2018 වසරේ ඉන්දි­යාවේ ‍ප්‍රේක්ෂක බලා­පො­රො­ත්තුව | Page 2 | සිළුමිණ

2018 වසරේ ඉන්දි­යාවේ ‍ප්‍රේක්ෂක බලා­පො­රො­ත්තුව

සිනමා රස වින්දනයට සුවපත් ගතක් සිතක් අවශ්‍යය. සිනමාත්මක බසින් ඒ බව අවබෝධකර දීමට බොලිවුඩ් පුරය තරම් සුදුසු අන් පුරවරයක් නැත. එපමණටම ඉන්දියානුවන්ගේ ජීවිත සිනමාව හා බද්ධය. සුපුරුදු මසාලා සිනමාපට අතරට එක්වන වෙනස් මඟක් ගත් සුව පණිවු‍ඩ දෙන සිනමාපට ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නේ මහත් අභිරුචියෙනි. ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ මෑත ඉතිහාසයේ ඊට ඇති හොඳම උදාහරණයයි. 2018 වසරේ එම කර්තව්‍ය ඉටු කරන්නේ ‘පද්මන්’ (PadMan) සිනමා පටයය. ජනවාරි 25 තිරගත වන ‘පද්මන්’ අක්ෂේ කුමාර් ප්‍රධාන චරිතය රඟන සිනමා පටයක් වීම ද විශේෂය. ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ කතාවේ වීරයා වූයේ ද අක්ෂේ කුමාර්ය. මෙවර ඔහු කතා නායකයා වන්නේ කාන්තාවන්ට පමණක් අතිශය පෞද්ගලිකව කාරණයක් මාතෘකා කරගත් සිනමාපටයකටය.

අදටත් ජීවත්වන සැබෑ ඉන්දියානු පුත්‍රයකුගේ ම සමාජ සත්කාරයක් මෙලෙස සෙලියුලොයිඩ් පටයකට සිත්තම්වේ. ඔහු අරුණාචලම් මුරුගනාදම්ය. ඉන්දියාවේ තමිල්නාඩුවේ ජීවත්වන අරුණාචලම් දැන් පනස් හය හැවිරිදි තැනැත්තෙකි. කාන්තාවන්ට බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන අපිරිසුදු සනීපාරක්ෂක තුවාවලට ඔහු කුඩා යන්ත්‍රයක් නිපදවා අපූරු විසඳුමක් ලබා දුන්නේය. වෙළෙඳ පොළේ ඇති සනීපාරක්ෂක තුවාවලට වඩා තුන් ගුණයක් අඩු මිල තුවා ඔහු විසින් නිෂ්පාදනය කෙ‍රිණි. දැන් ඔහු ලොව පුරාම තම නිෂ්පාදන අලෙවි කිරීමට සූදානමින්ය. 2014 ටයිම් සඟරාව මඟින් ලොවට වඩාත් බලපෑම් කළ හැකි පුද්ගලයන් සිය දෙනා අතරට ඔහුද නම් කර තිබිණි. කාන්තාවන්ගේ සුව සේවාව නංවාලීමට ඔහු ගත් උත්සාහයේදී බිරිය ඇතුළු පවුලේ සහායවත් ඔහුට ලැබුණේ නැත. එහෙත් කාන්තාවන් වෙනුවෙන් ඔහු ගත් උත්සාහය අත් නොහැරියේය. මුරුගනාදම් වෙනුවෙන් ‘මෙන්ස්ටෘවල් මෑන්’ නමින් සම්මානනීය වාර්තා වැඩසටහනක් නිපදවිණි. පද්මන් ඔහු ජීවතුන් අතර ‍සිටියදීම නිපදවෙන සිනමා පටයයි.

අක්ෂේ කුමාර් රඟන සිනමා පටයට මුල පිරෙන්නේ නිළි බිරිය ට්වින්කල් ඛන්නා අරුණාචලම් මුරුගනාදම්ගේ සනීපාරක්ෂක තුවා කතාව පසුබිම්කරගෙන ලියූ ‘ද ලෙජන්ඩ් ඔෆ් ලක්ෂ්මී ප්‍රසාද්’ කෘතිය නිසාය. ඇය තීරු ලිපිය ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ කොලමකට යොමු කරන ලද්දක් ඇසුරින් කෘතිය සම්පාදනය කර ඇත.

ට්වින්කල් හුදී ජන හිත සුව පිණිස මුරුගනාදම්ගේ වෘත්තීය අරගලය සිනමාවට ගෙන ඒමේ සටනක නිරත වූවාය. ඒ ගැහැනුන්ට පමණක් නොව පිරිමින්ට ද සේවයක් වනු පිණිසය. අවසන ඇය නිෂ්පාදිකාවක ද වූවාය. ආර්. බල්කි ට්වින්කල් විසින් අධ්‍යක්ෂවරයා ලෙස තෝරා ගන්නා ලදී. සිනමා පටය බෙදා හැරීමේ වගකීම සෝනි පික්චර්ස් විසින් බා‍ර ගෙන ඇත.

‘ඉන්දියාවේ ඔසප් මිනිසා’ ලෙස හඳුන්වන අරුණාචලම්ගේ චරිතයට ට්වින්කල් මුලින් තෝරා ගත්තේ තම සැමියා අක්ෂේ කුමාර්ව නොවෙයි. ඒ සඳහා ඇයගේ සිතේ මැවුණු තරු කිහිපයක් විය. එහෙත් අරුණාචලම්ගේ බලපෑමෙන් අ‍ක්ෂේව තෝරා ගැනිණි.

2017 මාර්තු මාසයේදී සිනමා පටයේ නිෂ්පාදන කටයුතු ඇරැඹිණි. සිනමා පටය රූගත කිරීමේ සෑම අවස්ථාවකටම අක්ෂේ කුමාර් සමඟ අරුණාචලම් ද සම්බන්ධ විය. ඒ නිසා අක්ෂේගෙන් ඔහුගේ ඉරියව් පවා විද්‍යමා‍නවේ. පද්මන් නිව්යෝර්ක් නුවර බෘක්ලින් පාලම, ටයිම්ස් ස්කුවෙයාර්, ලින්කන් මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය යන ස්ථානවලදී ද රූගත කර ඇත. ‘හාෆ් ගර්ල් ‍ෆ්‍රෙන්ඩ්’ ට පසු එම ස්ථානවල බොලිවුඩ් සිනමාපටයක් රූගත කෙරුණේ දෙවැනි වරටය. මෙය ජනතාවට වටිනා පණිවුඩයක් රැගෙන යන නිසා ඉන්දියාවේ ජනරජ දිනය යෙදී ඇති ජනවාරි 26 ට පෙර දින තිරගත වෙයි.

‘පද්මන්’ පළමු ට්‍රේලරය නිකුත් කෙරුණේ 2017 දෙසැම්බර් 15 වැනි දිනය. අක්ෂේ ලක්ෂ්මීකාන්ත් චෞහාන් ලෙස රංගනයේ යෙදෙන, සිනමා පටයේ ට්‍රේලරයත් සමඟ ඇමෙරිකාවට ‘ස්පයිඩර් මෑන්’, ‘බැට් මෑන්’ මෙන් ඉන්දියාවේ සුපිරි වීරයකු බවට ඔහු ද පත්විය. සිනමා පටයේ බිරිය ගයත්‍රී ලෙස රඟන්නේ රාධිකා ආෂ්තේය. ලක්ෂ්මීකාන්ත්ගේ උත්සාහයට අත්තටු දෙන්නේ එනම් එම උත්සාහය මල් පල ගැන්වීමට දායක වන්නේ රියා කපූර්ය. රියා කපූර් චරිතය සෝනම් කපූර් විසින් රඟන්නීය.

තවමත් ඉන්දියාවේ කාන්තාවන්ට තම ස්වාභාවික සංසිද්ධිය සිදුවන දිනයන්හි මුළුතැන්ගෙයට, කෝවිලට යාමට අවසර නැත. එවන් සමාජයකට ‘පද්මන්’ පරමාදර්ශයකි. එමෙන් ම පරිසර හිතකාමී තුවා නිපදවන්නෙක් නිසා සමාජයට ද සේවයක් සිදුවේ. සාමාන්‍යයෙන් ‘ඒ’ කාණ්ඩයේ නළුවන් සමහර පණිවුඩ ගෙනෙන සිනමා පටවල රඟන්නේ අඩුවෙනි. එහෙත් අක්ෂේ එම සම්ප්‍රදායට එරෙහිව උඩුගං බලා යන නළුවෙකි.

ආර්. බල්කි අධ්‍යක්ෂවරයා ජීවිත කතාවක් සිනමාවට නැඟීමට සිතූ අ‍යකු නොවේ. එහෙත් අරුණාචලම් මුරුගනාදම්ගේ කතාව ඔහුගේ සිත් ගත්තේය. ‘චීනි කුම්’, ‘පා’, ‘ෂම්තාබ්’, ‘කි ඇන් කා’ වැනි සමාජීය තේමාවන් රැගත් සිනමාපට ප්‍රේක්ෂකයන්ට සංවේදීව ග්‍රහණය කළ හැකිසේ නිපදවීමට ඔහු රුසියකි.

සිනමා පටයේ ගීත පහක් අඩංගුය. අරිජිත් සිං, මිකා සිං, අමිත් ත්‍රිවේදි, මෝහිති චෞහාන්, යෂිතා ෂර්මා, ජොනිතා ගාන්ධි, යෂිකා සික්කා, රාණි කෞවර් සිය ගීතවත් හඬවල් ‘පද්මන්’ සිනමා පටයට මුසුවී ඇත.

ට්වින්කල් පළමු සිනමා නිෂ්පාදනය වන ‘පද්මන්’ ගැන මහත් බලාපොරොත්තු දල්වා සිටින්නීය. අක්ෂේ නිසා දැන් එය පවුලේ සිනමා පටයක් ද වී අවසන්ය. එනිසාම ඇයට සොළොස් හැවිරිදි පුතුට කාන්තාවන්ගේ ස්වාභාවික සංසිද්ධිය ගැන දැනුවත් කිරීමට ද සිදුවී තිබේ.

‘පද්මන්’ සිනමා පටය සම්බන්ධව ඇති තිරගත කරන දිනය ඇතුළත් පුවත ද රසවත්ය. කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ දින වෙනස් වෙනවා මෙන්ම පද්මන් ප්‍රදර්ශන දිනය ද ජනවාරි 25 විය හැකි බව ට්වින්කල් ට්විටර් වෙබ් අඩවියේ ලියා තිබිණි. මුලින් දක්වා තිබුණු දිනය ජනවාරි 26 ය.

පද්මන් හි මෙගා නළු අමිතාබ් බච්චන් ද සිනමා පටයේ කෙටි ජවනිකාවකට පෙනී සිටියි. සංගීතය අමිත් ත්‍රිවේදිගේ ය. පද්මන් 2018 වස‍ෙර් ප්‍රේක්ෂක බලාපොරොත්තුවකි. 

 

Comments