ණයට හිලව්වට තැබූ අයිඩෙන්ටියෙන් බැංකුවක් කොල්ලකෑ හැටි | Page 2 | සිළුමිණ

ණයට හිලව්වට තැබූ අයිඩෙන්ටියෙන් බැංකුවක් කොල්ලකෑ හැටි

මෑත කාලයේ රටපුරා තැනින් තැන මූල්‍ය ආයතන කොල්ලකෑම් කීපයක්ම අසන්නට ලැබිණි. ඒ ආකාරයේම මූල්‍ය ආයතන කොල්ලයක් පසුගිය විසිහය වැනිදා මත්තේගොඩදී සිදුවිය. එහෙත් එම කොල්ලයේ සැකකරුවන් පැය 24ක් යන්නටත් මත්තෙන් හඳුනා ගැනීමට පොලිසිය සමත් වීම විශේෂයකි.

මහජන බැංකුවේ මත්තෙගොඩ ශාඛාවේ එදින ගනුදෙනු අවසන් වීමට තිබුණේ මොහොතකි. වේලාව සවස 3 පසුවූවා පමණි. ඒ මොහොතේ බැංකුවේ රාජකාරි කරමින් සිටියේ බැංකු නිලධාරීන් දෙදෙනාත්, ආරක්ෂක නිලධාරියා සහ සුළු සේවකයා පමණි. ඊට අමතරව ගනුදෙනුකරුවෝ කීපදෙනෙක්ද බැංකුවේ රැඳී සිටියහ. එම පිරිස ගනුදෙනු අවසානයේ පිටව ගියපසු තවත් තිදෙනෙක් බැංකුවේ වූහ. එක්වරම ඒ තිදෙනාගෙන් කෙනෙකු ආරක්ෂක නිලධාරියා වෙත කඩා පැන්නේ සඟවාගෙන සිටි කුඩා ගිනිඅවියක්ද අතැතිවය. එසැණින්ම අනෙක් දෙදෙනා පිහි පෙන්වා බැංකුවේ සිටි නිලධාරීන් සිය ග්‍රහණයට ගෙන අත්පා බැඳ දැමූහ. පසුව බැංකු කළමනාකාර මගින් එහි සේප්පු හැර ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන කොල්ලකරුවන් පැන ගියේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් මවාපාමිනි.

මත්තෙගොඩ පොලිස් ස්ථානයට 119 ඔස්සේ එසැණින් ඇමැතුමක් ලැබුණේ බැංකු කොල්ලය ගැන හෝඩුවාව පවසමිනි. පරීක්ෂණ සිදුකළ නිලධාරීන්ට අනාවරණය වූයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ ලක්ෂ පන්සීයකට ආසන්න ස්වර්ණාභරණ තොගයක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි. ඒ අතරේ මත්තෙගොඩ පොලිස් ස්ථානයට දිව ආවේ කුලී රථ රියැදුරෙකි.

“සර් මගේ කාර් එක අරගෙන කට්ටියක් පැනලා ගියා... හැබැයි උන් මට සල්ලි වැඩියෙනුත් දීලයි කාර් එක අරන් ගියේ”

කොල්ලය ගැන කන වැකුණු පොලිස්පතිවරයා මත්තෙගොඩ පොලිස් බලප්‍රදේශය බාර ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහට පරීක්ෂණ කටයුතු පැවැරුවේය. ඔහුගේ ඍජු අධීක්ෂණයෙන් ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකරගේද සහාය ඇතිව මොරටුව සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නගේ මෙහෙයවීමෙන් මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි තිලකසිරි ඇතුළු පිරිස සැකකරුවන් සොයා සූක්ෂ්ම මෙහෙයුමක් දියත් කළහ.

මුලින්ම කොල්ලකරුවන් පලා ගිය ආකාරය ගැන සොයා බැලු නිලධාරීන්ට හෙළි වූයේ කුලී මෝටර් රථ රියැදුරුගෙන් පැහැරගත් මෝටර් රථයෙන් කොල්ලකරුවන් පලා ගොස් ඇති බවයි. එම කුලී මෝටර් රථයේ ගමන් මාර්ගය පෙන්වූ චන්ද්‍රිකා දත්ත අනුව රථය හෝමාගම රෝහල ආසන්නයේ දමා ගොස් තිබියදී එදිනම සොයා ගැනීමට පොලීසිය සමත් විය.

නිලධාරීන් බැංකු පරිශ්‍රය පරීක්ෂා කර බැලුවත් සැකකරුවන් ගැන කිසිදු හෝඩුවාවක් අනාවරණය නොවූයේ බැංකුවේ සීසීටීවී දසුන් පටිගත දත්ත ගබඩා ඒකකයද (ඩීවීආර්) කොල්ලකරුවන් රැගෙන ගොස් තිබු හෙයිනි. අනතුරුව කුලී රථ රියැදුරුගේ සහ බැංකු නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු මත සැකකරුවන්ගේ රූ සටහන් ඡායාරූප ගත කෙරිණි. එසේම කුලී රථ රියැදුරු පවසා තිබුණේ දුරකථන ඇමැතුමකින් රථය වෙන්කර ගත් බවත්, මත්තෙගොඩ ප්‍රදේශයට පැමිණෙන ලෙස දැන්වූ බවත්ය. එලෙස විනාඩි ගණනක් රථය නතර කරගෙන සිටියදී තිදෙනකු රථයට නැඟ අතරමඟදී රථය පැහැරගත් බවද ඔහු පොලිසියට දන්වා තිබිණි.

පොලීසිය එම දුරකථන අංකය ගැන සොයා බැලීමේදී අනාවරණය වූයේ එම දුරකථන සිම්පත කොල්ලය සිදුවූ දින දහවල් 12ට පමණ සක්‍රීය කරවූ එකක් බවයි. පසුව සිම්පත ලබා ගැනීමට ඉදිරිපත් කළ හැඳුනුම්පත ගැන සොයා බැලීය. සිම්පතට අදාළ හැඳුනුම්පතේ හිමිකරු වූ හෝමාගම හබරකඩ විසූ අදාළ පුද්ගලයාගෙන් හෙළි වූයේ හැඳුනුම්පත මීට හය මසකට පමණ පෙර වාහන ටයරයක් ලබා ගැනීමේදී හිඟ මුදලකට හිලව්වට ටයර් වෙළෙඳසලකට ඇපයට තැබූ බවයි. ටයර් වෙළෙඳ සල හෝමාගම - ගොඩගම හංදිය අතර හයිලෙවල් පාරේ වූවකි. අදාළ ටයර් වෙළෙඳසල සොයා ගොස් එහි හිමිකරුගෙන් ඒ පිළිබඳ විමසුවත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. එහෙත් පොලීසිය ඔහු ඒ මොහොතේම අත්අඩංගුවට ගත්තේය.

බැංකු නිලධාරීන් හමුවට ඔහු ගෙන ගොස් විමසූවිට ඔහු කොල්ලකරුවන් අතර නොසිටිබව පැවසීමෙන් පරීක්ෂණ නිලධාරීන් අතරමං විය. එදිනම ඔහු ඇප මත මුදාහැරියත් පොලීසිය ඔහු ගැන ඇස ගසාගෙන සිටියේ සැකකරුවන් හඳුනා ගැනීමට තිබූ ඉව නිසාය.

“අපි ඒ පුද්ගලයා ගැන ඇහැ ගහගෙන සිටින අතරේදුරකථන අංකය ගැන තව තවත් සොයා බැලුවා. එහිදී එම අංකයට පැමිණි තත්පර ගාණක දුරකථන ඇමැතුමක අංකයක් සොයා ගැනීමට හැකි වුණා. ඒ මේ දුරකථනය විකිණූ දුරකථන සමාගම් නියෝජිතයාගේ අංකය. එම සිම්පත විකිණු වෙළෙඳසලේ සීසීටීවී දසුන් නරඹද්දි සිම්පත මිලදී ගත් තැනැත්තා හඳුනා ගැනීමට හැකි වුණා. ඔහු ඒ මොහොතේ මෝටර් රථයක නඟින අයුරුත් සීසීටීවී දසුනක දක්නට ලැබුණා. ඒ මෝටර් රථය ටයර් වෙළෙඳසල හිමිකරුගේ බවත් හෙළි වුණා. නමුත් සිම්පත මිලදී ගන්න පැමිණියේ ඔහු ළඟ සේවය කරන පුද්ගලයෙක්” කොල්ලකරුවන් කොටු කර ගැනීමට මංපෑදුණු ආකාරය විස්තර කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

තවදුරටත් කරුණු හෙළි කරගත් පොලිසිය පසුගිය අඟහරුවාදා (30දා) අලුයම සියලු තතු 'තිත'ටම අනාවරණය කරගනිමින් සැකකරුවන් තිදෙනකු අත්ඩංගුවට ගත්තේය. පාදුක්ක, වේරගල නිවෙසේදී ටයර් වෙළෙඳසලේ හිමිකරු 34 හැවිරිදි ඩිලාන් ලලින්දත් සිම්පත මිලදී ගැනීමට මෙන්ම බැංකු කොල්ලයට ද එක්වූ දෙවැනි සැකකරුවන පාදුක්කේ සම්පත් (40) ඉන්දික සහ එම වෙළෙඳසලේම සේවකයකු වූ කොල්ලයට එක්වූ පොතුවිල්හි පදිංචි සෙල්වරාජා ප්‍රභූමූර්ති (41) හෙවත් විමල්ද ඒ අනුව අත්අඩංගුවට ගැනිණි. එසේම පාදුක්ක වේරගල විසූ 38 හැවිරිදි චමින්ද සම්පත් නමැති ඩිලාන්ගේ මස්සිනා කෙනෙකුද අත්අඩංගුවට පත්විය. ඔහු මේ කොල්ලයට කිසිදු ආකාර‍යකින් සම්බන්ධයක් නොමැති වුවත් එල්ල වූ චෝදනාව වූයේ කොල්ලකරුවන් විසින් ගලවා ගෙන යනු ලැබූ සීසීටීවී පද්ධතිය කැලණි ගඟට විසි කිරීමයි. බැංකු කොල්ලයේ ප්‍රධාන සාක්කි සටහන් ව තිබු‍ණ් එහිය. ඩිලාන් මුලින් අත්අඩංගුවට පත්වූ පසුගිය සෙනසුරාදා දින චමින්ද, ඩිලාන් බැලීමට පොලීසියට පැමිණ තිබිණි. එහිදී ඩිලාන්, සිය මෝටර් රථයේ යමක් තිබෙන බවත් එය කැලණි ගඟට විසි කරන ලෙසත් චමින්දට පවසා ඇත්තේය. චමින්ද එසේ ගඟට විසිකර තිබුණේ බැංකුවේ ඩීවීආර් පද්ධතියයි.

පොලීසිය සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ විමල් දැනට තාවකාලිකව පදිංචි හයිලෙවල් පාර, දික්හැතැක්ම නිවෙසේ ස්වර්ණාභරණ සහ මුදල් තොගය වළ දමා ඇති බවයි. ඒ අනුව ස්වර්ණාභරණ සහ මුදල් තොගය සොයා ගැනීමට හැකි වූවත් තවත් සුළු ස්වර්ණාභරණ සහ මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට තිබෙන බවද පොලීසිය සඳහන් කළේය.

නිතර මේ බැංකුවට යනඑන ඩිලාන් මෙවන් ආකාරයේ සොරකමක් සිදුකරන පුද්ගලයෙකු ලෙස නොපෙනුණත් අධික ණයබර නිසා මෙවැනි කොල්ලයකට පෙලඹී ඇති බවද හෙළිවිය. විවාහකයකු වන ඩිලාන් මීට මාස කිහිපයකට පෙරදී සිය ගෝලයන් දෙදෙනාද සමඟ එක්ව කොල්ලය සැලසුම් කර තිබිණි. ඊට යොදාගත් ගිනිඅවිය ප්ලාස්ටික් සෙල්ලම් අවියකි. ඔහු සතු මෝටර් රථයෙන් හෝමාගම රෝහල අසලට ගිය පිරිස පසුව ත්‍රීවිලර් රථ දෙකකින් බැංකුවට ගොස් තිබේ. අනතුරුව කොල්ලය සිදුකොට කුලී මෝටර් රථයෙන් ඩිලාන්ගේ මෝටර් රථය තිබූ ස්ථානයට පැමිණ කුලී මෝටර් රථය එම ස්ථානයේ දමා පලා ගොස් තිබිණි.

සූක්ෂ්ම මෙහෙයුමකින් අනතුරුව අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. “මහජනයා සිය හැඳුනුම්පත අන් සතු කිරීමේදී ඉතාම සැලැකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ඡායා පිටපත් ලබා ගන්නාවිට අමතර ඡායා පිටපත් ලබා ගන්නවාදැයි විමසිල්ලෙන් සිටිය යුතුමයි. මෙවැනි අපරාධකරුවන්ට අන් අයගේ හැඳුනුම්පත්වලඡායා පිටපත් වැදගත් වෙනවා. ඒ වගේම මූල්‍ය ආයතනවල ආරක්ෂාවට සිටින නිලධාරීන් එම කර්තව්‍යයට පමණක් යොදා ගන්නවා හැරෙන්නට වෙනත් බැංකු කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින ලෙස මූල්‍ය ආයතන බලධාරීන්ගෙන් ද අප ඉල්ලා සිටිනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මේ පිළිබඳ විස්තර කරමින් පැවසීය.

ඡායාරූප - සමඩ් අෂ්රෆ් දෙහිවල-ගල්කිස්ස විශේෂ

Comments