
තිලක්ට උපදේශක තනතුරක්
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි නිවේදකයකු වන තිලක් කුමාර රත්නායක පසුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ ගියා කියලා ආරංචියක් ලැබුණා. ඒ කියන්නේ අපේ රටෙන් යන්නම යන්න ගිහින්ද කියලා රසිකයන්ගේ හිත්වලට ප්‍රශ්නයක් ඇවිත්. ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්න තිලක්ට කතා කළා.
මොකද ඕස්ට්‍රේලියාවේ යන්න හිතුණේ ? දිගටම ඉන්න ද?
‘‘අපෝ නැහැ පසුගිය දවසක ප්‍රසංගයක් තිබුණා ඒකට ගියා. අගෝස්තුවල විතර නැවත යන්න තිබෙනවා.‘‘ එතකොට මොනවද මේ දවස්වල කරන කලා කටයුතු ?
‘‘ප්‍රසංග වේදිකාවේ නම් කාර්ය බහුලයි. ඒ වගේම කෝපි කඩේ තාමත් යනවා. මල්වඩම් අනවශ්‍යයි, කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු වේදිකා නාට්‍ය සමඟත් වැඩ කරමින් ඉන්නවා. ඊට අමතරව තව සුවිශේෂී කාර්යන් දෙකකට සම්බන්ධ වෙන්නත් ලැබුණා. එකක් දයා ගමගේ ඇමැතිවරයගේ මාධ්‍ය ලේකම්වරයා විදියට වැඩ කරන්න අවස්ථාව ලැබීම. අනෙක් එක තමයි ජාතික තරුණ සේවා සභාවේ උපදේශකයකු විදියට අපේ පාසල්වල උසස් පෙළ හදාරන දරුවන්ට නිවේදන වැඩමුළු පවත්වන්න අවස්ථාව ලැබීම. එහිදී නිවේදකයකුගේ කාර්ය භාරය, කටහඬ පාලනය ඇතුළු කරුණු කාරණා රැසක් කියා දෙන්න අවස්ථාව උදාවුණා. මගේ වෘත්තිය පැත්තෙන් එය මම ලැබූ භාග්‍යයක් ලෙසයි දකින්නේ. ඒ වගේම ජී. නන්දසේන මහත්තයගේ නාට්‍යයකට ආරාධනා ලැබිලා තිබෙනවා.
සදීකා විවාහ දිවියට
අනුර ශ්‍රීනාත් රංගන ශිල්පියාගේ දියණිය සදීකා විජයමාලි හෙට්ටිආරච්චි සහ සඳුන් මධුශංක පසුගියදා අතිනත ගත්තේ කඩවත කැනෙල්රා හෝටලයේ දී. සදීකාත් වෙළෙඳ දැන්වීම් කිහිපයක පෙනී ඉන්නවා කියල තමයි අනුර ශ්‍රීනාත් රසඳුන සමඟ කිව්වේ.
‘‘දුව මේ වෙන කොට කඳානේ ඕකේ අයි ජාත්‍යන්තර පාසලේ උගන්වනවා. ඇයත් කුඩා කාලයේ සිටම කලාව පැත්තට නැඹුරු වෙලා හිටියේ. ඉදිරියේදී ඉඩ ලැබෙන විදියට ඒ කටයුතුවල නිරත වේවි. ඇත්තටම තාත්ත කෙනෙක් විදියට මෙය මගේ ජීවිතයේ හැඟුම්බර දවසක්. දෙපැත්තේ සාක්කියට අත්සන් කළේ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන, ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහත්වරුන්. ඇත්තටම මෙහි විශේෂත්වය මම විවාහ වෙද්දිත් අත්සන් කළේ ක්ලිටස් මෙන්ඩිස් මහත්තයා. එයත් දෛවෝපගත සිදුවීමක් ලෙසයි මම දකින්නේ.‘‘
අසේල හෘද සාක්ෂියට එකඟ වැඩක
අසේල බණ්ඩාරනායක කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ නිවේදකයෙක්. නිවේදන වෘත්තියේදී මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ නිතරම දැකපු අසේල දැන් වැඩිය දකින්න නැති නිසා ඔහුගේ දුරකතන අංකයට කතා කළා.
‘‘කොහොමද අසේල කාලෙකින් දැක්කේ නැහැ ?‘‘
‘‘මොන දේටත් වඩා මනුෂ්‍යත්වය ගොඩක් වටින නිසා මගේම වැඩ ටිකක් කරගෙන ඉන්නවා‘‘ කියල හිනා වුණා.
ඒ කියන්නේ ?
‘‘දන්නේ නැද්ද මම මගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කළා. ඒ නිසා කාගෙන්වත් සමාව ගන්න ඕනි නැති නිසා මගේ වැඩ ටිකක් කරන්න පටන් ගත්තා.‘‘
ඒ හින්දද ගුරු වෘත්තියට බැස්ස කියන්නේ ?
‘‘ඔව්. ඔව්. උසස් පෙළ දරුවන්ට ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා. මේ වෙනකොට දරුවෝ පන්සියකට වැඩි සංඛ්‍යාවක් මගෙන් අධ්‍යාපනය ලබා ගන්නවා. ඇත්තටම මම ඉන් පුදුම තෘප්තියක් ලබන්නේ. ඒ විතරක් නෙවෙයි මම නිවේදන වෘත්තිය හරියට කරපු නිසාත්, සමාජයේ හොඳ ඇසුරක් කළ නිසා පිට වැඩ ගොඩක් තියෙනවා. ඒ දේවලුත් කරගෙන ලස්සන පවුල් ජීවිතයකුත් ගත කරගෙන සතුටෙන් ඉන්නවා.‘‘
අමාට තවමත් කැමැති පිටපතක් ලැබිලා නැතිලු
ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රා කළුආරච්චි දෙපළගේ දියණිය අමා විජේසේකර කියන්නේ මවුපියන්ගේ ආරේට ගිය දියණියක්. ඇයත් කුඩා කල සිට රංගන ශිල්පිනියක් විදියට විවිධ චරිත නිරූපණය කළත් මෑත කාලයේ නම් දක්නට ලැබුණෙම නැහැ.ඒ ඇයි කියල අහන්න අමාට අපි කතා කළා.
‘‘ඇත්තටම කලාවෙන් ඈත්වෙලා නෙවෙයි මට සුදුසුයි කියන සහ මම කැමැති චරිතයක් මෑත කාලයේ ලැබුණේ නැහැ. අනෙක් කාරණය මහ ලොකුවට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. හොඳ පිටපතක් ලැබුණොත් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා. ඒ වගේම නාලක ස්වර්ණතිලක මහත්මයාගේ පොත් ගුල්ලි කියන වේදිකා නාට්‍යය සමඟ සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. ඊට අමතරව නම් ගෙදර වැඩ ටික කරගෙන නිදහසේ ඉන්නවා.‘‘
සූනීතා නිහඬ ඇයි?
දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුනීතා විමලවීර මේ දිනවල වැඩි සද්දයක් නැහැ. ඒ නිසාම අපි ඇයගෙන් එයට හේතුව විමසුවා. සිරස නාළිකාවේ විකාශය වන ‘මිනිරන්දෑල‘ සහ ජාතික නාළිකාවේ විකාශය වන ‘මාද නුඹද විය‘ ටෙලි නාට්‍ය දෙකට පමණක් රංගනයෙන් දායක වන අතර අලුත් දෙයකට සම්බන්ධ වීමක් වුණෙත් නැහැ කියල තමයි ඇය රසඳුනට කිව්වේ.