ආදරවන්තයෝ ටෙලි සිතුවමේ මදාරා ගුණසිංහ | Page 2 | සිළුමිණ

ආදරවන්තයෝ ටෙලි සිතුවමේ මදාරා ගුණසිංහ

ඇය මදාරා ගුණසිංහ. මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන ආදරවන්තයෝ ටෙලි සිතුවම ඔස්සේ ඇය ඔබට හමුවනවා. මේ මදාරා රඟපෑ පළමු චරිතයයි. ගුවන් හමුදාවේ සේවය කරන ගමන් තමයි ඇය රංගන කටයුතුවල යෙදෙන්නේ. 'මගේ ගම මාතලේ. ඉගෙන ගත්තේ රත්නපුර ජේසු බිලින්දාගේ කන්‍යාරාමයෙන්. කලාවට හිත ගියත් සබඳකම් නැති නිසා කලා ලොවට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔය අතරේ මං රැකියාවකට යනවා. නමුත් කලාවට ඇති ඇල්ම මඳකුදු අඩු වුණේ නැහැ. හදිසියේම මට අවුරුදු කුමාරි තරගයකට යන්න සිදු වෙනවා. එහිදී මට අන්තිම තරගකරුවන් අතරට එන්න පුළුවන් වුණා. එතනට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ඇවිත් ඉඳලා තියෙනවා. ඒ මහේන්ද්‍ර කුලසිංහ. තරුමලී, ඉටි මල් වගේ නාට්‍ය කළේ එයා. ඔහු මගේ රුව දැකලා රඟපාන්න කැමැති ද කියලා ඇහැව්වා. මං එක පයින් කැමැති වුණා. මහේන්ද්‍ර අයියා මට ඔහුගේ ආදරවන්තයෝ නාට්‍යයට කතා කළා. එහි අමාවි චරිතය මට ලබා දුන්නේ ඔහු. අමාවි කියන්නේ ගුරුවරියක්. ඒක මං ආසාවෙන් කරපු චරිතයක්. මේ වන විට මට හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වන විට මට මියුසික් වීඩියෝ කිහිපයකට රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ නාට්‍යයෙන් පස්සේ මට ගිම්හානයේ සඳ නමැති නාට්‍යකටත් කතා කළා. මං එහි ප්‍රධාන චරිතයක් රඟපානවා. ගුවන් හමුදාවේ සේවය කරන නිසා රංගනයට නිවාඩු එහෙම ලැබෙනවා අඩුයි. සෙනසුරාදා, ඉරිදා තමයි රඟපෑමේ කටයුතුවල යෙදෙන්නේ. මේ වෙලාවේ එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහත්මයාව මතක් කළ යුතුමයි. විවිධ චරිත හරහා දක්ෂ රංගන ශිල්පිනියක හැටියට ක්ෂේත්‍රයේ නමක් දිනා ගන්නයි මට ඕනෑ.'

සටහන - ප්‍රසාද් සේයාරූ - නිශ්ශංක විජේරත්න


සෙනිති දිසාරා ගේ කළ එළි මංගල්‍යය දා....

මහරගම රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනිති දිසාරා හත්නාගොඩ, භරත නාට්‍ය අරංගේත්‍රම් කල එළි මංගල්‍යය පසුගියදා බිෂොස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. ආලෝකා කුඹුකගේ ගුරු මෑණියන්ගේ මඟපෙන්වීම යටතේ භරත නාට්‍යම් හදාරන සෙනිති, නැසීගිය අශෝක හත්නාගොඩ මහතාගේ සහ තරංගා හත්නාගොඩ මහත්මියගේ එකම දියණිය වේ.

සාම්ප්‍රදායිකව පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව කොළඹ ශ්‍රී තෛලේෂ්වරම් කෝවිලේ ගරු රාධ ක්‍රිෂ්ණා ෂර්මා ස්වාමි විසින් නටරාජා පූජාව පවත්වන ලදි. ගණපති ස්තූතියෙන් පසු පුෂ්පාංජලි නර්තනයෙන් තම නර්තනය ආරම්භ කළ සෙනිති මංගලම් නර්තනයෙන් අරංගේත්‍රම් අවසන් කළේ දක්ෂ පළපුරුදු නැටුම් ශිල්පිනියකගේ ප්‍රතිභාව විදහා දක්වමිනි.

මෙහිදී මියුරු කර්ණාඨක සංගීතයේ මෘදංගම් වාදනය රවී අචුතන් ද, වයලීන වාදනය එස් තිබාකරන් ද, ගායනය කලාජෝති ශ්‍රීමතී වනජා සිරිවන්ස ද දායක වූ අතර පෙරදිග සංගීතය මුසුකලේ මහින්ද බණ්ඩාර ප්‍රමුඛ පෙරදිග වාද්‍ය වෘන්දයයි.

ප්‍රධාන ආරාධිතයන් ලෙස නිළි රැජිණ මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහත්ම මහත්මීන් සහභාගි වී සිටී අතර රෝයල් ඉන්ස්ටිටියුට් විදුහලේ විදුහල්පතිනිය, සහකාර විදුහල්පතිවරු, ගුරුවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

දක්ෂ උඩරට නැටුම් ශිල්පිනියක් වන සෙනිති ගායනය, වාදනය හා චිත්‍ර කලාවටද එකසේ දස්කම් දක්වයි. එසේම පිහිනුම්, දැල්පන්දු, හා පැසි පන්දු ක්‍රීඩාවට ද දස්කම් දක්වන ඇය පාසල් ක්‍රීඩා පිටියේ ද කැපී පෙනෙන ශිෂ්‍යාවකි.


ළිහිණි පූජාපිටියගේ වැලි කුණාටුව ළඟදීම

රංගන ශිල්පිනියක හා ගායිකාවක වන ආශාලිහිනි පූජාපිටිය රචනාකොට නිෂ්පාදනය කරනු ලබන වැලි කුණාටුව වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදු කෙරේ.

අඟහිගකම්වලින් අනූන ධීවර ජනතාවගේ අසීමිත බලාපොරොත්තු ජයග්‍රහණය කරගැනීම උදෙසා ඔවුන් දරන තැතත් ඒ සඳහා ගන්නා නිම්නැති උත්සාහයත් පිළිබඳව කතාබහක යෙදෙන වැලි කුණාටුව වේදිකා නාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පීන්වන උදය කුමාරි රණසිංහ, තුෂානි නදීශා පෙරේරා, සුරාජ් හර්ෂණ, දසුන් චාමර, ශංක ප්‍රනාන්දු, බුද්ධික එදිරිසිංහ, රංජිත් සමග ආශා ලිහිනි පූජාවිටියද රංගනයෙන් දායකවේ.

වැලිකුණාටුව ලිහිණි පූජාපිටියගේ අධ්‍යක්ෂණයෙන් රංගගත කෙරෙන ප්‍රථම වේදිකා නාට්‍යය වීම විශේෂත්වයකි.


රුක්මණී දේවි 95වැනි ජන්ම දිනය සමරයි

අසහාය ගායිකා හා සිනමා නිළි අග රැජන රුක්මණී දේවියගේ 95වන ජන්ම දින සැමරුම ගී ප්‍රසංගය දකුණු පළාත් ආණ්ඩුකාරවර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර්හෝල් රඟහලේදි පසුගියදා පැවැත්විණි. එහිදී සංස්කෘතික අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය සභාව ඇමතූ අයුරු.

සංගීත අධ්‍යක්ෂ රංජිත් යාපා ද. අල්විස්, සේනක බණ්ඩාර, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සහ ටවර්හෝල් රඟහල වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් ලාල් රත්නවීර, සුගත් මොරගහකුඹුර මහත්වරු ඡායාරූපයේ වෙති.


කෝලසිනා ඒක පුද්ගල ගී ප්‍රසංගය 17දා

සෙවන්ත් ගායක සුරංග සංජීව ඉදිරිපත්කරන කෝලසිනා ඒක පුද්ගල ගී ප්‍රසංගය ලබන 17දින සවස 6.30ට දොඩන්ගොඩ නව ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

Comments