානයෙන් පිටවන දොරටුව ඇති අතර එය දෙපස ජේසුගේ උත්තානය සහ මෝසස්ගේ මෘත ශරීරය ඇතුළත් චිත්‍රය සිතුවම් කර තිබේ. ශුද්ධවූ බයිබලයේ සඳහන් වන විස්තර වලට අනුව මෝසස් ඊජිප්තුවට යන ගමන දැක්වෙන චිත්‍රය පියට්‍රො පෙරුගිනෝ ( Piatro Perugino) විසින් ඇඳ ඇති අතර අනෙකුත් චිත්‍ර සැන්ඩ්‍රෝ බොටිසෙලී (Sandro Botticelli ), කොසිමෝ රොසෙලී ( Cosimo Rosselli ), ඩොමිනිකෝ ගර්ලැන්ඩයෝ( Domenico Ghirlandaio) , පියාජියෝ ඩි ඇන්ටෝනියෝ ට්‍රයි (Piyagio de Antonio ), බර්ටොලමියෝ ඩෙලාගටා ( Bartolomeo della Gatta ), සහ ලුකා සික්නොරෙලි ( Luca Signorelli) යන චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කර තිබේ. මෙම චිත්‍ර ඇඳ දේවස්ථානය අලංකාර කර වැඩ නිමවා ඇත්තේ 1482 වසරේ දිය.සිව්වැනි සික්ස්ටස් පාප්තුමා විසින් 1483 වසරේ අගෝස්තු 15 වැනිදා කන්‍යා මරිය තුමිය වෙනුවෙන් දේවස්ථානය කැපකර මෙම සිස්ටීන් දෙව් මැඳුරේ පළමු දේව පුජාව පවත්වා ඇති බව සඳහන් වේ.

මෙම දේවස්ථානය නැරඹීමේදී දැකිය හැකි අලංකාරම චිත්‍ර ඇත්තේ අල්තාරය පිටුපස ඇති බිත්තියේ සහ දේවස්ථාන සිවිලිමේය. මේවා නිර්මාණයකර ඇත්තේ ලෝ පතල අතිවිශිෂ්ට චිත්‍ර ශිල්පී මයිකල් ආන්ජලෝ විසින් වීම මෙහි විශේෂත්වයයි. අල්තාරයට වම්පසින් ඇති දොරින් දේවස්ථානයට ඇතුළු විය යුතු අතර අල්තාරය පිටුපස ඇති බිත්තියේ ඇඳ ඇත්තේ අවසන් විනිශ්චය (Last Judgement ) චිත්‍රයයි.මයිකල් විසින් මෙහි සිවිලිමේ ඇඳ ඇති බයිබලයේ සිදුවීම් ඇතුළත් ‘ ලෝකෝප්පත්ති කතාව‘ චිත්‍රවල විශිෂ්ටත්වය අප දෙනෙත් මවිතයට පත් කරවයි. මයිකල් ආන්ජලෝ මෙම දෙවි මැඳුරේ චිත්‍ර නිර්මාණය කිරීම පිටුපස අපූර්ව කතාවක් තිබේ.

මයිකල් ආන්ජලෝ යනු පුබුදු (පුනරුද) යුගයේ පහළවූ අති විශිෂ්ට මූර්ති ශිල්පියා මෙන්ම කලා විශාරදවරයා වෙයි. ඔහු උපදින්නේ 1475 මාර්තු 6 දින ඉතාලියේ කැප්රිස් ප්‍ර දේශයේය. 1485 දී ඔහු ප්ලොරන්ස් නගරයට පිවිස ප්‍රැන්සිස්කෝද උරුබිනෝගේ චිත්‍ර පංතියට ඇතුළු වී අධ්‍යාපනය හදාරා ඉන්පසු චිත්‍ර හා මූර්ති ශිල්පය පිළිබඳව දැඩි උනන්දුවකින් විවිධ හැදෑරීම් කර තිබේ. ගියට්ටෝ, මසාචියෝ වැනි ශිල්පීන්ගේ නිර්මාණ සියුම්ව අධ්‍යයනය කළ ඔහු මුල් කාලයේ එම චිත්‍ර පිටපත් කිරීමද සිදු කර තිබේ.1508 දී දෙවැනි ජුලියස් පාප්තුමා මයිකල් රෝමයට කැඳවන්නේ සිසිටීන් දෙව් මැඳුරේ සිවිලිම පාට තවරා අලුත්වැඩියා කිරීමටය.

මුල් කාලයේ මෙම දෙව් මැඳුරේ සිතුවම් තිබී ඇත්තේ දෙපස බිත්ති වල පමණක් වන අතර වියන්තලයේ ( සිවිලිම) තිබී ඇත්තේ නිල්පාට අහසක රත්තරන් පැහැයෙන් තරු සිතුවමකි. මෙහි ඇති විශාලත්වයත් උසත් නිසා මුලින්ම මෙම කාර්යයට අකැමැති වුවද පාප්තුමාගේ බලවත් ඉල්ලීම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ඔහුට හැකියාවක් ලැබී නැත. මයිකල් ඒ වනවිට වඩාත් ප්‍රසිද්ධව සිට ඇත්තේ ප්‍රථිමා නෙළීමට නිසා මුලින්ම පාප්තුමා අවසර දී ඇත්තේගෝලයින් දොළොස් දෙනා ඇඳීමට පමණි. එහෙත් මයිකල් ඊට අකැමැතිවී තිබේ.

කෙසේ වෙතත් අවසානයේ බයිබලයේ සිදුවීම් ඇඳීමට මයිකල්ට අවසර දුන් පසු ඔහු මෙම සිතුවම් ඇඳීම ආරම්භ කර තිබේ. අඩි 60 ක් පමණ උස, මීටර් 40 ක් දිග 13 ක් පළල ප්‍ර දේශයක මෙම සිතුවම් ඇඳ ඇති අතර මයිකල් විසින්ම ලණු ඇද අට්ටාලය හදාගෙන තිබේ. මයිකල් මෙම අට්ටාලයේ සිටගෙන සියලුම සිතුවම් නිර්මාණය කරඇති බවද සඳහන් වේ. 1508 ආරම්භ කළ මෙම සිතුවම් නිර්මාණය නිම කිරීමට පුරා වසර 4ක් ගතවී ඇති අතර, ලෝකෝප්පත්ති කතාව, ආදම් සහ ඒව, නෝවාගේ ජල ගැල්ම වැනි සියලුම චිත්‍ර නිර්මාණය කර අවසන් වීමේදී මානව රූප 300 ක් පමණ මයිකල් විසින් ඇඳ තිබේ.

පසුකලක ඇතිවුණු යුද්ධයක් නිසා මෙහි සිතුවම් නිර්මාණය කිරීම නැවතී ඇති අතර, පාප්තුමාගේ හමුදා ජයග්‍රහණය කිරීමෙන් පසු යළිත් 1535 සිට 1541 අතර කාලයේ මයිකල් විසින් හත්වැනි ක්ලෙමන්ට් සහ තුන්වැනි පෝල් පාප්තුමන්ලාගේ ඉල්ලීම මත මෙහි අල්තාරය පිටුපස වර්ග අඩි 5000 ක පමණ ප්‍රමාණයක සම්පූර්ණ බිත්තියේ අවසන් විනිශ්චය චිත්‍රය නිර්මාණය කළ බවද සඳහන් වෙයි.මෙහි දැක්වෙන්නේ අනාගතයේ කවදා හෝ දිනෙක වියහැකි යැයි උපකල්පිත සිදුවීම් බව කියැවේ.

මෙම චිත්‍ර වල නිරුවත් රූප නිර්මාණය කිරීම නිසා කාඩිනල් කලීෆා සහ මයිකල් ආන්ජලෝ අතර මත ගැටුමක් හටගත් බවද කියැවේ.

කෙසේ වෙතත් පසුකලෙක නිරුවත් මානව රූප වලට ඩැනියල් ඩා ටොල්වේරා චිත්‍රශිල්පියා විසින් ඇඳුම් සිතුවම් කර තිබෙන බවත් කියැවෙනවා. සිස්ටින් දෙව්මැඳුර මහජනයාට යළි නැරඹීමට විවෘතකර තිබෙන්නේ 1984 නොවැම්බර් 7 වැනිදා ඇරැඹි මෙම ප්‍රතිනිර්මාණ කටයුතු 1994 අප්‍රියෙල් 8 වැනිදා අවසන් කිරීමෙන් පසුවයි.

සිය ගණනක් සංචාරකයින් නිහඬව මෙම සිතුවම් නරඹන්නේ වශීකෘත වෙමිනි. වසර ගණනාවක් පුරා ඉතා සියුම්ව නිර්මාණය කර ඇති මෙම චිත්‍ර රිසිසේ රස විඳීමට දවසක් වුව එහි ගත කළ ද නොසෑහේ. එහෙත් කාලය ඉතිරිකර ගැනීමට අවැසි නිසා මේ අති විශිෂ්ට චිත්‍ර නිර්මාණ ඉතා කෙටි වේලාවකින් බලා අවසන් කිරීමට සිදුවීම සැබැවින්ම සිතට ගෙන දුන්නේ කනගාටුවකි.

ලබන සතියේ වතිකාන කෞතුකාගාරයට යමු

 

වතිකානයේ සංචාරයකින් පසු ඡායාරූප අන්තර් ජාලයෙනි 

 
 
 

Comments