දශක සතක සිංහල භාෂාවේ මඟ සලකුණු | සිළුමිණ

දශක සතක සිංහල භාෂාවේ මඟ සලකුණු

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබූ දකුණු ආසියාතික හා අප්‍රිකානු රටවල් ගණනාවකට පොදු වූ වැදගත් ප්‍රශ්නයක් වූයේ එතෙක් භාවිත වූ ඉංග්‍රීසි වෙනුවට කවර ස්වභාෂාවක් ජාතික රාජ්‍ය භාෂා තත්ත්වයට පත් කරගත යුතු ද යන්න යි. 1948දී ලංකාවට දේශපාලන ස්වාධීනත්වය ලැබීමෙන් පසු 1950 දශකය තුළ පැනනැඟුණු රාජ්‍ය භාෂා ප්‍රශ්නය ඒ අවධියේ ලංකා දේශපාලනයේ පමණක් නො ව, සමාජ සංස්කෘතික ජිවිතයේ ද ප්‍රධාන මාතෘකාවක් විය. මේ අනුව නිදහස් ලංකාවේ ඇති වූ මුල් ම සමාජ දේශපාලනික ගැටලුව භාෂාව පිළිබඳ ප්‍රශ්නයකි. 1930–40 දශකවල ඇරඹුණු ස්වභාෂා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස නිදහස ලැබීමට වසර හතරකට පෙර -එනම්: 1944 දී- රාජ්‍ය මන්ත්‍රණ සභාව සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා බවට පත් කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබූ අතර, ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර සොයා-බලා වාර්තා කිරීමට රාජ්‍ය භාෂා තේරීම් කාරක සභාවක් ද පත් කර තිබිණි. 1946දී පළ වූ ඒ වාර්තාව මඟින් රාජ්‍ය භාෂාවක් ලෙස සිංහල භාෂාව සැලසුම් කිරීමට අදාළ යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවක් සහ ජාතික භාෂා කොමිෂන් සභාවක් පිහිටුවීමේ වැදගත්කම ද එහි දැක්විණි.

පනහ දශකය සිංහල භාෂා විෂයයෙහි සෑම අංශයකින් ම වැදගත් වූ කාලපරිච්ඡේදයක් විය. දේශපාලනික වශයෙන් සිංහල භාෂාව මූලික කරගත් රාජ්‍ය භාෂා සටනක් ආරම්භ වී තිබිණි. අනෙක් අතට ස්වභාෂාව උගත් පිරිස් සිංහල භාෂාව ස්වකීය ප්‍රකාශන මාධ්‍යය වශයෙන් භාවිත කරන්නට වූහ. සිංහල රාජ්‍ය භාෂාවක් වශයෙන් භාවිත කිරීම සඳහා සොයා බැලීමට 1951දී ආතර් විජේවර්ධනයන්ගේ සභාපතිත්වයෙන් රාජ්‍ය කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර, රජයේ පාලන කටයුතු ඉංග්‍රීසියෙන් ස්වභාෂාවන්ට සංක්‍රමණය වීමේදී සලකා බැලිය යුතු භාෂා සැලසුම්කරණ කටයුතු රැසක් ඒ කොමිෂන් සභා වාර්තාවල අඩංගු විය. රාජ්‍ය මට්ටමේ භාෂා සැලසුම් කටයුතු සිදු කිරීම සඳහා 1955දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවක් ද පිහිටුවනු ලැබිණි. මේ අනුව සිංහල භාෂා විෂයයෙහි ඉස්මතුව පැවති භාෂානුරාගි හැඟීම් 1956 මහ මැතිවරණය වන විට දේශපාලනිකකරණය වී තිබිණි ඒ භාෂානුරාගයේ දේශපාලනය පනස් හයේ මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් විය (විස්තර සඳහා මේ රචකයා විසින් සම්පාදිත ‘භාෂානුරාගයේ දේශපාලනය’ පොත බලන්න). ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගේ ප්‍රථම ව්‍යවස්ථාදායක කටයුත්ත වූයේ 1956 ජූනි 15 වන දා 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීම යි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස සැලසුම් කිරීම මෙන් ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම පැවරුණේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට ය.

සිංහල භාෂාවේ භාවිතය හා ව්‍යවහාරය පිළිබඳ වෙනස්කම් සිදු වන්නට වූයේ රාජ්‍ය භාෂාවක් ලෙස සිංහලය සම්මත වීමෙන් පසු ය. භාෂා සැලසුම්කරණ වැඩසටහන් රැසක ප්‍රතිඵල සිංහල භාෂා විෂයයෙහි බලපෑම් ඇති කළ අවධියක් ලෙස 1956න් පසු එළැඹුණු සමය දැක්විය හැකි ය. රාජ්‍ය භාෂාවක් වශයෙන් සිංහල භාෂාවේ තත්ත්වය 1956දී නීතිගත වීමත් සමග නූතන භාෂාවක කාර්යය ඉටු කිරීමේ වගකීම ද සිංහල භාෂාවට පැවරිණි. මේ නිසා සිංහල භාෂාවේ මුහුණුවර ද වෙනස් වන්නට විය. භාෂා සැලසුම්කරණය හා සංවර්ධනය හේතු කොට ගෙන භාෂා ව්‍යවහාරයේ පරිණාමය වඩාත් ශීඝ්‍ර ලෙස සිදු වූ අවධියක් ලෙස 1950–60 දශක දැක්විය හැකි ය. නූතන ඥාන සම්භාරය දැරීමට සුදුසු කාර්යක්ෂම මාධ්‍යයක් වශයෙන් සිංහල භාෂාව සැලසුම් කිරීමේ ප්‍රයත්නය නිසා සිදු වූ භාෂා සංවර්ධනය සිංහල භාෂාවේ නූතන ස්වරූපය සකස් වීම කෙරෙහි බෙහෙවින් බලපෑවේ ය. එමෙන් ම ව්‍යාකරණ රීති හා ව්‍යවහාරය පිළිබඳ සම්මුති ඇති කරගැනීම සඳහා ඇතැම් පිරිස් ප්‍රයත්න දැරූ හ.

භාෂා සැලසුම්කරණ වැඩසටහන් රැසක ප්‍රතිඵල සිංහල භාෂා විෂයයෙහි බලපෑම් ඇති කළ අවධියක් ලෙස 1956න් පසු එළැඹුණු සමය දැක්විය හැකි ය. සිංහලය රාජ්‍ය භාෂාවක් වශයෙන් සම්මත වීමෙන් පසු කාර්යාලයීය සන්නිවේදන කටයුතු සඳහා සිංහල භාෂාව යොදාගැනීමට අවශ්‍ය වන පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය කාරණයක් විය. සිංහල යතුරුලියනයක් මෙන් ම ලඝුලේඛන ක්‍රමයක් නිපදවාගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ ය. සිංහල යතුරුලියනය සඳහා සම්මත යතුරුපුවරුවක් සකසාගැනීම සඳහා භාෂා සැලසුම්කරුවන්ගේ මෙන් ම රජයේ ද අවධානය යොමු වූයේ 1960 ගණන්වලදී ය. පනහ දශකයේ පමණ සිට සිංහල භාෂා සැලසුම් කටයුතුවලට සම්බන්ධ ව සිටි ආචාර්ය නන්දදේව විජේසේකර 1961දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පදවියට පත් වීම නිසා රජයේ භාෂා සැලසුම් කටයුතු විවිධ අංශ ඔස්සේ ක්‍රියාත්මක වන්නට විය.

රාජ්‍ය භාෂාවක් වශයෙන් පමණක් නො ව, අධ්‍යාපන මාධ්‍යයක් වශයෙන් ද සිංහල භාෂාව භාවිත කිරීමට සුදුසු ලෙස සිංහල වාක්කෝෂය සංවර්ධනය සඳහා විවිධ විෂයයන්ට අයත් පාරිභාෂික පද අවශ්‍ය වන්නට විය. රාජ්‍ය මට්ටමින් පාරිභාෂික පද සාධනය ආරම්භ වූයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මූලිකත්වය යටතේ පිහිටුවන ලද පාරිභාෂික ශබ්දමාලා කමිටු මාර්ගයෙනි. අධ්‍යාපනික හා පරිපාලන අවශ්‍යතා සඳහා සුදුසු සිංහල වචන සපයාගැනීමට මේ ශබ්දමාලා කමිටු ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හෙළ හවුල වැනි භාෂා සංවිධානවල දෝෂ දර්ශනයට ලක් විය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඉහත දැක්වූ පරිදි පාරිභාෂික පදසාධනයේදී සංස්කෘත මූලයක් සහිත පද නිපදවාගැනීමට ශබ්දමාලා සම්පාදකයන් දැක්වූ නැඹුරුව යි. වාක්කෝෂය සංස්කෘතකරණය වෙත නැඹුරු වීම වඩාත් සිදු වූයේ 1955-65 කාලය තුළ පාරිභාෂික පද ලේඛන ව්‍යවහාරයට එක් වීම නිසා ය. මේ කාලය තුළ විවිධ විෂයයන්ට අයත් පාරිභාෂික ශබ්දමාලා රාශියක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ප්‍රකාශයට පත් විය.

සිංහල භාෂාවේ භාවිතය හා ව්‍යවහාරය පිළිබඳ වෙනස්කම් සිදු වන්නට වූයේ රාජ්‍ය භාෂාවක් ලෙස සිංහලය සම්මත වීමෙන් පසු ය. නව අවශ්‍යතා සඳහා සුදුසු පරිදි සිංහල භාෂාව වුවමනාවෙන් ම වෙනස් කිරීමට ලේඛකයන් දැරූ ප්‍රයත්නය මෙකල දැකිය හැකි විය. විශේෂයෙන් ම සිංහල භාෂාවේ පවත්නා ඇතැම් ඌනතා මඟහරවාගැනීම සඳහා ලේඛකයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා භාෂා විෂයයක වාද-විවාදවලට හේතු විය. ඊට දැක්විය හැකි හොඳ ම නිදසුන වන්නේ සිංහල යතුරුපුවරුව පිළිබඳ සම්මතයක් ඇති කිරීෙම් ප්‍රතිඵලයක් වශයෙන් සිංහල අක්ෂර මාලාවේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා ය. ලේඛන ව්‍යවහාරයේ ප්‍රායෝගිකත්වය හා කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා අක්ෂර වින්‍යාසය සරල කිරීම, සිංහල හෝඩියේ ඇතැම් අකුරු ඉවත් කිරීම හා පිලි සමරූපිකරණය වැනි යෝජනා1960-70 දශකවල දී භාෂාවේදීන්ගේ සාකච්ඡාවට ලක් වී ඇත.

සිංහල භාෂාව ද කාලෝචිත ලෙස සකස් කරගැනීමට උගතුන් ඉදිරිපත් කළ යෝජනාවල වැදගත් අංගයක් වූයේ සිංහල ලේඛන ව්‍යාකරණයේ ඇතැම් නීති-රීති බැහැර කිරීම පිළිබඳ දැක්වූ අදහස් ය. මෙලෙස භාෂාවේ ලේඛන ව්‍යවහාරයට අදාළ වූ විවිධ සැලසුම්කරණ යෝජනා ඉදිරිපත් වීම නිසා ලේඛන ව්‍යකරණය කාලීන අවශ්‍යතා අනුව වෙනස් කිරීම මෙන් මල අක්ෂර වින්‍යාසය, පද බෙදීම වැනි කරුණු සම්බන්ධයෙන් සම්මත ක්‍රමයක් ඇති කරගැනීමට ද රජයේ හා විද්වතුන්ගේ අවධානය යොමු වන්නට විය.

සිංහල භාෂාවේ ප්‍රායෝගික භාවිතයට මෙන් ම රාජ්‍ය භාෂාවක් වශයෙන් සිංහලය රජයේ කටයුතුවලට යොදාගැනීමේදී අත්‍යවශ්‍ය වන පොත්පත් සම්පාදනය වීම 1950- 60 වකවානුව තුළ දැකගත හැකි විය. සිංහලයේ අක්ෂර වින්‍යාසය, පද බෙදීම වැනි කරුණු සම්බන්ධයෙන් බොහෝ කරුණු මේ අවධිය වන විට හෙළි-පෙහෙළි වී තුබූ නමුදු, ඒ භාෂාඥානය ලේඛකයන්ගේ හා ආධුනිකයන්ගේ ප්‍රයෝජනය සඳහා සුදුසු වන පරිදි පත්-පොත් මාර්ගයෙන් ප්‍රචාරයට පත් ව නොතිබිණි. එබැවින් භාෂාවේ ප්‍රායෝගික භාවිතයට අදාළ වන්නා වූ භාෂා අත්පොත්, සම්මත රීති මාලා ආදිය සුලබ කිරීමේ අවශ්‍යතාව මතු විය. 1958දී පද බෙදීම පිළිබඳ පොදු නීති මාලාවක් සකස් කිරීම පිණිස සාහිත්‍ය උපදේශක සභාව විසින් කමිටුවක් පත් කෙරිණි.

සිංහල භාෂාවේ ස්වරූපය සැලසුම් කිරීම සඳහා ද රජය මැදිහත් වීම හැටේ දශකයේදී දක්නට ලැබුණු අතර, එහි වැදගත් අවස්ථාවක් වූයේ 1968-69 කාලයේ සම්මත සිංහලයක් ඇති කිරීම සඳහා එවකට සිටි අධ්‍යාපන - සංස්කෘතික අමාත්‍ය අයි එම් ආර් ඒ ඊරියගොල්ල ගත් තීරණය යි. පාසල් පොත් ලිවීමේදීත් පාසලේ කෙරෙන ඉගැන්වීමේදීත්, රජයේ ලියකියවිලි සැකසීමේදීත් පිළිපැදිය යුතු මූලික භාෂා රීති මාලාවක් ඒ සඳහා සුදුසුකම් ඇති වියතුන් පිරිසක් ලවා පිළියෙල කරවීමට අමාත්‍යවරයා ඉදිරිපත් වූ අතර, එම සම්මත සිංහල කමිටුවේ වාර්තාව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වශයෙන් 1968 අවසානයේ 'සම්මත සිංහලය' නමින් පළ විය. මේ වාර්තාවට විරුද්ධව ප්‍රබල උද්ඝෝෂණයක් පැනනැඟුණු අතර, සමකාලීන භාෂා ව්‍යවහාරය නොසලකා පැරණි ව්‍යවහාරයන් නැවත තහවුරු කිරීමට දැරූ ප්‍රයත්නයක් ලෙස එය හඳුන්වනු ලැබිණි.

රාජ්‍ය මට්ටමින් සිංහල භාෂා විෂයයක ඇති වෙමින් පැවති මේ වෙනස්කම්වලට සමගාමිව භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ ද නව ප්‍රවණතා පනහ දශකය අවසානය පමණ වන විට ඇති විය. 1952දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පදවියට මහාචාර්ය ඩී ඊ හෙට්ටිආරච්චි පත් වීම මෙරට සිංහල භාෂා අධ්‍යයන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි ය. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මුල් වරට නූතන වාග්විද්‍යාව විෂයයක් වශයෙන් ඉගැන්වීම ආරම්භ වූයේ ද 1950 දශකය අවසානයේ පමණ ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේදී වාග්විද්‍යාව හදාරා පැමිණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ ආචාර්ය ම ව සුගතපාල ද සිල්වා, නූතන වාග්විද්‍යාව ඉගැන්වීම නිසා සිංහල භාෂා අධ්‍යානයේ ද නව විමර්ශන මාර්ගයක් බිහි විය. ඔහුගෙන් නූතන වාග්විද්‍යාව උගත් උපාධි අපේක්ෂකයෝ කීප දෙනෙක් පසු කලෙකදී මෙරට නුතන වාග්විද්‍යා විෂයයේ පෝෂණය සඳහා ශාස්ත්‍රීය දායකත්වයක් සැපයූහ. ඔවුනතුරින් ජේ බී දිසානයක, කේ එන් ඕ ධර්මදාස, පී බී මීගස්කුඹුර, ඩබ්ලිව් එස් කරුණාතිලක ආදි විශ්වවිද්‍යාල ආචාර්යවරු වඩාත් කැපී පෙනෙති.

1960 දශකයේ අවසානය පමණ වන විට සිංහල භාෂාධ්‍යයන ක්ෂේත්‍රයේ වෙනස් මත දරන ගුරුකුල ත්‍රිත්වයක් දැකගත හැකි විය. එනම්: පිරිවෙන්, විශ්වවිද්‍යාල හා හෙළ හවුල යනුවෙනි. එකල සිංහල භාෂා විෂයයෙහි විවිධ මතවාද හා වාද-විවාද බහුල වූ සමයකි. කෙසේ වුව ද 1969දී ජේ බී දිසානායකයන්ගේ ප්‍රමුඛත්වයෙන් ලංකාවේ විශ්වවිද්‍යාලයක ප්‍රථම වාග්විද්‍යා අධ්‍යයනාංශය කොළඹ පිහිටුවනු ලැබීම මෙරට සිංහල භාෂා අධ්‍යයන කටයුතුවල සන්ධිස්ථානයක් සලකුණු කළ සිද්ධියක් විය.

සම්මත සිංහලයෙන් පසු භාෂා විෂයයක ඇති වූ වාද-විවාද කිසියම් ප්‍රමාණයකින් සමථයකට පත් වූ ආකාරයක් දක්නට ලැබුණ ද පාසල් පොත් ලිවීම, රජයේ කටයුතු ආදිය සඳහා යොදාගත යුතු බස පිළිබඳ සාකච්ඡා ඇති විය. ග්‍රන්ථ භාෂාව පමණක් නො ව, පොදු ජන බස ද එක සේ විමසා සරල සිංහල වියරණයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව 1970දී මාර්ටින් වික්‍රමසිංහ පෙන්නා දුන්නේ ය. එමෙන් ම නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ ජේ බී දිසානායකයන් හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ සිට සිංහල ජනවහර අධ්‍යයනය කිරීමට ගත් ප්‍රයත්නය ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

හැටේ දශකය ආරම්භයේ භාෂා විෂයයක වඩාත් පොදුජන හිතවාදි ආකල්ප පැතිර යෑමක් දක්නට ලැබිණි. ව්‍යවහාර භාෂාව අනුව ලේඛන සිංහලය සකස් කළ යුතු ය, යන අදහස මේ කාලයේ වඩාත් ඉස්මතු වූයේ සිරි ගුනසිංහයන්ගේ හෙවනැල්ල (1960) නවකථාව ප්‍රකාශයට පත් වීමත් සමඟ ය. භාෂණ රීතිය ලේඛනයට යොදාගත් ගුනසිංහ ලේඛන රීතියේ න-ණ-ල-ළ භේදය, ශ-ෂ-ස භේදය, මහාප්‍රාණ භාවිතය සම්බන්ධයෙන් පැවති සම්මත රීති පිළිපැදීමට උනන්දු නො වී ය. කතා කරන බසෙහි වියරණය ලේඛනයට යොදාගැනීම සම්බන්ධයෙන් සිරි ගුනසිංහ මහතා දැක්වූ අදහස් 1980 දශකයේ පමණ සිට වඩාත් පුළුල් පාඨක පිරිසක් අතරට ගෙන ගියේ කෙටිකතාකරුවකු ලෙස නමක් දිනා සිටි අජිත් තිලකසේන ය.

1987–89 කාලය තුළ රට තුළ පැවති නොසන්සුන් තත්ත්වය භාෂා විෂයයක කටයුතු සම්බන්ධයෙන්ද බලපෑම් ඇති කළ නමුදු, 1989දී මහරගම ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ‘සිංහල ලේඛන රීතිය’ නමින් සිංහල ලේඛන ව්‍යවහාරය අරබයා රීති සංග්‍රහයක් විද්වත් මණ්ඩලයක සම්මතය ඇති ව ප්‍රකාශයට පත් වීම විශේෂ සිද්ධියක් විය. 1990 දශකය පමණ වන විට සිංහල භාෂා විෂයයක මතවාද හා වාද-විවාද ආදිය නැවත වරක් ඉස්මතු වූයේ නූතන සිංහලය අරබයා නව ව්‍යාකරණයක් ලිවීමේ අවශ්‍යතාව මහාචාර්ය ජේ බී දිසානායක අවධාරණය කිරීමත් සමඟ ය. වර්ෂ 2000දී ඔහු විසින් ලිවීම ආරම්භ කළි ‘බසක මහිම’ ව්‍යාකරණ පොත් පෙළ හා 2013 වසරේ සිට පළ වූ ‘සිංහල රීතිය’ පොත්පෙළ වාග් විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් සිංහල භාෂාව අරබයා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීමට දැරූ ප්‍රයත්න ලෙස සැලකිය හැකි ය. කුමාරතුංග මුනිදාසයන් විසින් ඇරඹි හෙළ හවුල සංවිධානය 1991දී එහි පනස් වසර සපිරූ අතර, ඒ අවධිය වන සිංහල භාෂා විෂයයක ගැටලුවලදී හෙළ හවුල දැක්වූ මැදිහත් වීම අවම මට්ටමක පවතිණි. දශක අටක පමණ කාලයක සිට සිදු කරගෙන පැමිණි රාජ්‍ය අංශයේ භාෂා සැලසුම්කරණ ව්‍යාපෘතියක් වූ සිංහල ශබ්දකෝෂයේ කටයුතු මහාචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගලයන්ගේ ප්‍රධාන කර්තෘත්වය යටතේ 1992දී නිමාවට පත් විය.

පසුගිය වසර කීපය තුළ සිංහල භාෂාව සැලසුම් කිරීමේදී විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත්‍රයක් වූයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) සමඟ බැඳුණු භාෂා විෂයයක ගැටලු ය. 90 දශකය අග පමණ සිට පරිගණක කටයුතු සඳහා සිංහල භාෂාව යොදාගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ අතර, 1997දී සිංහල හෝඩිය සඳහා යුනිකෝඩ් ප්‍රමිතිය ලබාගැනීමට ද හැකි විය. පරිගණක යතුරුපුවරුවල අකුරු මෝස්තර ආදි ගැටලු පමණක් නො ව, අකුරු පිරික්සන (spell checker) ආදිය සිංහල භාෂාව සඳහා නිර්මාණය කරගැනීමේ වැදගත්කම ඉස්මතු විය. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප්‍රතිලාභ අත්පත් කරගැනීම සඳහා සිංහල භාෂාව ඊට ගැළපෙන පරිදි සැලසුම් කළ යුතු ය, යන අදහස වඩාත් පැනනැඟුණේ පරිගණක තාක්ෂණවේදීන්ගෙනි. පරිගණක ආධාරයෙන් සිංහලයේ අක්ෂර වින්‍යාසය නිවැරදි කරගැනීම, පද බෙදාගැනීම, ව්‍යාකරණය නිරාකරණය කරගැනීම වැනි කටයුතු තව ම සිදු නො වෙයි. පරිගණක හා ඩිජිටල් තාක්ෂණයේ අවශ්‍යතා අනුව සිංහල භාෂාව යොදාගැනීමේ මෙන් ම සිංහල භාෂාවේ සම්මත ව්‍යාකරණ රීති කාලීනව වෙනස් කරගැනීමේ යෝජනා ද 21 වන සියවස ආරම්භයේ සිට ම සාකච්ඡාවට ලක් වෙමින් පවතී.

Comments