
වේදිකාවෙන් රංගනයට පිවිස මේ වන විට පුංචි තිරය, සිනමාව ජයගත් රංගන ශිල්පියෙකි ජීවන් හඳුන්නෙත්ති. ජීවන් මේ දිනවල බොහොම කාර්යබහුල වෙලා කියලා අපට ආරංචි වුණා. ඒ ගැන දැනගන්නට කතා කළ විට ඔහු කීවේ මෙවැනි කතාවක්. මම මේ දවස්වල අලුත්ම වේදිකා නාට්‍යයක් පෙන්වන්නයි සූදානම. එය මගේ තුන්වැනි වේදිකා නාට්‍ය නිර්මාණය වන 'සාරි ගැටේ 'වේදිකා නාට්‍යය. මේ මස 25, 26 දිනයන්හි පුංචි තියටර්හි දී සවස 6.30ට වේදිකාගත වීමට නියමිතයි. ඒ පිළිබඳව මේ දිනවල බොහෝ වෙහෙසෙනවා. වෙනස්ම නමකින් කාලීන තේමාවක් මුල් කර ගත් මේ නිර්මාණය මෙරට ප්‍රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් වෙයි.
'සාරි ගැටේ' මොනවගේ අද්දැකීමක්ද?
පවුල් ගැටුමක් කේන්ද්‍ර කරගත් ඒ වටා ඇතිවන සිද්ධීන් දාමයක්. අවසානයේ තම බිරියගේ රැවටීමට ලක් වන සැමියකු සියල්ල අහිමිව බිරියගේ සේවකයා බවට පත් වන සිදුවීමක් තමයි මෙහි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන්නේ.
මේ ඔබේ තුන්වැනි වේදිකා නාට්‍යය ..
ඔව්. පළමු වේදිකා නාට්‍යය සම්මානයක් විතරයි. එය දර්ශනවාර පහළොවක් පමණ කළා. දෙවැනි වේදිකා නාට්‍යය මට පුරුෂයෙක් ඕනෑ. එය දර්ශන පනහ ඉවරයි. අලුත්ම නාට්‍යය තමයි 'සාරි ගැටේ'.
'සාරි ගැටේ' වේදිකාවට ගෙන එන්නන් කවුරුද?
පාලිත සිල්වා, නයනා කුමාරි, සරත් පීරිස් සහ මම රංගනයෙන් දායක වෙනවා. සංගීත නිර්මාණය මගේ. පිටපත අරුණ වල්පිට. කාලීන සිදුවීමක් චරිත හතරකින් නිරූපණය කරනවා.
ජීවන් කලාවට එන්නෙ පියාගෙ මග පෙන්වීමෙන් ..
ඔව්. මගේ පියා සංගීතඥයෙක්. ඔහු නිතරම ගෙදර පැදුරු සාජ්ජ පවත්වනවා. ඒ අවස්ථාවට අපිත් සින්දු කියනවා. නටනවා. මගේ ගම බළපිටිය. බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ. පාසල් වේදිකාව මගේ රංගන හැකියාව පෙන්වන්න හොඳ තෝතැන්නක් වුණා. ඒ වගේම ප්‍රදේශයේ පවත්වන සියලු වේදිකා නාට්‍යවල රඟපෑවා. මගේ අයියා රෝහණ හඳුන්නෙත්ති. ඔහුත් මම වගේම විවිධ කලාකටයුතුවලට සම්බන්ධ වුවා.
ඉන්පසුව ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ කොහොමද?
අපේ ගමේ ප්‍රසිද්ධ නාට්‍යකරුවෙක් සිටියා ගුණපාල සිල්වා කියලා. එතුමාගේ 'ඈත බලන් පුතුනේ' හා 'නළපාන' වේදිකා නාට්‍යවල රඟපෑවා. ඉන්පසුව ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධවන්නේ බන්ධුල විතානගේ ගෙ 'වැනීසියේ වෙළෙන්ඳා නාට්‍යයෙන්' .
ගමේ වේදිකාවෙන් පැමිණි ඔබට ප්‍රසිද්ධ වේදිකාව අභියෝගයක් වුණේ නැද්ද.?
අපෝ නෑ. ගමේ වේදිකාවේ මිනිසුන් දහස් ගණනක් ඉදිරිපිට රඟපෑ මට ප්‍රසිද්ධ වේදිකාව අරුමයක් වුණේ නෑ. දයානන්ද ගුණවර්ධන, එදිරිවීර සරච්චන්ද්‍ර, පුණ්‍යසේන ගුණසිංහ, පරාක්‍රම නිරිඇල්ල වගේ මහා නාට්‍යකරුවන්ගේ නාට්‍යවල රඟ පාන්නත් අවස්ථාව ලැබුණා.
ඔබ දැන් කලාවට පිවිස දශක තුනක්..
මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ 1980 දශකයේ මුල් භාගයේ. එදා සිට මේ දක්වා වේදිකා නාට්‍ය 40ක පමණ රඟපෑවා. ඒ අතර රොඩ්නි වර්ණකුලගේ සාරංගා නැවෙන් ඇවිත්', ඇන්ටන් ජූඩ්ගේ 'සකිසඳ මඩල', ආනන්ද අතුකෝරලගේ 'කලියුග කෝළං', සුදත්ත තිලකසිරිගෙ 'දෙබඩි බ්‍රෝ' වේදිකා නාට්‍ය මතකයේ රැඳුණු නාට්‍යය.
ඉන් පසුව ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වෙනවා..
බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ 'අත්ත බිඳෙයි' ටෙලි නාට්‍යය මගේ පළමු ටෙලි නිර්මාණයයි.
සිනමාවේ කළ රංගනය සිහිපත් කළොත්..
සිනමාවේ නම් මට බොහෝවිට ලැබෙන්නේ හාස්‍යෝත්පාදක චරිත. සුනිල් සෝම පීරිස්ගේ 'ඉරහඳ ඉල්ලා' චිත්‍රපටයෙන් සිනමාවට ආවේ. ඉන් පසුව 'වැඩ බැරි ටාසන්', 'මැති සබයට 2', 'අලි සුරතල්', 'වන් ෂොට්', 'ලීඩර්' ඇතුළු චිත්‍රපට 25කට පමණ රංගනයෙන් දායක වුණා.
වේදිකාව, පුංචි තිරය, සිනමාව යන කලා මාධ්‍ය තුනෙන් ඔබ වඩාත් කැමැති..?
වේදිකාව. ඒක ආයෙත් හිතන්න දෙයක් නෑ. මම කලාවට ආවෙත් වේදිකාවෙන්. ඒ නිසාම තමයි මගේ තුන්වැනි වේදිකා නාට්‍යයත් නිර්මාණය කළේ. මට කියන්න තියෙන්නෙ ප්‍රේක්ෂකයන්ට 'සාරි ගැටේ නාට්‍ය නරඹන්න.
එය ඔබට සතුට, විනෝදය, දැනුම යන අංශ තුනම ලබාදෙන නාට්‍යයක් වේවි. ඒ වගේම ප්‍රේක්ෂකයන් මෙතෙක් නොලබපු හොඳ අද්දැකීමක් ද වේවි.
ඡායාරූපය- ගයාන් පුෂ්පික