අන­න්‍ය­තාව හීලෑ කර­ගැ­නීම | සිළුමිණ

අන­න්‍ය­තාව හීලෑ කර­ගැ­නීම

මහාචාර්ය ගණනාත් ඔබේසේකර

බොහෝ සිංහලයන් බෞද්ධ වන අතර බොහෝ දමිළයෝ හින්දූහු වෙති. සිංහල බෞද්ධයන් ස්වභාවයෙන්ම සිතන්නේ ඈත අතීතයේ සිටම තම ජාතිය බෞද්ධාගමික ජාතියක්ව සිටි බවය. එනිසා ඉතිහාසය පුරා පැවැති ප්‍රධාන ප්‍රතිවිරෝධය සිංහල බෞද්ධයන් හා දමිළ හින්දූන් අතර ඇති වූවකැයි සිතති. එබන්දක් පැවැති බව මවිසින්ද මීට ප්‍රථම ලිපිවල සඳහන් කර ඇත. එහෙත් දැන් මට පෙනී යන ආකාරයට ඊට වඩා ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් ඇති මූලික ව්‍යූහමය ප්‍රතිවිරෝධයක් වන්නේ වැදි දඩයම්කරුවන් හා සිංහල බෞද්ධ කෘෂිකාර්මිකයන් අතර පැවැති ප්‍රතිවිරෝධතාවයි. මට පෙනී යන ආකාරයට අඩු තරමින් 18 වන සියවස පමණ වන තෙක් බෞද්ධ ඉතිහාසය වටහා ගැන්ම සඳහා බෞද්ධයන් හා අබෞද්ධයන් අතර පැවැති මේ වෙනස වටහා ගත යුතුව තිබේ.

එකල ලක්දිව පැවති බුද්ධ ශාසනය අද අප දකින ශාසනය නොවේ. 19 වන ශතවර්ෂයේදී එය පරිවර්තනයට ලක් වූ අතර, ඒ වෙනුවට බෞද්ධවාදය පහළ විය (මා විසින් මීට පෙර ලියූ ලිපි පරික්ෂා කරන්න). මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විඝටනාත්මක ප්‍රතිවිරෝධය පවතින්නේ සිංහල හා දෙමළ ජනකොටස් අතරය. බොහෝ සිංහලයන් බෞද්ධ වන අතර බොහෝ දමිළයෝ හින්දූහු වෙති.

සිංහල බෞද්ධයන් ස්වභාවයෙන්ම සිතන්නේ ඈත අතීතයේ සිටම තම ජාතිය බෞද්ධාගමික ජාතියක්ව සිටි බවය. එනිසා ඉතිහාසය පුරා පැවැති ප්‍රධාන ප්‍රතිවිරෝධය සිංහල බෞද්ධයන් හා දමිළ හින්දූන් අතර ඇති වූවකැයි සිතති. එබන්දක් පැවැති බව මවිසින්ද මීට ප්‍රථම ලිපිවල සඳහන් කර ඇත. එහෙත් දැන් මට පෙනී යන ආකාරයට ඊට වඩා ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් ඇති මූලික ව්‍යූහමය ප්‍රතිවිරෝධයක් වන්නේ වැදි දඩයම්කරුවන් හා සිංහල බෞද්ධ කෘෂිකාර්මිකයන් අතර පැවැති ප්‍රතිවිරෝධතාවයි. මට පෙනී යන ආකාරයට අඩු තරමින් 18 වන සියවස පමණ වන තෙක් බෞද්ධ ඉතිහාසය වටහා ගැන්ම සඳහා බෞද්ධයන් හා අබෞද්ධයන් අතර පැවැති මේ වෙනස වටහා ගත යුතුව තිබේ.

මෙකල ආදි වාසීන්ගෙන් ඉතුරු වී සිටින වැද්දන් මහියංගණයට සමීප මහඔය පෙදෙසේ විසිරී සිටින ස්වල්ප දෙනෙකි. මා විසින් සිදු කර ඇති ගවේෂණ අනුව පෙනෙන්නේ අතීතයේදී ඔවුන් දිවයින පුරා විසිරී සිටි ජනතාවක් බවයි. 18 වන සියවසට පෙර ඔවුන් මෙසේ සිටි බවට සාධක කිහිපයක් මෙහිදී දැක්විය හැකිය. කොහොඹා කංකාරිය නම් පූජාකර්මයේ දී සිදු කරන “වැද්දන් අඬගැසීම” නම් යාදින්න ආරම්භයේදී සන්තාන දෙවියන්ට රැස්ව සිටින ආතුර ජනයාට සෙත සලසන ලෙස අයදිති.

මෙහි සඳහන්ව ඇත්තේ මහනුවර අසල ඇති හන්තාන ගැනය. සිංහලයන් හන්තානෙ දෙවියන් යනුවෙන් සඳහන් කරන්නේ වැද්දන්ගේ “හන්තානේ මහ වැදි උන්නැහේ” ය. එසේ වුවද වත්මන් වැදි ජනයා මොහු හන්තාන හා සම්බන්ධ කර දකින්නේ නැත. මේ ශතවර්ෂය මුලදී ඔහුගේ වාසය අද වැදි රට ලෙස සැළකෙන බින්තැන්නේ පිහිටි මාවරගල විය.

මහනුවරින් වියැකී ගිය වැදි දේවතාවාගේ දුර්වලව ගිය බල ප්‍රදේශය ලෙස නැති නම්, සැබෑ වැදි රට ලෙස අද මේ ප්‍රදේශය හඳුනා ගැනෙයි. කෙසේ නමුත් “වැද්දන් අඬගැසීමේ” පෙළ විසින් පෙන්නුම් කරන්නේ වැදි රට මහනුවර රාජධානියේ සිංහල රට හා සමපාත වූ බවය. චාල්ස් ගොඩකුඹුරේ හා මුදියන්සේ දිසානායකගේ කොහොඹා කංකාරිය සංස්කරණයන්හි පෙනෙන ආකාරයට ‘වැද්දන් අඬගැසීමේ’ පෙළෙහි වැදි ගම්මාන 90 කට වැඩි ගණනක නම් සඳහන් කර තිබේ.

එහෙත් වැද්දන්ගේ නිජබිමක් ලෙස සැලකෙන සබරගමුවේ වෙසෙන වැද්දන් ගැන මෙහි සඳහන් නොවීම විශේෂ කරුණකි. නමුත් මහනුවර හා ඒ අවට සිටින්නන් හොඳින් දන්නා කරුණු අනුවත් වැද්දන් විසූ තැන් ලෙස අස්ගිරිය, බෝගම්බර, හන්තාන, බතලගල, ගෝමිරිය, මතුරට, හුන්නස්ගිරිය, පාතදුම්මර, කොත්මලේ, නුවරඑළිය, කෙහෙල්ගමුව හා ඌරාගල පිළිබඳව මේ ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත. එසේම අද මේ ස්ථාන සිංහල එසේ නොමැති නම් වතු දෙමළ ස්ථාන බව කිවමනා නොවේ. මේ නම් ලැයිස්තුව මහනුවර අවට, උතුරු මධ්‍යම පළාත, දුම්මර, කොත්මලේ මිටියාවත හා ඌව ලෙස හඳුනාගත හැකිය.

සිංහලයන්ගෙන්ද පසුව පැමිණි මුස්ලිම් හා දෙමළ ජනයාගෙන්ද සුසැදි මාතලේ අද වැදි ප්‍රදේශයකැයි සිතන්නටවත් නොහැකිය. එහෙත් 17 වන සියවස මැද භාගයේ පමණ රචිත මාතලේ කඩයිම් පොතේ මීට හාත්පසින්ම වෙනස් චිත්‍රයක් ඉදිරිපත් කරයි. ඊට අනුව දෙවන රාජසිංහ රජුගේ අයියා වූ විජයපාල එක් ජන ප්‍රධානයකු අමතා මේ පෙදෙසේ වෙසෙන්නන් සඳහන් කරන්නැයි අණ කළේය. පිළිතුර වූයේ “දේවයිනි මාතලේ පළාතේ (ප්‍රභූ) ගෙවල් තුනක් පමණි ඇත්තේ” යනුයි. ඒ කවරේදැයි විමසූ විට කියන ලද්දේ “දේවයිනි, උඩුපිහිල්ලේ කුලතුංග මුදියන්සේ, අලුවිහාරේ වනිගසේකර මුදියන්සේ, දඹුකොළ වණිග‍සේකර මුදියන්සේ සහ හුලංගමුවේ ගමගේ වැද්දා සහ හම්පත් වැද්දාත් ය” යන්නය.

අනතුරුව “එපිට රට” සිටින්නේ කවුරුන්දැයි රජු ඇසූ විට බිරිදිවෙල “හෙළ කඳුරෙන් එපිට කනන්ගමුවේ කන්නිල වැද්දා මුර කරයි (හිර කර සිටියා), නිකකොටුවේ හේරත් බණ්ඩා මුර කරයි, පළාපත්වල මහ තම්පලා වැද්දා මුර කරයි, දොඹවෙලගම දොඹ වැද්දා මුර කරයි. වල්ලිවෙල වල්ලි වැද්දා මුර කරයි, මහ කවුඩුල්ල වැද්දා කවුඩුපැළැල්ලේ මුර කරයි. නාරංගොමුවේ නයිරන් (නයිද) වැද්දා මුර කරයි, නාලන්දේ ඉමියා වැද්දා මුර කරයි, නාගපට්ටල නම් පෙදෙසේ දිග පළල නව ගව්වක් පෙදෙස දිප්පිටියෙ මහගේ (නම් ගැහැණියක්) මුර කරයි, කඩයිමේ මුර සේවය සඳහා මකර වැද්දා හා කෝඳුරුවා යොදා ඇත,

කන්දපල්ලේ (වත්මන් කන්දපල්ල කෝරළේ) මහකන්ද වැද්දා මුර කරයි, ගලේවෙල හෙම්පිටි මහගේ මුර කරයි, උඩුගොඩ කෝරළේ උඩසිය පත්තුව බාජු මහගේ මුර කරයි, එම පල්ලේසිය පත්තුව මිණිමුතු මහගේ මුර කරයි. ලේපිටිය දේවකීර්ති මහගේ මුර කරයි…” යැයි පිළිතුරු දුන්නේය. 19 වන සියවස අගදී ඒ.සී. ලෝරි විසින් සම්පාදිත “මධ්‍යම පළාතේ ප්‍රවෘත්ති” ග්‍රන්ථයෙහි (Gazeteer of the Central Province) මේ ප්‍රදේශයන්හි පරම්පරා කථා අනුව කලකට ඉහත වැදි ගම්මාන වී පසුව සිංහල ගම් බවට පත් වූ ස්ථාන තිහකටත් වැඩි ප්‍රමාණයක් පැවති බව සඳහන් කර තිබේ.

බින්තැන්න අද දින වැද්දන් වෙසෙන දුෂ්කර කැලෑ පෙදෙසක් ලෙස පිළිගෙන තිබුණත් ඉතිහාස මූලාශ්‍රයන් පෙන්නුම් කරන්නේ බින්තැන්නේ අලුත්නුවර නම් ස්ථානය රජතුමාටත් නිලධාරීන්ටත් මහනුවරට ආ පිටරැටියන්ටත් වැදගත් වූ නැවතුම්පළක්ව තිබුණු බවය. එසේම අලුත්නුවර, නමින්ම පෙනෙන පරිදි, රජු මහනුවරින් බැහැර වූ විට විසූ විකල්ප අගනුවරක් වූ බවය. 1602 ලියැවුණු ඕලන්දයන්ගේ විස්තරයක අලුත්නුවර (මහියංගණය) මහා පූජනීය ස්ථානය හා එහි පුද පූජාවන් ගැන අගනා තොරතුරු ඇතුළත්ය.

වැද්දෝ දැඩි සේ රාජපාක්ෂික වූවාහු රජ මාළිගයට පහසුවෙන්ම ඇතුළු වීමේ වරමද හිමිව සිටියාහු ය. රජුට “හූරා” යැයි ඇමතූ ඔවුන් ඇතැම් විට එහි මුර සේවය වැනි වැදගත් රාජ කාර්යයන්හිද නිරත වූහ. 1818 බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරැල්ලේ දී වැදි ජනයා රාජ්‍යයට හිමිකම් පෑ දමිළ දොරේසාමිට දැඩි ලෙස පක්ෂපාතීව සිටියේ සිංහල රදළයන් තම රට පාවා දෙමින් සිටි අවස්ථාවකය.

බ්‍රිතාන්‍යයන්ට එරෙහි වූ ජාතික අරගලය මෙහෙය වූවන් අතර වූ කිවුලෙගෙදර නම් වැදි ජන ප්‍රධානියා පසුව දේවත්වයට පත් වුණි. 1818 හා 1848 කැරළි ප්‍රචණ්ඩ ලෙස බ්‍රිතාන්‍යයන් මර්දනය කළායින් පසුව කලක් ශ්‍රී විභූතියෙන් තිබුණු අලුත්නුවර නටබුන් නගරයක් බවට පත් වී එය පිහිටි බින්තැන්න වනචාරී වැද්දන්ගේ ප්‍රදේශය ලෙස නම් කරනු ලැබුවේය.

මතුවට

(මහාචාර්ය ගණනාත් ඔබේසේකර පැවැත්වූ කතාවක් ඇසුරෙනි.)

Comments