තිසු­රිට ළඟදීම මංගල සීනු හැඬ­වෙ­නවා | Page 2 | සිළුමිණ

තිසු­රිට ළඟදීම මංගල සීනු හැඬ­වෙ­නවා

'සඳ වට රන්තරු'විශේෂාංගයෙන් මෙවර නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකා හා ඇයගේ මව ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි සමග කතා බහ කිරීමට අපට හැකිවුණා.මේ අම්මයි දුවයි දෙදෙනාම අද වන විට රංගන ක්ෂේත්‍රයට නැතුවම බැරි කලා ශිල්පිනියන් බවට පත්වෙලා. මොවුන් දෙදෙනාම කලාවේ කා අතරත් සුහදශීලියි.යුග දෙකකදී රංගනයට පිවිසි මේ මව සහ දියණිය කලා අඹරේ පෑයූ සඳ සහ රන් තරුවක් ලෙස හැඳින්වීම අතිශ‍යෝක්තියක් නොවෙයි.

කුඩා කාලයේ පටන් රඟපෑවා

තිසුරි කුඩා කාලයේ රංගනය ගැන කිසිම උනන්දුවක් දැක්වු දරුවකු නෙමෙයි.නමුත් මම දුටුවා ඇය කුඩා කාලයේදි සෙල්ලම් කරනවිට කණ්ණාඩිය ඉදිරියට ගිහින් තනියම කතාකරනවා.මම දුරකතනයෙන් අධ්‍යක්ෂවරුන් සමග කතාකරන ආකාරයට කතා කරනවා.ඒවා බලන් ඉන්න ලස්සනයි. හැබැයි දවසක ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වේවි කියලා මට ඒ වෙලාවට හිතුණා.කිසිම ආයාසයකින් තොරව කරන රංගනයක් ඇයට තියෙන්නේ.තිසුරිට රංගනය කියන එක අමුතුවෙන් ඉගෙන ගන්න අවශ්‍ය වුණේ නෑ. මම කන්දෙගෙදර -2 ටෙලිනාට්‍යය රඟපෑවේ ඇයව කුසේ දරාගෙන ඇය ඉපදෙන්න දවස් ගණනකට පෙර.දුව ඉපදී මාස ගණනේ පටන් රූ ගැන්වීම් සිදුවන තැන්වලට ගෙන යන්න සිදුවුණා. එහෙම අවස්ථාවලදී පුංචි චරිත සඳහා පෙනී සිටි අවස්ථා තිබුණා.

දෙමවුපියන්ට ළැදි දරුවෙක්

තිසුරි ට යන්තම් අකුරු ලියන්න පුළුවන් වෙනකොට 'අම්මෙ මට පාළුයි යන්න එපා රඟ පාන්න'වැනි කුඩා ලියුම් පොත්වල ලියනවා.තාත්තත් විදෙස් රටක නිසා ඇය මට ගොඩාක් සමීප වුණා.පිට ළමයෙක් හෝ මගෙත් එක්ක කතාකරනවාට හරිම අකැමැතියි. ඒ වෙලාවට නොයෙක් දේ ඉල්ලමින් වද කරමින් අවධානය ගන්න හදනවා.කතාවට කියනවනේ තනියම හැදෙන දරුවො දඩබ්බරයි කියා. එහෙත් කවදාවත් මගේ දුව අපට බරක් වුණේ නෑ. අදටත් ඇය රඟපෑමෙන් ලබන මුදල් මගේ අතට දෙන්නෙ ලැබුණෙ කීයක්ද කියා බලන්නෙවත් නැතිව.කවදාවත් අම්මේ මට අරව ඕනෑ මේවා ඕනෑ කියා ඉල්ලා නෑ.අපේ බලකිරීමට තමයි මොනවා හරි ගත්තත්. මම හිතන්නෙ මගේ දුව හැමදාමත් අම්මා, තාත්තගෙ සතුට ගැන හිතන දෙමවුපියන්ට ළැදි දරුවෙක් කියලා.

රඟපෑමට අක­ැමැතියි

'ඊශ්වර පති 'ටෙලිනාට්‍යයේ තිසුරි මගේ දියණිය විදිහට රඟපෑවා.එතකොට වයස අවුරුදු තුනක් විතර ඇති. දෙමවුපියන්ගේ ගැටලු දරුවන්ට බලපාන අයුරු තමයි එම ටෙලිනාට්‍යයෙන් පෙන්වන්නේ. එම චරිතය දුව රඟපෑවෙ කිසිම ගාණක් නැතිව.ටිකක් ෂූට් කරද්දී මට නිදිමතයි අම්මා කියා කෑ ගසනවා. ඒ වෙලාවට නිෂ්පාදක මඩුල්ලත් අපි දෙන්නටම වි‍වේකයක් දෙනවා. අදටත් ඇය රඟපාන්නෙ කිසිම ආසාවකින් නෙමෙයි. හරිම කම්මැලි කමකින්.වදයක් කියල හිතල. එයාගෙ එම අකැමැත්තෙන් කරන රඟපෑමටයි ප්‍රේක්ෂකයන් කැමැතිවුණේ. මගේ දුව නිසා කියනව නෙමෙයි තිසුරිට තරුණ, වැඩිමහලු, ඕනෑම චරිතයක් දක්ෂ ලෙස රඟ දක්වන්නට හැකියි. ඇත්තටම ඇය වෙනත් ක්ෂේත්‍රයක නියැළෙනවාට වඩා රංගනයට පිවිසීම ගැන මම හරිම සතුටුයි. බොහෝ දෙනකුගේ මතය කලා ලෝකය ගැහැනු ළමයින්ට ඔබින තැනක් නෙමෙයි කියන එක. නමුත් අසංවර කෙනකු කොහේ හිටියත් නම කැත කරගන්නවා. තමන්ගේ ගෞරවය තියාගෙන වැඩ කළොත් එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවන්නේ නෑ. සුසන්තා චන්ද්‍රමාලිව මුළු රටම හඳුනගත්තෙ රංගන ශිල්පිනියක් වු නිසයි. මම වගේම මගේ දියණියත් නිකම්ම සුසන්තාගේ දුව නොවී තිසුරි ලෙස ජනතාව අතරට යන්න වරම් ලැබුණෙ රංගන ශිල්පිනියක් වූ නිසයි. අද බොහෝ පිරිසක් මම තිසුරිගෙ අම්මා ලෙසයි හඳුන්වන්නෙ. ඒ වාසනාව ලැබුණේ ඇය රංගන ශිල්පිනියක් වු නිසයි.

මංගල සීනු හැඬ වෙන්න ළඟයි

දැන් තිසුරිට වයස අවුරුදු විසි හයයි. තව මාස කිහිපයකින් තිසුරි විවාහ වෙන්නයි යන්නේ. ඇය විවාහ වෙන්න සිටින්නේ අපි හොඳින් දන්නා හඳුනන පවුලක පුතෙක් සමග.තිසුරිගෙ තාත්තා මෙන්ම ඔහුත් නැවක සේවය කරනවා. දවසක ඔහු කිව්වොත් තිසුරිට රඟපාන්න එපා කියල ඇය රඟපෑම අතහරීවි. එහෙත් ඒ පුතා දුවව හොඳින් තේරුම්ගෙන සිටින නිසාවෙන් මට විශ්වාසයි ඔහු කවදාවත් එහෙම කියන එකක් නෑ. පුංචි දුකක් තියෙනවා ළඟදීම ඇය අපෙන් වෙන්වන එක ගැන. ඒත් දියණියක් හදන ඕනෑම මවකට කවදා‍ හෝ ඔය යථාර්තයට මුහුණ දෙන්න සිදුවනවා.


මගේ චරිත තෝරා බේරා දෙන්නේ අම්මයි, තාත්තයි

 රංගන ශිල්පිනී තිසුරි යුවනිකා

 සුසන්තාගෙ දුව කියනවාට කැමැතියි

අද කාලෙ නිළියක් වෙන්න කොච්චර පිරිසක් බලාගෙන ඉන්නවද.ඒ වාසනාව මට ලැබුණේ මගේ අම්මා නිසයි. මම අදටත් කැමැති මාව රසිකයන් තිසුරි කියා අමතනවාට වඩා සුසන්තාගෙ දුව ලෙස අමතනවාට. මොකද මගේ අම්මා රංගන ශිල්පිනියක් වුණේ රැකියාවට පමණයි. ඉන් පසුව ඇය සාමාන්‍ය ගැහැනියක වී අපේ යුතුකම් නොපිරිහෙලා ඉටුකළා. අම්මා රඟපෑ කන්දේ ගෙදර දෙක, චරිත තුනක්, සඳගිනිගත් රාත්‍රිය ටෙලි නාට්‍යවලට මම වඩාත් කැමැතියි. කන්දෙගෙදර ටෙලි නාට්‍ය පස් හය වතාවක් බැලුවා.ඒ ඇය මාව කුසේ දරාගෙන රඟපාන අපූරුව බලන්න තියෙන කැමැත්ත නිසා.

දෙවරක් හොඳම නිළිය වුණා

රඟපාන්න කිසියම් ටෙලිනාට්‍යකට හෝ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් මම කරන්නෙ මුලින්ම පිටපත අම්මට හෝ තාත්තට දෙන එක. ඒ දෙන්න තමයි පිටපත බලල තීරණය කරන්නෙ එම චරිතය මම බාරගන්නවද නැද්ද කියන එක. එයාලා එපා කීවොත් මම ප්‍රතික්ෂේප කරනවා. මේ වනතුරු කවදාවත් මට කරන්න බැරි චරිත ලැබිලා නැහැ. එයට හේතුව අධ්‍යක්ෂවරු දන්නවා මම මොනවගේ චරිතද රඟපාන්නේ කියා.ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ තරුණ චරිතවලට වඩා තරමක් වයසින් මුහුකුරා ගිය චරිත. එවැනි චරිතයක් කළ බොරළු පාර ටෙලි නාට්‍යයට හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණා. එසේම සුළඟ මත මොහොතක් ටෙලිනාට්‍යයයේ කළ රංගනය වෙනුවෙනුත් හොඳම නිළිය සම්මානය හිමිවුණා.

කුඩා වයසෙදි හොඳම නිළිය ලෙස වසර දෙකකදී පිට පිට සම්මාන ලැබීම රංගන ජීවිතයේ ලැබුණු විශේෂ ගෞරවයක්.ඒ වගේම 'උඩු ගං යාමය' ටෙලිනාට්‍යයට ජනාධිපති සම්මාන හිමිවුණේ පහ වසරෙදි.මට හැමදාමත් මගේ අම්මා කියා තිබෙන්නේ ‍කරන දේ හරියට කරන්න මේක ලංකාව සම්මාන ලැබුණත් නොලැබුණත් රසිකයන්ගෙන් ලැබෙන සම්මානය වටිනවා කියායි. 

 

Comments