
ධනංජය සිරිවර්ධන ළඟදී අලුත් වැඩකට අතගැසුවා. ඒ තමයි 'ප්‍රාණ ඇක්ටින් ස්ටුඩියෝ' නමින් රංගන පාසලක් පිහිටුවීම. රංගනයට පිවිසෙන්න කැමැත්තෙන් සිටින නවකයන්ට අත දෙන බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ රංගන හැකියාව පෝෂණය කිරීමේ අරමුණෙන් තමයි ධනංජය මේ වැඩසටහනට අත ගැසුවේ. ඒ වගේම මේ දිනවල විකාශය කෙරෙන සිල්ලර සමනල්ලු සහ හරස් පාර ටෙලි නාට්‍යවලින්ද ඔහු අපේ නිවහනට ගොඩ වැදෙනවා. කවදත් රසඳුනට හිතවත් ධනංජය මෙවර 'හදට දැනෙන ප්‍රශ්න දහයට' පිළිතුරු දෙන්න අප සමග එක් වූවා.
1. ධනංජය පුංචි කාලෙ සිටම හීන මැව්වෙ කවුරු වෙන්නද?
කවද හරි ඉගෙනගෙන හොඳ රැකියාවක් කිරීමයි මගේ හීනය වුණේ. විශේෂයෙන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන බලාපොරොත්තුව තිබුණා. රංගන ශිල්පියෙක් වුණේ අහම්බයෙන්. මට හැමදාමත් අම්මා කීවේ හොඳට ඉගෙන ගෙන රැකියාවක් කරන්න කියා. ඇය මට පුංචි කාලෙ සෙල්ලම් කරන්න දුන්නේ පොත්. පස්සෙ කාලෙදි තමයි මට තේරුණේ ඇයි මට පොත් දුන්නේ කියලා. ඇය මට ජීවිත අවබෝධය ලබා දුන්නේ මටවත් නොදැනෙන ලෙස. මම අයියල දෙන්නට වඩා ගොඩක් පොඩියි. ඒ දෙන්නටම වඩා ඉදිරිපත් වීම අඩුයි. අපේ ගෙදර නිතරම දකින්න , අසන්න ලැබුණේ කලා පරිසරයක්. ලංකාවේ සියලු ගායක ගායිකවන් වගේ අපේ ගෙදරට ආව ගියා. ඒ නිසා මට කලාව අරුමයක් වුණේ නෑ. ඉතින් කොහොම හරි කලා පවුලට ගැළපෙන ලෙස මාවත් කලාවට තල්ලු වුණා.
2.රංගන ශිල්පියෙක් වීම ගැන තෘප්තිමත්ද?
රංගන ශිල්පියකු වීම ගැන දුක සතුට දෙකම තියෙනවා. රංගන වෘත්තිය හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒකට වාසනාව තියෙන්න ඕනෑ. අපේ රටේ රංගන ශිල්පියෙක් වීම ගැන තෘප්තිමත්ද කියන කාරණයට පිළිතුරු දෙන එක අසීරුයි. ඒ ගැන මගේ හිතෙත් ප්‍රශ්නයක් තිබෙනවා.
3.සාහිත්‍ය මාසයත් එළැඹුණා. කැමැත්තෙන් කියවපු පොත මොකක්ද?
මම එදත්, අදත්, හෙටත් ප්‍රිය කරන එකම පොත මහගම සේකරයන්ගේ 'ප්‍රබුද්ධ'. ප්‍රබුද්ධ පළමුව කියෙව්වෙ වයස අවුරුදු දහයෙදි. ඉන් පසුව තරුණ වයසෙදි, භද්‍ර යෞවනයෙදි .'ප්‍රබුද්ධ' තරම් ජීවිතය අවදිකළ තවත් පොතක් නෑ.
4.ඔබ කැමැතිම සිනමා පටය ..
මම වඩාත් ප්‍රිය කරන සිනමා පටය විදේශිය චිත්‍රපටයක්. 'ද කියුරියස් බෙන්ජමින් බට්න්ස්'. එම චිත්‍රපටය කාලය සහ අවකාශය පිළිබඳව නැවත නැවත මතක්කරනවා. එහි තියෙන ඩයලොග් අතිශය ලස්සනයි.
5.කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය සහ ගායකයා සහ ගායිකාව..
ධනංජය සිරිවර්ධන කියන රංගන ශිල්පියා සහ මාලනී ෆොන්සේකා රංගන ශිල්පිනියට කැමැතියි. ගායකයා මගේ පියා සුනිල් සිරිවර්ධන, ගායිකාව මගේ බිරිය ශෂිනි සිරිවර්ධන
6.තවත් කෙනෙක් කරනවට අකැමැතිම දෙය..
සැබෑ ජීවිතයේ රඟපාන එක මට පෙන්නන්න බැරි දෙයක්. ඇතැමුන් ගොඩක් දේවල් දැනගෙන නොදන්නා ලෙස රඟපානවා. කට ඇරියොත් බොරු කියනවා. අපි ඇයි බොරු කියන්නේ. ඒකෙන් වෙන යහපතක් නැහැ. බොරුවට රඟන එක මට පේන්න බැහැ.
7.රංගන ශිල්පියෙක් ලෙස සමාජයට දෙන ආදර්ශය මොකක්ද?
මටත් අහන්න තියෙන්නේ රසිකයන්ගෙන් මොනවද ඔබ රංගන ශිල්පියකුගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. දැන් ඉන්න බොහෝ රසිකයන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රංගනය ගැනවත් අපි කලාව වෙනුවෙන් කරන්නෙ මොනවද කියලවත් නෙමෙයි. ඔවුන් හොයන්නේ අපේ පෞද්ගලික ජීවිතයට වෙන්නේ මොකක්ද කියල.අපි ඩිවෝස්ද? එහෙම නැත්නම් සෙපරේට්ද? අපි කොහෙද යන්නෙ, මොනවද අඳින්නේ කියල. ඉතින් ඔවුන් අපි මොනවද සමාජයට දෙන්නේ කියල හිතන්නෙ නෑ.
8. ඔබ රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..
පැය විසි හතරක් ඇතුළත රටේ සදාකාලික ජනාධිපතිවරයා වෙන්න ව්‍යවස්ථාව හදන එක.
9. වැඩිපුරම සංචාරය කරන්න කැමැති ස්ථානය..
වැඩිපුරම කැමැති මිනිස්සු ඉන්න තැන් වලට යන්න. මම හුදකලාවේ ඉන්න ප්‍රිය කරන මිනිසෙක් නෙමෙයි. හැම වෙලේම මිනිසුන්ගේ ගඳ සුවඳ දැනෙන ඕනෑම තැනක සංචාරය කරන්න කැමැතියි.
10.ජීවිතයේ වැරැදුණ තැන්වලදී ළඟින්ම සිටියේ..?
අම්මා. ඇය තමයි ජිවීතයේ වැරැදුණු සහ හරිගිය සෑම තැනකදීම සෙවණැල්ල වගේ ළඟින් සිටියේ. ඒ වගේම තාත්තත් මා පසුපස සිටිමින් මාව ශක්තිමත් කළා. දැන් ඔවුන් දෙදෙනා මෙන්ම මගේ බිරියත් මගේ සෙවණැල්ල මෙන් ළඟින් සිටිනවා.