එක කාල­යක් සින­මාව සින්න­ක්ක­රව ලිය­ව‍ගෙන සිටි පිරි­සක් සිටියා | Page 2 | සිළුමිණ

එක කාල­යක් සින­මාව සින්න­ක්ක­රව ලිය­ව‍ගෙන සිටි පිරි­සක් සිටියා

මා බලන්නේ ඒ චරිතය මට කරන්න පුළුවන්ද බැරිද කියා පමණයි. උදාහරණයක් කියන්නම් කොස්තාපල් පුණ්‍යසෝමගේ චරිතය මට කරන්න කිව්වොත් ඒක කරන්න මට බෑනේ. යුග බෙදීම් මා ළග නෑ ! හැබැයි එක කාලයක් සිනමාව සින්නක්කරව ලියව‍ගෙන සිටි පිරිසක් සිටියා. පරිපාලනමය ගැටලු මිසක් නිර්මාණ පිළිබඳ ගැටලු නෑ. අපට අද උසස් තරුණ නිර්මාණ කරුවන් පිරිසක් සිටිනවා.

සිනමාවෙත් රූපවාහිනියෙත් සිමිත නිර්මාණ සංඛ්‍යාවකට සිය රංග ප්‍රතිභාව මුදාහළ ඔහු රසික දනන් අතර යුග යුග මතකයන් රැසක් ඉතිරි කිරීමට තරම් භාග්‍යවන්ත විය. ඔහු මේ සොඳුරු මතක රැස රසික හදවතේ තැම්පත් කරන්නේ කිසිදා ක්‍රමානුකූල රංගවේදය හැදැරිමෙන් තොරවීම විශේෂත්වයකි. අපි මේ දුලබ භාග්‍ය ලද ඒ රංගවේදිය අද පැහැසර හමුව ට කැඳවන්නෙමු ඔවුහු නම් වසන්ත කොටුවැල්ල‍යෝ ය.

 උපන් දිනය ?

1950 නොවැම්බර් 18

 උපන් ගම ?

මීරිගම

 උප්පැන්නයේ නම ?

රාමනායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා කොටුවැල්ල

 දෙමවුපියන් ?

පියා ඩැනී පීටර්

මව නෙලී සුමනා

 සහෝදර සහෝදරියන් ?

නවයයි ! මම පවුලේ බාලයා

 මුලින්ම අකුරු කළේ ?

මීරිගම මහ විද්‍යාලය උසස් පෙළ දක්වා

 පසුව ?

රජයේ චිත්‍රපට අංශයට ඇතුළු වී එහි පාඨමාලාවක් හැදැරිමට අවස්ථාව ලැබුණා.

 කිනම් වසරෙද ?

හැටේ අග - හැත්තෑවේ මුල වගේ

 පාඨමාලවෙන් පසුව ?

පසුව නොවෙයි මේ පාඨමාලාව කරමින් ඉන්න අතරේ මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා !

 කොහා‍ටද ?

ජර්මනියේ මියුනික් චිත්‍රපට හා රූපවාහිනි ඇකඩමියට

 පාඨමාලාව ?

චිත්‍රපට හා රූපවාහිනිකරණය පිළිබඳවයි ඒ . ! එතකොට ලංකාවේ රූපවාහිනිය ති‍බුණේ නෑ.

 ලංකාවට ඇවිත් ?

රජයේ චිත්‍රපට අංශයට බැඳෙනවා සංස්කරණ ශිල්පියෙක් විදියට.

 සිනමාවේ - රූපවාහිනියේ තාක්ෂණය පිළිබඳ හදාරා තිබිම නව භූමිකාව වෙත සම්ප්‍රාප්තවීමට පහසු වුණා.

මා කුඩා කල පටන් සිංහල, දෙමළ, හින්දි, ඉංග්‍රීසි ආදී චිත්‍රපට බැලීමට පුරුදුව සිටියා හැබැයි රසාස්වාදයටම නොවෙයි මා එම චිත්‍රපට බැලීමේදී කිසියම් හැදැරීමක් කළා.

 කුඩා කාලයේ පටන් හැඟිමක් තිබුණා නළුවෙක් වීමට ද ?

නෑ ! එහෙම එකක් තිබුණේ නෑ !

 ඔබ නළුවෙක් වෙනවා ! ඒ කතාව දැනගන්න කැමැතියි ?

ඒක අහඹු සිදුවීමක්

 අහඹු සිදුවිම ?

මා රජයේ චිත්‍රපට අංශයේ කටයුතු කරන විට ධර්මසිරි බණ්ඩාරනායක හඳුනා ගන්න ලැබෙනවා ඒ ඔහුගේ කෙටි චිත්‍රපටයක් වු ‘කාන්තාරයේ සිහිනය’ සංස්කරණය මට භාර වු නිසා

*ඉතිං ?

එහිදී ඔහු මට ආරාධනය කරනවා ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ මට රඟපාන්න එන්න කියා

*ඔබ හා කියනවා ?

නෑ ! මා එක පාරටම හා කියන්නේ නෑ මොකද මා කලින් රඟ පෑ නැති නිසා හැබැයි ඔහු මාව පොඩි ‘ටෙස්ට්’ එකකටත් යොමු කළා මතකයි.

*පොඩි ටෙස්ට් එක ඔබ සමත්වෙනවා ?

ඔව් ! මා එයට මුහුණ දුන්නා. ධර්මසිරි කිව්වා අපෝ මට ඒ හොදටම ඇති කියලා ඔහු මාව තුන්වැනි යාමය චිත්‍රපටය සඳහා තෝරා ගන්නවා

 ඒ වෙන විට ඔබ රංගනය හදාරා තිබුණේ නෑ ?

නෑ ! කිසිසේත්ම නෑ නමුත් සිනමාකරණයේ යෙදීමෙන් කිසියම් අවබෝධයක් ඒ පිළිබඳ මා තුළ තිබුණා.

 ඒ කියන්නේ ?

කුඩා කල සි‍ට සිනමාපට බැලීම පසු කාලීනව ඒ පිළිබඳ හැදැරීම ඊටත් පසුව සංස්කරණ ශිල්පියෙක් හැටියට කටයුතු කිරිම වගේ දේවල්

 රඟපෑමට රංගනය හැදැරිය යුතු නැද්ද ?

රංගනය කියන දෙය හැදැරිය යුතුයි. නමුත් මට රංගනය හදාරන්න ලැබුණේ නෑ !

 නමුත් ඔබේ ප්‍රථම රංගනය වෙනුවෙන් ඔබ සම්මානයට පවා පාත්‍ර වෙනවා ?

ඒ වර්ෂයේ සම්මාන කිහිපයක් ලැබුණා.

 තුන්වැනි යාමයෙන් පසුව ?

‘සර්කස් ඔන් මුන්’කියන හංගේරියානු චිත්‍රපටයක රගපෑවා ඒ 1983 දි

 ඔබ රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව ?

තුන හතරකට වඩා නෑ ! හැබැයි මා රඟ පෑ සිංහල චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගතවීමට තිබෙනවා.

 මොනවද ඒ

‘කන්දක් සේ මා’ හා ‘තුන්පත් රටා’ කියන චිත්‍රපට

 සිනමා රසිකයන් තුළ සු‍විශේෂි මතකයක් තැබු ඔබ එක්වරම නිහඩ වන්නේ ඇයි ?

කවුද මා නිහඩයි කියන්නේ. මා නිහඩ නෑ.

 ඔබ සිනමාවේ නොපෙනි යනවා ඒ ගැනයි මා අසන්නේ ?

ඇයි වසන්ත කොටුවැල්ල චිත්‍රපට වලට පෙනි සිටිය යුතුයි කියා නියමයක් තිබෙනවද ?

 ඔබ වැනි රංගන ශිල්පියෙක් තිරයෙන් ඈත්වීම සිනමා රසිකයන්ට කරන ලද අසාධාරණයක් නොවෙයි ද ?

මොකක්ද අසාධාරණේ. මා කාටවත් අසාධාරණයක් කළා කියලා කිසිම දවසක මට චෝදනාවක් ඇවිත් නෑ. සිනමාවේ වැඩ කරගෙන යන්න ඕන තරම් අය ඉන්නවා

 ඔබ ප්‍රශ්නය මඟ හරින්නයි හදන්නේ ?

මොකක්ද ප්‍රශ්නය ! ප්‍රශ්නය තිබෙන්නේ ඔබටයි මට නොවේ !

 එහෙනම් මා මෙසේ අහන්නම් ඔබට හෙට දිනයේ චිත්‍රපටියක රඟපෑමට ආරාධනය කළොත් ?

ඒක ඒ වෙලාවට තීන්දු කරන දෙයක්

 එසේ ආරාධනයක් ආවොත් ඔබ චරිත තෝරල බේරලද බාර ගන්නේ?

නෑ ! මා බලන්නේ ඒ චරිතය මට කරන්න පුළුවන්ද බැරිද කියා පමණයි උදාහරනයක් කියන්නම් කොස්තාපල් පුණ්‍යසෝමගේ චරිතය මට කරන්න කිව්වොත් ඒක කරන්න මට බෑනේ.

 සිනමාවේ ස්වර්ණමය යුගය ගැන කතා කළොත් ?

යුග බෙදීම් මා ළග නෑ ! හැබැයි එක කාලයක් සිනමාව සින්නක්කරව ලියව‍ගෙන සිටි පිරිසක් සිටියා.

 අද සිනමා‍ව ගැන යමක් කියන්න ?

පරිපාලනමය ගැටලු මිසක් නිර්මාණ පිළිබඳ ගැටලු නෑ අපට අද උසස් තරුණ නිර්මාණ කරුවන් පිරිසක් සිටිනවා.

 රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය සංඛ්‍යාව

දහයක් පමණ

 ප්‍රථම රංගනය

බ්‍රර්ටම් නිහාල්ගේ ‘සුබ ප්‍රාර්ථනා’.

 පසුව ?

ගම් පෙරළිය, චරිත තුනක්, අඳුකොළ, සුර අසුර, භාවනා, සංසාර මන්දිර ආදී වශයෙන්......

 අත් දැකීම් ?

හරිම සුන්දරයි හරිම සැහැල්ලුවෙන් තමයි ඒ කටයුතුවලට මා සම්බන්ධ වුණේ පරණ යළුවොත් මට විශාල සහයක් දුන්නා.

 ඔබ රජයේ සේවකයෙක් වශයෙන් සිටියදියි මේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ ආයතනයෙන් බාධක ආවේ නැද්ද ?

ඔබ දන්නවා ඔබත් එතකොට සේවය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ. මමත් එහි සේවය කරමින් තමයි මේවට දායක වුණේ.

 නෑ මා අහන්නේ බධක ගැන ?

අනන්තයි ! ආයතන සංග්‍රහයේ රෙගුලාසිවලට පටහැනිව ගිහින් මා ඒ බාධක ජයගත්තා . හැබැයි ඒ බාධක දමපු අය අද ජීවතුන් අතර නෑ.

 ඔබේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකක් දැනගන්න කැමතියි ?

‍මගේ බිරිය කැලණියේ. දිර්ඝ ප්‍රේම සබඳතාවකින් පසුව අප විවාහ වුණා.

 දරුවන් ?

අපට සිටින්නේ එකම පුතයි ඔහු උදාර. පෞද්ගලික ආයතනයක පරිගණක ඉන‍්ජිනේරුවෙක් හැටියට කටයුතු කරනවා.

ලේලිය ?

ඇය ‘යසස්වි’! අපට මාස අටක මිනිපිරියක් සිටිනවා ඇය ‘අහල්යා’

 ඔබ ජීවිතේ ගත්ත වැරදි තීන්දු තීරණ තියෙනවද ?

හරි වැරදි කියන දේවල් සාපේක්ෂයි. ඔබට හරි දේ මට වැරදි වෙන්න පුළුවන්. මට වැරදි දේ ඔබට හරි වෙන්න පුළුවන්. එහේම නොවුණානම් මේ ලෝකය හරි ලස්සනයි

 මේ දිනවල ඔබේ කාර්ය භාර්ය ?

මා සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හැටියට කටයුතු කරනවා.

 එහි කාර්යභාර්ය ?

සාක් රටවල සහයෝගීතාව සංස්කෘතික කටයුතු හරහා ශක්තිමත් කිරිමයි අපේ රාජකාරිය !

 ඊ‍ට අමතරව ?

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ හා වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා.

 ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔබේ අදහසක් නැතිද ?

නෑ !

 ජිවිතය දෙස ආපසු හැරි බැලීමේදි ඔබ තෘත්තිමත් ද ?

ආපසු හැරි බැලීමක් මා තුළ නෑ !

 ඔබේ වයසට කලින් ඔබ 1995 දී රජයේ සේවයෙන් ඔබ විශ්‍රාම යනවා ?

ඔව් ! මා ඉන්පසුව ශ්‍රී ලංකා සුමිත්‍රයෝ හා සම්බන්ධව සමාජ සේවයට යොමු වෙනවා මා ජිවිතයේ විශාල තෘප්තියක් ලබන්නේ සමාජ සේවය කිරීමෙන්. 

 

Comments