අයවැය විවාදය මැද්දට බාලගිරි මුහුණක් | සිළුමිණ

අයවැය විවාදය මැද්දට බාලගිරි මුහුණක්

වැදගත් අමාත්‍යංශ කිහිපයක කාරක සභා වැය ශිර්ෂ විවාදයට ගැනුණු අයවැය විවාදයේ අවසන් සතිය ගෙවී ගියේ මැති සබයේ වඩාත් උණුසුම් ආකාරයේ වාද විවාදයන්ට පසුබිම සකස් කරමිණි. ගෙවී ගිය සතිවලට වඩා උණුසුම් පුවත් මවන්නට මේ සතිය හේතු විය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය, නිවාස හා ඉදිකිරීම්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති, ඛණිජ තෙල්, ධීවර, ස්වදේශ කටයුතු මෙන්ම පළාත් පාලන ඇතුළු අමාත්‍යංශ ගණනාවකම වැය ශීර්ෂ වාද විවාදයන්ට ගැනුණු මේ සතිය 2018 අයවැය විවාද වෙනුවෙන් වෙන්වූ අවසන් සතිය විය.

පින්වන්ත ඇමැති

සතිය ආරම්භයේදීම වෙනදා නොවූ තරමේ උණුසුමක් මැති සබය පුරා පැතිර යන්නට වූයේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ හරවත් කතාවක් ඉදිරිපත් කිරීමත් සමඟය. ඇමැති රාජිත සේනාරත්න මහතාගේ අමාත්‍යංශය වූ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂය දා ජනාධිපතිවරයා මැති සබයට පැමිණ සිටියේ අයවැය විවාදයේ පළමු දේශනය සිදු කරන්නටය. ජනාධිපතිතුමා සිය කතාවට ආරම්භයක් සපයමින් මුලින්ම කළේ ඇමැති රාජිත සේනාරත්න මහතාට හා ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතීමය. ජනාධිපතිතුමාට පෙර කතාව කරගෙන ගිය ඇමැති රාජිත දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ වන විට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය ගැනයි. ජනාධිපතිවරයාද සෞඛ්‍ය ඇමැතිගේ කතාව සාවධානව අසාගෙන සිටියේ ය. මෙහිදී ජනාධිපතිවරයා සිය කතාවේදී ඇමැති රාජිත හැඳින්වූයේ පින්වත් ඇමැති වශයෙනි. ඒ කිසිදු බලපෑමකින් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිදහස්ව කටයුතු කිරීමට ඇමැති රාජිතට අවස්ථාව ලැබී ඇති නිසා ය. තමා සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කරන කාලයේ එවැනි නිදහසක් ඇමැති ලෙස තමාට නොතිබූ බවත් එදා තමාගේ අතපය බැඳ දමා තිබූ බවත් ජනාධිපතිවරයා පැවැසුවේය.

“මෙතුමා පින්වන්ත ඇමැතිවරයෙක්. එදා මට තිබුණු මානසික පීඩා ගැන මම දන්නවා. මේ ආණ්ඩුව මොනවද කරන්නේ කියලා ඇහුවහම සෞඛ්‍ය අමාත්‍යංශයම එයට හොඳම උදාහරණයක්. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය තුළ බියර්වලට සහන දීම සුදුසු නැහැ”

මෙහිදි ජනාධිපතිවරයා බියර් මිල අඩුකිරීමේ යෝජනාව විවේචනය කිරීම විශේෂිත දෙයක් විය. බියර් මිල අඩු කිරිම රජයේ මත්පැන් විරෝධි ප්‍රතිපත්තයට පටහැනි බව සඳහන් කළ ජනාධිපතිවරයා රටින් සිගරට් ගෙන්වීමද නොකළ යුතු බව පැවැසී ය. ජනාධිපතිවරයාගේ පැමිණීම සෞඛ්‍ය ඇමැතිවරයාට සතුටට කාරණයක් විය. විනාඩි 15 ක් පමණ සිය දේශනය කළ ජනාධිපතිවරයා සභා ගැබෙන් පිටතට යන විට මුහුණට මුහුණලා හමුවූයේ අගමැතිවරයා ය. දෙනොම සුහදව කතාබස් කරමින් සභාවෙන් පිටව යනු පෙනුණි.

දඟකාර අලි

අලි ඇත්තු මෙන්ම මුහුදු නයි ගැන රටේ විවිධ කතා පැතිරෙද්දි සතුන් බාර ඇමැති ගාමිණි ජයවික්‍රම මහතාගේ හදවතද පත්තු වී තිබුණේ දළ ඇතුන් ඝාතනයේ රට කම්පා කළ තොරතුර නිසා ය. ඔහු පැවැසුවේ මෙවැනි අපරාධ අපාගත වීමට බලපාන බවයි. මහනුවර ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවයා ද මැති සබයේ හඬ නඟන්නට උත්සාහ කළේ මේ ගැනය. අලුත්ගමගේට පිළිතුරු දුන් ඇමැති ජයවික්‍රම පැවැසුවේ “හරි ප්‍රශ්නනේ අහන්නේ. එයා හරි දඩයක්කාරයා.” යනුවෙන් පැවැසුවත් ඔහු දඩයක්කාරයා යනුවෙන් පැවැසුවේ කාටදැයි කාතුළත් වූයේ ප්‍රශ්නයකි. ඇමැති ජයවික්‍රම දිගින් දිගටම සතුන්ගේ කතාව කියන්නට විය.“ අද ඌරෝ, වදුරෝ, රිලව්, කලවැද්දෝ, ඉත්තෑවෝ වල් අලි කාටත් ප්‍රශ්නයක් වෙලා. එත් මේ සත්තු ඉන්න ඕන. මේ සත්තු ගම්බ්ම් වදින්නේ මේ කකුල් දෙකේ සත්තු කරන පහත් වැඩ නිසා.” යැයි ඇමැතිවරයා පවසද්දී තවත් හඬක් ඇසුණේ අල්ලපු අසුනේ සිටි ඇමැති ජෝන් අමරතුංග ගෙනි.

“ඔව් ඔව් මෙහෙත් දඟකාර අලි ඉන්නවා.” යනුවෙන් ඔහු සිනාසෙමින් කීවේ කාටදැයි යන්නද ප්‍රශ්නයක් විය.

කඳුරට නව ගම්මාන, බන්ධනාගාර, රාජ්‍ය භාෂා මෙන්ම ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදය ආරම්භයේදිම අමාත්‍යංශසියල්ලම එකවර හා දැඩිව විවේචනය කරමින් කතා කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායකය.

ලැජ්ජයි. ලැජ්ජයි

“අද වැය ශිර්ෂයට ගැනෙන මේ අමාත්‍යංශ තුනම අපේ රටට ඉතා වැදගත්. ඒත් මේ ඇමැතිවරු තිදෙනාම වහාම ඉවත් කළ යුතුයැයි මම කියනවා. මේ අයට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒ නිසා මම මේ දේවල් කියන්නේ මේ සභාවේ පුටුවලට. කවුද මේ ඇමැතිවරු. මේ අයට කාරයයි, කොඩියයි තියෙනවා. ටෙන්ඩර් දුන්නොත් එවායින් ගසා කනවා. ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට ගිය වසරේ රුපියල් මිලියන 3532 ක් වෙන්කර තිබුණා. නමුත් ඉන් ලබාගෙන ඇත්තේ මිලියන 325 යි. ඒ කියන්නේ සියයට 9 යි වියදම් කරලා තියෙන්නේ. සියයට 91 ක් සැප්තැම්බර් මාසේ වෙනකොට වියදම් කර නැහැ. ඒ නිසා මේ අය අස්විය යුතුයි. අර ගමේ කොල්ලෝ කියනවා වගේ තවුසන් ටෝක්ස්. ඒත් බල්ටි නැහැ. අපිට පුද්ගලයෝ වැදගත් නැහැ. තනතුර විතරයි වැදගත්. ලැජ්ජයි. ලැජ්ජයි. යුද්ධයෙන් අනාථ වුණු වැන්දඹවන් 90,000 ක් ඉන්නවා. මේ අයට සති පූජාව කරන්නද කියන්නේ. විවාහ වෙන්න කැමැති අයට වැඩ පිළිවෙළක් හදන්න රජය කටයුතු කළ යුතුයි. පුනරුත්ථාපන අමාත්‍යංශය අවුරුදු තුනම පොල් ගාලා දැන් එය ජනාධිපතුමා යටතට පවරලා. අපිට ස්වාමිනානන්දද, මෛත්‍රිපාල මැතිතුමාද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒත් අවසානයේ ජාතිවාදයට යනවා.” මන්ත්‍රි බිමල් කියාගෙන ගියේ ඒ ඇමැතිවරු දැඩි දෝශ දර්ෂණයට ලක් කරමිනි.

එම කතාවට සභාවේ සිටි ඇමැති ස්වාමිනානන්දට තදවිය. “බොරු දත්ත ඉදිරිපත් කරන්න එපා....ඔබතුමා කතාකරන්නේ අපි මේ ලෝකේ දෙයක් කරලා නැහැ වගේනේ” යනුවෙන් ඔහු පැවැසුවේ වේදනාවෙනි.

ඉහගැනිල්ල හා නා ගැනිල්ල

පළාත් පාලන ඡන්දය පාර්ලිමේන්තුව තුළ නැවත විවාදයන්ට එක්වූයේ පසුගියදා වූ පළාත් පාලන අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදය දාය. පෙර සේම මැතිවරණය කල්දැමීමේ අරමුණින් විපක්ෂය ගෙන ආ විවේචනයන්ගෙන් ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මෙවරද බයිට් කළේ ය. දෛනික කතාව ආරම්භයේදීම අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ඇමැති ෆයිසර්ට යළිත් චෝදනා කරන්නට වූයේ පෙර බාලගිරි කතාව මතක් කරමිනි.

“ මහින්ද රාජපක්ෂ මෙරට දුර්දාන්ත පාලනයක් ගෙනගියා. ඒත් එතුමා නොකරපු දේවලුත් දැන් ඔයාලා කරනවා.” මන්ත්‍රි විජිත සිය කතාව ආරම්භ කළේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් එල්ල කර වුවත් අවසානයේ ඔහු සිය අවධානය සෘජුව යොමු කළේ ඇමැති ෆයිසර්ටය. ඒ මන්ත්‍රි විජිත විසින් ඉදිරිපත් කළ සයින්දමාරු ජනතාවගේ ප්‍රශ්නය ගැන විමසීමේදී ය.

“ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ අපි නොවේ ඔයාලා. දැන් පිදුරු දාන්න දෙයක් නැහැ. දැන් ඔයාලා එකතු වෙලා පෙට්රල් ටිකක් වක්කරන්න. ඔබතුමාගේ පොරොන්දු අවුරුදු දෙකක් තිස්සේ විශ්වාස කළේ නැහැ. දැන් ඒ විශ්වාසයට විශ්වාස භංග දෙකක්ම ඇවිත්. ඔයා මාව විශ්වාස කරන්න කිව්වට විශ්වාසේ තුනෙන් දෙකක්ම කඩ කරලා. අපේ පක්ෂය සුළු වෙන්න පුළුවන්. ඒත් මතවාදය විශාලයි. ඔබතුමන්ලා හොඳ පනත් ගෙනැල්ලා ඉහගත්තා. ගොඩ ඉඳගෙන නාගත්තා. මෛත්‍රි පිලත් විනාශ කළා.”

ඇමැති ෆයිසර්ට මේ චෝදනා ඉවසා ගත නොහැකි වූයෙන් ඔහුත් දිගින් දිගටම මන්ත්‍රි විජිතගේ කතාවට හරස් කපන්නට විය.

“ තමුන්නාන්සේලා නීතිය ගැන දන්නේ නැහැ.” මන්ත්‍රී විජිතද ඔහුට වැඩිදුර කතා කරන්නට ඉඩ දුන්නේ නැත. “ඔයා නීතිය දන්නවානම් වැරැදි ගැසට් එකක් හදනවද? බැරිකමත් ඔප්පු කළා. මහ ලොකු ජනාධිපති නීතීඥ. තව දඟලන්න එපා. දඟලලා සුජීව වගේ මඩ නාගන්න එපා. ඡන්ද කල් දාගන්න ගිහින් කුරුමානම වරද්දවා ගත්තා.”

මන්ත්‍රී විජිතගේ කතාවෙන් අනතුරුව අදහස් දැක්වූයේ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසේකරය.

අලුත් නමක්

“ බලන්න ඔබතුමාට බාලගිරියි කියලා නමක් පටබැඳුණා. මේ නිසා අපේ අම්මලා බාලගිරි කියලා මීට පස්සේ දොරේ අලවන එකක් නැහැ. ඔබතුමාගේ පිංතූරය දොරේ ඇලෙව්වොත් අම්මලාට තේරෙයි එය හෙටයි කියලා.” ඔහු එසේ පැවැසුවේ ඡන්දය පිළිබඳ ඇමැති ෆයිසර්ට සහයෝගයක් පළ කිරීමටය.

මන්ත්‍රි චමින්ද විජේසේකර එසේ කීවත් ඒකාබද්ධයේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කීවේ වෙනත් කතාවකි. “ඡන්දය කල්දාපු නිසා දැන් ඇමැති ෆයිසර්ට කියන්නේ මිස්ටර් බාලගිරි කියලයි. ඒනිසා අපි එතුමාගේ නම බී ෆයිසර් කියලා වෙනස් කරමු.” යැයි පැවැසුවේ සභාවේ සිනා හඬ මධ්‍යයේය. මෙවිට ඇමැති ෆයිසර් යමක් කීමට නැගී සිටියද මන්ත්‍රි රෝහිත ඊට ඉඩ දුන්නේ නැත.

“ හෝව් හෝව් .ඔබතුමා නැගිටින්න එපා. අපි දෙන්නා යාළුවෝ. එදා අපි දෙන්නා හිටපු තැන් මම මෙතනදි කියන්න යන්නේ නැහැ.” ‍මන්ත්‍රී රෝහිත එසේ පැවසුවද පෙර කියූ ආකාරයට ඔවුන් හිටපු තැන් කියන්නට ගියේ නැත.

කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන එස් එම් මරික්කාර්ද පළාත් පාලන ඡන්දය ගැන කතා කරමින් ඇමැති ෆයිසර්ට සියුම් ටොක්කක්ද ඇන්නේ ය.

“ෆයිසර් ඇමැති හැම දේම ඉංග්‍රීසියෙන් කතා කරලා යට ගහන්න උත්සාහ කරනවා. ඒත් ඕවා හැමදාම කරන්න බැහැ. ජනතාව වෙන දේවල් බලාගෙන ඉන්නවා.” ඔහු එසේ කීවද එය අසා සිටින්නට ඇමැතිවරයා පාර්ලිමේන්තු සභා ගැබේ සිටියේ නැත.

ධීවර අමාත්‍යංශ වැය ශීර්ෂය දා හැඬෙන කතාවක් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්තිය. ධීවරයින් හා ධීවර ජනතාවගේ ප්‍රශ්න ගැන ඔහු කතා කළේ වඩාත් සංවේදිවය.

“ අද ධීවර ජනතාව නිරන්තරයෙන්ම ආපදාවන්ට ලක්වෙනවා. මේ නිසා ධීවරයෝ අනතුරේ. අද මියගිය ධීවරයින්ගේ පවුල් අසරණ වෙලා. මේ අයට රුපියල් ලක්ෂ දහයක් වන්දි දුන්නත් වැඩක් නැහැ. ආපදාවක් වෙනවිට ධීවරයින්ට කල්තියා දැනුම් දෙන්න ඕන. පහුගිය දවසක මට මුහුදු ගිය ධීවරයෙක් කතා කළා. එයා මට කිව්වා අයියේ මුහුද සැරයි කියලා. මේ අයට අනතුරු ගැන දැනෙනවා. හදවතේ කොහේ හරි අනුකම්පාවක් තියෙනවානම් ඔවුන්ට අනතුරු ඇඟැවීම් කල්තියා දැනුම් දෙන්න..” එසේ කී නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා පැවැසුවේ ඇමැතිවරුන් හමුවට ගොස් රැකියා නොඉල්ලන එකම පිරිස ධීවරයින් බවයි.

සුභාෂිණි ජයරත්න 

Comments