ප්ලේටෝ මත - 2 | සිළුමිණ

ප්ලේටෝ මත - 2

රිපබ්ලික් නමින් ඉංග්‍රීසියට පෙරැළී ඇති කෘතියේ කතන්දර පිළිබඳ සිය මතය ප්ලේටෝ ඉදිරිපත් කරන්නේ සිය සොහොයුරා වු අදෙයිමෙන්තුස් සමඟ කෙරෙන සංවාද ස්වරූපයෙනි. අධ්‍යාපනය යනු මනස හා චරිතය ද, සිරුර ද යන දෙක ම පුහුණු කිරීම බව ඔහු කියයි. මේ දෙක අතර වෙනස හඳුනා ගත යුතුවාක් මෙන් ම මනස හා චරිතය පුහුණු කළ යුත්තේ මුලින් බව ඔහු පෙන්වා දෙයි. මනස සහ චරිතය පුහුණුව සඳහා කතන්දර ඇතුළත් කළ යුතු ය. කතන්දර දෙවර්ගයක් තිබේ. සත්‍ය කතන්දර සහ නිර්මාණාත්මක ප්‍රබන්ධ යනු ඒ දෙකයි. අධ්‍යාපනයේ දී ඒ දෙක ම ප්‍රයෝජනයට ගත යුතු වෙයි.

fiction යන වචනය ප්ලේටෝ යොදන PSEUDOS යන්නට තත්සම ලෙස පරිවර්තනයේ යොදා ඇතත් අපර සටහනක් මගින් පරිවර්තක පෙන්වා දෙන්නේ ඊට බොරුව, වංචාව සහ රැවටිල්ල යන අරුත් ද ඇති බවයි.

ශාරීරික පුහුණුවට පෙර ලබා දෙන මානසික පුහුණුවේ දී ප්‍රබන්ධ හෙවත් pseudos ප්‍රයෝජනයට ගන්නා බව පෙන්වා දෙන ප්ලේටෝ ඒ දරුවන් ස්වරූප ගතවීම අරඹන අවදිය බව පවසයි. අප කිසියම් ධාරණාවක් හෙවත් උපස්ථිතියක් ඔවුන්ගේ සිත තුළට ඇතුළත් කළහොත් එය ස්ථිර ව නොමැකෙන සටහනක් එහි තබයි. ඉතින් එනිසා අප, ඔවුන් වැඩුණු පසු ඔවුන් තුළ නොතිබිය යුතු යැයි අදහස් කරන අන්‍යයකු විසින් ලියන ලද අදහස් සමුදායක් දරුවාගේ සිතට ඇතුළු කරන්නේ මන්ද? ඒ කිසා අපගේ ප්‍රථම කාර්යය විය යුත්තේ කතන්දර නිෂ්පාදනය අධීක්‍ෂණය කිරීම සහ සුදුසු බව අපට හැඟෙන ඒවා පමණක් තෝරා ගෙන අනෙක්වා බැහැර කිරීමයි. සිය දරුවන්ගේ සිරුරට වඩා මනස සහ චරිත වර්ධනය කරවීමේ වැදගත්කම වටහා ගෙන ඒවා ආකෘතිගත කිරීම සඳහා තෝරා ගත් කතන්දර පමණක් සිය දරුවන්ට කියා දෙන ලෙස අප මවුන්ට සහ ළමයි බලා කියා ගන්නියන්ට බල කළ යුතු ය. අද දවස වන විට පවතින කතන්දරවලින් විශාලතර කොටසක් ඒ අනුව අපට ප්‍රතික්‍ෂෙප කරන්නට සිදුවෙයි.

ප්ලේටෝ මේ අදහස් ඉදිරිපත් කළ පසු අදෙයිමෙන්තුස් ’මොනවා ද ඔබ අදහස් කරන්නේ?’ යි අසයි. ඇත්තට ම නම් ඒ අසන්නේ ද ප්ලේටෝ ම බව අප දත යුතු ය.

‘ඊට අනුරූප ලෙස ප්‍රධාන පෙළේ ආඛ්‍යයිකා (legends) ගත හැකියි. ඒවා එකම වාත්තු කෝවේ දැමූ එක ම ආකාරයේ බලපෑම ඇති කෙරෙන ප්‍රධාන පෙළේ ඒවා’ ඒ ප්ලේටෝගේ පිළිතුරයි. නැවත අදෙයිමන්තුස්ගේ මුවින් ප්ලෙටෝ මෙසේ අසයි. ‘ඒත් මට වැටහෙන්නේ නෑ ඔබ ප්‍රධාන පෙළේ ඒවා යන්නෙන් අදහස් කරන්නේ මොනවාද කියා’ ප්ලේටෝ නියම පථයට පිවිසෙන්නේ එවිට ය.

’හෝමර් සහ හෙසොයිඩ් සහ අනෙකුත් කවීන්ගේ කෘතිවල එන කතන්දර. මන්ද කවීන් තමා මිනිසුන්ට කියන්නට කතන්දර ගොතන්නේ’

අදෙ: ‘මොන කතන්දර ද ඔබ කියන්නේ? මොනවාද ඔබ සොයා ගත් ඒවායේ ඇති වැරදි ?’

ප්ලේ: ‘නරකම විය හැකි වැරදි. විශේෂයෙන් ම කතන්දරය කැත එකක් නම්.’

අදෙ: ‘ඉතින්? ඒ මොනවා ද?’

ප්ලේ: ‘දෙවියන් සහ විරුවන් දුර්නිරූපණය. හරියට සැබෑ පුද්ගලයාට අහලකින්වත් යන්නේ නැති ආලේඛ්‍ය චිත්‍රයක් වාගේ’

අදෙ: ඇත්තට ම එය අපවාදයට ලක්විය යුතු දොසක් තමා. තවත් විස්තර කියන්න.’

ප්ලේ: ‘කාරණා අතරින් වඩාත්ම වැදගත් දෙය ප්‍රථම සහ ප්‍රමුඛ දෙය යුරේනස් පිළිබඳ කතන්දරය සහ හිසියොඩ් කියන පරිදි ඔහු කළ දෑ සහ ක්‍රොනෝස් ඔහුට අභියෝග කළ ආකාරයත් ක්‍රෝනොස්ගේ පළිගැනීමත්. ක්‍රෝනෝස් කළ දේ සහ ඔහු තම පුත්‍රයා නිසා වේදනා වින්ද ආකාරයත් ඇත්තම වුවත් නැවත නැවත සිදුවීම බාල, අහිංසක අයට කියා දීම සුදුසු නෑ. ඒ ගැන කිසිවක් නොකියා සිටීමයි කළ යුතු වූයේ. කියන්නම අවශ්‍ය වුණා නම් තෝරාගත් කොටස් පමණක් දිවුරා, රහස්‍ය අයුරින් කියන්නට තිබුණා.’

අදෙ: ‘මේවා කිසියම් ආකාරයක අමනොඥ කතන්දර’

ප්ලේ: ‘ඒවා අපගේ රාජ්‍යයේ නැවත නැවතත් සිදු නොවිය යුතුයි අදෙයිමෙන්තුස්. ළාබාල ප්‍රේක්‍ෂකයාට බිහිසුණු අපරාධ කළ අය ගැන හෝ අකාරුණික ලෙස සිය පියාට දඬුවම් කළ පුතුන් ගැන හෝ කියා දිය යුතු නෑ.’

ප්ලේටෝ මේ විවේචනය ගෙන එන්නේ හෙසියොඩ්ගේ තියෝගනි නම් කාව්‍යය ගැන ය. අහසට අධිපති යුරේනස් දෙවිඳුන්ට දාව ගයියා දෙවඟන බිහිකරන දරුවන් දොළොස් දෙනාගෙන් මුල් පස් දෙනාට යුරේනස් වද දෙන අයුරුත් ඒ දරුවන්ගෙන් බාලයා වන ක්‍රෝනොස් අතින් යුරේනස් වධයට ලක්වන අයුරුත් මෙහි ඇතුළත් ය. ක්‍රිපූ හත්වන සියවසේ පමණ ග්‍රීක වීර කාව්‍ය රචනා කරන්නට යොදා ගත් බසින් (epic dialect) හෙවත් හෝමරියානු ග්‍රීක් බසින් ලියැවුණු මේ කෘතිය ග්‍රීක දේවෝත්පත්ති කථා සංග්‍රහය ලෙස ද අර්ථ දැක්වේ.

මේ දෙබස් ඛණ්ඩ කියවන විට ප්ලේටෝගේ අදහස පැහැදිලි ය. ඔහු පෙන්වා දෙන්නේ සදාචාරයට පටහැනි දේ බාල මොළයට ඇතුළු නොකළ යුතු බවයි. තවදුරටත් මේ කෘතිය කියවා ගෙන යනවිට හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි කාව්‍ය ගැන ද ප්ලේටෝගේ උග්‍ර කටුක විවේචන කිව හැකි ය.

ප්ලේටෝගේ මේ කාව්‍ය විරෝධී සංකල්ප වීර කාව්‍යවලින් නොනැවතී දෘශ්‍ය කාව්‍ය ගැන ද ඉදිරිපත් කොට ඇති ආකාරය රිපබ්ලික් කෘතිය තවදුරටත් කියවන විට හමු වනු ඇත.

කාලානුරූපව සමාජ ශෝධකයකු ලෙස ප්ලේටෝගේ අදහස් සත්‍ය හා සාධාරණ ලෙස ද ගත හැකි ය.

ප්ලේටෝ රිපබ්ලික් කියන්නේ වර්තමානයේ අප ගන්නා ‘සමූහාණ්ඩු’ අර්ථයෙන් නොවේ. එය ඊට වඩා වෙනස් ය. මහජනතාවගේ පාලකයන් විය යුත්තේ බුද්ධිමතුන් අතරින් තෝරා ගන්නා තැනැත්තන් ය. එය රිපබ්ලික්හි මූලික ම සිද්ධාන්තයයි. විරුවන් සහ දෙවිවරුන් පාච්චල් නොකළ යුතු අතර ඔවුන්ට නිග්‍රහ වන කිසිවක් මහජනයා අතරට යා යුතු නොවේ.

එහෙත් මෙයින් නිර්මාණකරු වාරණය කෙරෙන බව ප්ලේටෝ නොසිතයි. නිර්මාණයක් යනු හුදෙක් බොරුවක් වංචාවක් බව කියන ප්ලේටෝ එහෙත් නැණ මඳ දනන් ඒවා සත්‍ය සේ ගන්නා බව තර්කානුකූල ව පෙන්වා දෙයි. මෙය රිපබ්ලික් හෙවත් සාධාරණ රාජ්‍යයකට උචිත නැත. කවියා කවි රචනා කරන්නේ දේවානුභාවයකින් නොව ස්වීය වූ බලයකින් නම් අනිවාර්යයෙන් ම ඔහු වෙතින් සමාජයට අහිතකර ලෙස බලපෑ හැකි අදහස් ලියැවෙනවා ඇත යනු ප්ලේටෝගේ අදහසයි.

Comments