ගුණා­ත්මක චිත්‍ර­පට ප්‍රේක්ෂ­කයෝ නරඹනවා | සිළුමිණ

ගුණා­ත්මක චිත්‍ර­පට ප්‍රේක්ෂ­කයෝ නරඹනවා

කිං හන්තර්, කෝ මාර්ක්-නෝ මාර්ක් නම් හාස්‍යජනක චිත්‍රපට හඳුන්වාදෙමින් සිනමා කර්මාන්තයට පැමිණි ප්‍රවීණ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම චිත්‍රපටය වන ‘5 සමත්‘ ඉතා සාර්ථක ලෙස මේ දිනවල සිනමාහල් රැසක තිරගත වෙමින් තිබේ.

දුප්පත්කමට, අඟහිඟකමට අභියෝග කරමින් පුංචි සිතුවිලි වලින් මහා පෙරළියක් කිරීමට සමත් හෙවිළිකන්ද නම් දුෂ්කර මෙන්ම සුන්දර ගම්මානයේ ජීවත් වන ‘සමත්‘ නම් වූ දරුවකු වටා ගෙතුණු කතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා රසඳුන සමඟ කළ කතා බහයි මේ.

හාස්‍ය චිත්‍රපටි හදපු ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයට මොකද එක පාරට පොඩි දරුවන්ගේ පැත්තට හැරෙන්න හිතුණේ ?

මම කාලයක ඉඳලා කල්පනා කර කර හිටියේ අලුත් යමක් කරන්න ඕනේ කියලා. විශේෂයෙන් ම දරුවෝ මුඛ්‍ය කරගත් යමක් කරන්න ඕනේ කියන අදහසේ හිටියේ. ඔහොම ඉන්න කොට දවසක් අනුරාධ බී රැකව මට කතා කරලා කිව්වා සිව අයියේ මගේ හිතවත් නිෂ්පාදකවරයෙක් ඉන්නවා, එයාට චිත්‍රපටක් කරන්න ඕනේ කියනවා කතාවක් නැද්ද කියලා. මට ඒ එක්කම මතකයට ආවේ රසික සුරවීර ආරච්චි.

මොකද කාලයක ඉදලා අපි දෙන්නා හොඳට හඳුනනවා. මම ඒ එක්කම රසිකට කතා කරලා විස්තරේ කිව්වා. එතකොට රසික කිව්වා මම ලියපු කතාවක සාරංශයක් තියෙනවා හොඳද බලන්න කියලා. එයා ඒ සාරංශය කිව්ව විදියට මට හිතට ඇල්ලුවා. අවසානේ අපි දෙන්නා ඒ කතා සාරාංශයත් අරන් අනුරාධ ගාවට ගියා.

එතැන විධායක නිෂ්පාදකවරයත් හිටියා. අපි ගෙන ගිය ඒ කතාව අහලා දවස් කිහිපයකින් කතා කරලා චිත්‍රපටය කරන්න කැමැත්ත ප්‍රකාශ කළා.අන්න ඒ අනුව තමයි 5 සමත් කියන චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.

පහ සමත් කියන චිත්‍රපටයෙන් අදහස් වෙන්නේ කුමක් ද ?

හෙවිළිකන්ද නම් වූ සුන්දර ගම්මානයේ ජීවත් වෙන දුප්පත් පවුලක දරුවෙක් වටා ගෙතුණු කතාවක්.

ස්වභාවික සෞන්දර්යන්ගෙන් ඉතා පිරිපුන් මේ ගම්මානයේ ගැමි දෙමවුපියන්ට දාව උපන් සමත් ගහ වැල්වල නඟිමින්, දිය ඇලිවල නාමින් විනෝදජනක ජීවිතයක් ගෙවමින් ඉන්න පුංචි දරුවෙක්.

තමන් ඇතුළු පවුලේ අයගේ බඩ වියත වෙනුවෙන් ආබාධිත පියා සහ මව කුඹුරුවලට වතුර ගෙන යන හැටි මේ පුංචි දරුවා දෙනෙතට නැඟුණු කඳුළු වලින් බලා ඉඳලා තීරණයකට එනවා.

“දෙන්නමි මම නිසි විසඳුම් අම්මට තාත්තට හා අක්කට“ ඒ අනුව තම පොත පතේ දැනුම් ඔස්සේ යමින් කුඹුරට ජලය ගෙන යන්න උපකරණයකුත්, පියාට කිතුලට නගින්න උපකරණයකුත් සාදනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට දැනුමත් හදාගන්නවා.

විභාගයට දින හතක් තියෙද්දි පියා කිතුලෙන් වැටෙනවා. පුංචි සමත් විභාගයට යන්න අදිමදි කරද්දි මව ඔහුව දිරිමත් කරලා විභාගයට යවනවා. තමන් සතු දැනුම භාවිතා කර සමත් දිවයිනේ ප්‍රථමයා ලෙස 5 සමත් වෙලා නාගරික පාසලකට අතුළත් වෙනවා. ඒ වටා ගෙතුණු කතාවක් තමයි මේ චිත්‍රපටය පුරා දිව යන්නේ.

පහ සමත් කියන්නේ අපේ රටේ නිරන්තර කතා බහට ලක්වෙන මාතෘකාවක්, ඒ කියන්නේ ඉන් ප්‍රයෝජන ගන්නද පහ සමත් කියලා නම දැම්මේ ?

මෙහෙමයි චිත්‍රපටයක් කරන්නේ යම් අරමුණක් තියාගෙන. ඇත්ත ඔබ කියනව වගේ අපේ රටේ බහුලව කතාවන මාතෘකාවක් තමයි පහ වසර ශිෂ්‍යත්වය. නමුත් මේ කතාව රචනා වෙලා තිබුණේ ගමේ සහ නගරෙ දරුවන් වටා. මේ ගමේ දරුවා පහ වසරේ වුණාට ඊට එහා ගිය හොඳ දැනුමක්, කුසළතාවයක් තිබුණ දරුවෙක්. ඒ දරුව තමන්ගේ දක්ෂතා හරහා යන ගමන, ඒ දරුවගේ ක්‍රියා කලාපය, හැසිරීම හැමෝටම හොඳ ආදර්ශයක් ලෙසයි මා දකින්නේ. මෙය නරඹද්දි ඔබට වැටහේවි අපේ දරුවන්ගේ කොයිතරම් දක්ෂතා තියෙනවද කියලා.

පසුගිය කාලය පුරාවටම අපි දකින්නේ එක්කෝ හාස්‍යය, නැත්නම් පොඩි දරුවන් වටා ගෙතුණු කතා. ඒ කියන්නේ හාස්‍යජනක කතාවලට වඩා මෙවැනි කතා මාකට් කරන්න පුළුවන් කියල හිතුව ද?

මම කිං හන්තර්, කෝ මාර්ක්-නෝ මාර්ක් වැනි හාස්‍යජනක චිත්‍රපට කළා. ඒකයි මම මුලිනුත් කිව්වේ මට වෙනස් ආරයේ, විශේෂයෙන් දරුවන් වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න ඕනේ කියලා. හැබැයි මේ කතාවත් සම්භාව්‍ය ගනයේ කතාවක් නෙවෙයි. වාණිජ ධාරාවේ කතාවත්. එහෙම නැතුව රැල්ලට යාමක් මට අවශ්‍ය නැහැ. මගේ හිතේ කාලයක් වැඩ කළ දේ මට අවශ්‍ය විදියට ආවා. ඒ නිසා මම දරුවන් කේන්ද්‍රකරගනිමින් චිත්‍රපටය කළා. මේ වෙනකොට ඉතා සාර්ථක ලෙස එය තිරගතවෙමින් තියෙනවා.

මේ චිත්‍රපටයට ඉන්න දරුවෝ අලුත්. ඇයි ජනප්‍රිය තලයේ දරුවන් වෙනුවට අලුත් ම දරුවන් පිරිසක් තෝරාගත්තේ ?

දරුවන් වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න අදහස් කළා වගේම ඒ වෙනුවෙන් අලුත් මුහුණු ගන්න ඕනේ කියන අදහසෙත් මම හිටියා. ඒ වෙනුවෙන් අපි පාසල් වලට ගියා. රංගායතනවලට ගියා. ලොකු වෙහෙසක් ගත්තා අපට අවශ්‍ය දරුවෝ හොයන්න.

මෙහි ළමා නිළිය චරිතයටත්, අනෙක් චරිතවලටත් දරුවෝ පහසුවෙන් හොයාගන්න පුළුවන් වුණා. එහෙත් ප්‍රධාන චරිතයට අවශ්‍ය දරුවා හොයාගන්න ලැබුණේ නොසිතපු විදියට. අවසානේ මේ ළමයි සියලුදෙනා එකතු කරලා ප්‍රසන්න මහගමගේ ලවා වැඩමුළු කළා.

ඒ වැඩමුළුවලින් පසු කතාවට සරිලන හොඳ තෝරාගැනීමක් කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ වැඩමුළුවලට සහභාගි වුණ කිසිම දරුවකු අත්හැරියේ නැහැ. ඒ අය විවිධ චරිතවලට යොමු කරගන්න හැකි වුණා.

ලොකු වියදමක් කරලා චිත්‍රපටක් කරද්දි අලුත් මුහුණු දාගෙන වියදම් කරපු මුදලවත් හොයාගන්න පුළුවන් වේවි කියලා හිතුවද ?

ඕනෑම අයෙක් එක්කල වැඩ කරනවා කියන්නේ අභියෝගයක්. ඒත් මම වෘත්තියෙන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඕනම අභියෝගයක් බාරගන්න සූදානම් විය යුතුයි. මෙහෙමයි අපි හොඳ නිර්මාණයක් ලබාදෙනව නම් මුහුණු වල ප්‍රශ්නයක් නැහැ.

දැන් බලන්න මේ චිත්‍රපටය ඉතා සාර්ථක ලෙස තිරගත වෙමින් තියෙනවා. අලුත් මුහුණු කියලා නැහැ ඒ දරුවන් හොඳින් රංගන කාර්යයේ යෙදෙනවා. මේ දරුවෝ අලුත් කියලා චිත්‍රපටය නරඹද්දි කියන්න බැහැ. ඒ තරම් දක්ෂ ලෙස මේ දරුවෝ රංගනයේ යෙදෙනවා.

මෙහි පරිසරය පසුතල හරිම ලස්සනයි. ?

මට අවශ්‍ය වුණා කිසි කෙනකුගේ නෙත නොගැටුණු ස්ථාන තෝරාගෙන රූගත කිරීම් කරන්න. අපි ප්‍රදේශ කිහිපයක ම සංචාරය කළා. ඒ අනුව තමයි කිතුල්ගල රක්ෂිත වනාන්තරයේ පරවලතැන්න ග්‍රාමයේ ඇතුළට ගිය ඒ ලස්සන ස්ථානය දැක්කේ. ඒ තැන අපි කාගෙත් හිතට ඇල්ලුවා. ඒ වගේම ඇතැම් ගීතවල දර්ශන රිවස්ටන්වල තමයි රූගත කිරීම් කළේ.

රූගත කිරීම් අතරතුර වුණු අමතක නොවන සිදුවීම් නම් ගොඩක් ඇති නේද ?

අපෝ ඕනේ තරම් තියෙනවා. කිතිල්ගල කැලේට ආවේණික කූඩැල්ලන්ගෙන්නම් බේරෙන්නම ලැබුණේ නැහැ. අවසානේ උණත් ගැනුණා. ඒ වගේම තමයි දවසක් දර්ශන තලයට යන්න පෙරයි මේ සිදුවීම වුණේ. කිතුල්ගල කැලයට ඇතුළු වෙන්න කලින් තිබෙනවා අඩි විසි පහක් පමණ දිග තනි කොන්ක්‍රීට් පාලමක්.

මේ පාලමේ මුලින්ම ගියේ කැමරා අධ්‍යක්ෂ තුසිත අනුරාධ. ඔහු පාලමෙන් එගොඩ වුණා විතරයි හරි මැදින් පාලම කඩන් වැටුණා. ඒත් එක්කම මමයි, උද්දිකවයි පහළට ලිස්සුවා. හොඳ වෙලාවට පහළට වැටුණු කොටස ගලකට හිර වුණා. අපි දෙයියෝ බුදුන් සිහි කරගෙන ඊට පහළින් පාරක් හදාගෙන තමයි රූගත කිරීම්වලට ගියේ.

කොයිතරම් විවිධ ආරේ චිත්‍රපට සිනමාහල්වලට ආවත් ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනව නේද ?

හැත්තෑව දශකයේ වගේ ස්වර්ණමය යුගයක් චිත්‍රපටි ක්ෂේත්‍රයට යළි ඒවි කියලා හිතන්න අමාරුයි. මොකද ඒ කාලයේ තිබුණේ සීමිත මාධ්‍ය ගණනක්. දැන් එහෙම නෙවෙයි. අතේ තියෙන ෆෝන් එකෙන් තමන්ට අවශ්‍ය දෙයක් බලන්න පුළුවන්.

හැබැයි කවුරු මොනව කිව්වත් තවමත් චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයෝ එනවා. හැබැයි අපි දැනගන්න ඕන ප්‍රේක්ෂකයන් ගෙන්වා ගත හැකි ආකර්ෂණීය චිත්‍රපට හදන්න. එහෙම වෙනව නම් ප්‍රේක්ෂකයෝ නෑවිත් ඉන්නේ නැහැ.

සමහර කාලවල සමහර හේතු හා ආර්ථික ප්‍රශ්න නිසාත් චිත්‍රපට බැලීමේ ප්‍රවණතා අඩුවෙලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික අදහස ගුණාත්මක අතින් ඉහළ චිත්‍රපට හැදුවොත් ප්‍රේක්ෂකයෝ අනිවාර්යෙන්ම එනවා. මොකද 5 සමත් දිහා බලද්දි ඒ දේ කාට වුණත් අවබෝධ කරගන්න පුළුවන්.

මොනවද මේ දවස්වල විකාශනය වන ඔබේ වෙනත් නිර්මාණ ?

මේ දවස් ‘කෝටිපතියෝ‘ වගේම‘ හුළං ගෙදර ‘ කියන හාස්‍ය ජනක නාට්‍යය විකාශය වෙමින් තිබෙනවා. මීට අමතරව තව කෙටි කලකින් අලුත් ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතව තිබෙනවා. 

 

 
 
 

Comments