මරණ වරෙන්තුව අතේ තියාගෙන හිටපු ලංකාවේ ක්‍රිකට් තරුව බේරාගත් මලයාගේ මෙහෙයුම | සිළුමිණ

මරණ වරෙන්තුව අතේ තියාගෙන හිටපු ලංකාවේ ක්‍රිකට් තරුව බේරාගත් මලයාගේ මෙහෙයුම

සුනිල් වෙත්තිමුණි

තිහාසය පුරාම වෙත්තිමුණි නාමය වැඩිපුරම සම්බන්ධ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටය. අනතුරුව ගුවන් නියමු කේෂ්ත්‍රයටය. මේ ක්ෂේත්‍ර ද්විත්වයම ජයගත් ශ්‍රී ලංකාවේ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ සුනිල් වෙත්තිමුණි ය. හෙතෙම පසුකාලීනව ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් පසු තරග බිමේ දස්කම් පෑ සිදත් වෙත්තමුණිගේ ලොකු අයියාය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 13 වැනි එක්දින ලෝක කුසලානය ආසන්න වෙද්දී එහි ඉතිහාසය හාරා අවුස්සන ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ට 1975 එංගලන්තයේ පැවැති මංගල එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ ඕවල් පිටියේ පැවැති තරගය අමතක නොවන්නකි. අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුතුව තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු ලෙස රංජිත් ප්‍රනාන්දු සමඟ ඉනිම ඇරඹූ සුනිල් වෙත්තිමුණි එවකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු වඩාත්ම භයානක වේගපන්දු යවන්නා වූ ජෙෆ් තොම්සන්ගේ පන්දුවකින් තුවාල ලබා පිටියෙන් ඉවත් වීම අදටත් වැඩිහිටි ක්‍රීඩාලෝලීන් සිහිපත් කරන්නේ භීතියෙන් යුතුවය.

‘සිළුමිණ‘ මේ විමසා බලන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, ගුවන් නියමුවකු ලෙසත් ජීවිතය ජයගත් මේ විශිෂ්ට ක්‍රීඩකයා පසුකාලීනව අග්න්‍යාශගත රෝගාබාධයකින් බරපතළ ලෙස ඔත්පල වී මරණය ආසන්නයටම ගොස් ආපසු හැරීමේ විස්මයජනක කතා පුවතය. මේ දිග හැරැන්නෙ තරුණ වියේදීම භාවනාවට යොමු වෙමින් ධර්මානුකූල දිවි පෙවෙතක් ගත කරන උදාර මිනිසාගේ කතා පුවතය. මෙතෙක් කිසිවකු නොඇසූ සුනිල් වෙත්තිමුණිගේ ජීවිතයේ ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය සිදුවීම් මාලාව මෙරට ක්‍රිකට්ලෝලීන්ට පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට ද ජීවිතය ගැන, මරණය ගැන යළි යළිත් මෙනෙහි කිරීමට කදිම නිදසුනක් බව ලියුම්කරුගේ අදහසය. 

‘මටයි සුනිල් අයියටයි කවදාවත් එකට සෙල්ලම් කරන්න ලැබුණේ නෑ. ආනන්ද විද්‍යාලයේ එයා අවුරුදු 19න් පහළ සෙල්ලම් කරපු අවසන් කාලය වෙද්දී මම අවුරුදු 12න් පහළ ගහන්නේ. මටයි මිත්‍ර අයියටයි පවා එකට සෙල්ලම් කරන්න ලැබුණේ නෑ. ක්‍රීඩා සමාජ මට්ටමෙන් තමයි අපි දෙන්නා එකට සෙල්ලම් කළේ. ඒත් මටයි, මිත්‍ර අයියටයි එකට ටෙස්ට් ක්‍රිකට් ගහන්න අවස්ථාව ලැබුණා.‘ එසේ කියමින් සිදත් වෙත්තමුණි ‘සිළුමිණ‘ සමඟ සාකච්ඡාවට එක් වූයේ සිය ලොකු අයියා වූ සුනිල් වෙත්තිමුණි මරණය දොරකඩට ගොස් ආපසු හැරීමේ කතා පුවත ද අනාවරණය කරමිනි.

සුනිල්, මිත්‍ර, රන්ජන්, සිදත් සහ නිමල්. වෙත්තිමුණි පවුලේ සියලු සොහොයුරෝ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූහ. මේ සියලු සොහොයුරන් පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූවෝ වෙති.

‘අපි හැමෝම වගේ ක්‍රිකට් ගැහුවා. ලොකු අයියා සුනිල් හා පොඩි අයියා මිත්‍ර හැරුණාම රන්ජන් අයියත් ත්‍රිත්ව විදුහලට ගැහුවා. ඊට පස්සේ නැවැත්තුවා. නිමල් මල්ලි පවා ක්‍රීඩා සමාජ මට්ටම දක්වා ක්‍රීඩා කළා. එයා එංගලන්තයේ ගිහින් ලීග් ක්‍රිකට් පවා සෙල්ලම් කළා. රන්ජන් අයියා විතරයි පාසල් ක්‍රිකට්වලින් නැවැත්තුවේ. එයා ක්‍රිකට් හැරුණම හොකී, රග්බි පවා සෙල්ලම් කළා. සුනිල් අයියා නම් ක්‍රිකට්ම තමයි. ක්‍රිකට් ගහද්දී වෙනින් දෙයක් කරන්න වෙලාවක් නැහැනේ. ‘සිදත් එසේ කීවේය.

මුල්කාලීනව ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසි සුනිල් වෙත්තිමුණි පසුකලෙක ගුවන් නියමුවකු බවට පත් විය. ඔහු ක්‍රීඩාවෙන් ඉවත් වූයේ ඉතා වේලාසනිනි.

ඒ කාලේ දිරිගැන්වීමක් තිබ්බේ නෑනේ. රස්සාවකුත් කරන්න වුණානේ. මට හිතෙනවා සුනිල් අයියට අවස්ථාව තිබුණා කියලා ටෙස්ට් ක්‍රිකට් ගහන්න පවා. හැබැයි ඉතින් අපි සෙල්ලම් කරන කාලේ රස්සාවක් ගැනත් හිතන්න වුණා. මම විශ්‍රාම ගියේ අවුරුදු 30දියි. මේ කාලේ එහෙම වෙන්නේ නෑනේ. ඒ කාලේ අපිට හිතන්න වුණේ ආදායම් මාර්ග ගැනයි. අයියගේ කාලේ ඊටත් අන්තයි. රැකියාවක් ගැන හිතන්නම වුණා. අපි ක්‍රිකට් ගැහුවේ ක්‍රීඩාවට ඇති ලැදියාව නිසයි. කොච්චර හොඳ ක්‍රිකටර්ස්ලා හිටියද අපේ රටේ අනාගතය ගැන හිතන්න ඕන නිසා ක්‍රිකට් අත්හැරපු ? සිදත් එසේ විමසා සිටියේ කනගාටුවකින් මෙනි.

‘හැබැයි මගෙන් ඇහුවොත් ඒ කාලේ ක්‍රිකට් ද, මේ කාලේ ක්‍රිකට් ද හොඳ කියලා මම නම් කියන්නේ ඒ කාලේ ක්‍රිකට් හොඳයි කියලයි. මොකද නිදහසේ සෙල්ලම් කරන්න ලැබුණා. දැන් ක්‍රීඩාව ගොඩාක් වෙනස්. මොකද වෘත්තීය වශයෙන්නේ කරන්නේ. ඉතින් පීඩනය ගොඩක් වැඩියි. මම සමහර වෙලාවට අපේ වර්තමාන ක්‍රීඩකයන් ගැන අනුකම්පා හිතෙනවා. මොකද ඒ අයට තියෙන පීඩනය ගොඩාක් වැඩියි. කිසිම විවේකයක් නෑ. හැමෝම බලාගෙන ඉන්නවා. අපිට එහෙම ප්‍රශ්න තිබ්බේ නෑ.‘ ඔහු සිනාසෙමින් එසේ කීවේය. 

ක්‍රීඩාවෙන් වේලාසින්ම සමුගත් සුනිල් වෙත්තිමුණි ගුවන් නියමුවකු ලෙස විශිෂ්ට සේවා කාලයක් ගත කළේය. ඔහු ගුවන් නියමුවකු ලෙස රටවල් 65කට අධික සංඛ්‍යාවකට පියාසර කළේය. හෙතෙම මෙරට ජාතික ගුවන් සමාගමේ ප්‍රධාන ගුවන් නියමුවරයා ලෙස කටයුතු කළ ප්‍රවීණයකි. ඊට අමතරව ඔහු තවත් රටවල් රැසක ගුවන් සමාගම්වල සේවය කළ අතර, 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල එක්දින ලෝක කුසලානය දිනා පාකිස්තානයේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී එම ගුවන් යානයේ නියමුවා ලෙසත් කටයුතු කරනු ලැබුවේ සුනිල් වෙත්තිමුණි විසිනි. එය ඓතිහාසික සිදුවීමක් බවට ද පත් විය. වේලාසනින්ම ක්‍රීඩාවෙන් සමුගත් මේ සුවිශේෂී පුද්ගලයා භාවනාවට යොමු වූයේ ද අවුරුදු 36ක් වැනි තරුණ වියේදීමය.

සිදත් කියන්නේ මේ සියල්ල සිය පියාගෙන් ලද අභාෂය බවය. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඔවුන්ගේ පියා රැම්සේ වෙත්තිමුණි සිය දරුවන්ගේ අනාගතය හා ජීවිතය පැහැපත් කිරීමට වැඩි උනන්දුවක් දැක්වූයේය.

‘තාත්තා තරුණ කාලේ එංගලන්තයට ගිය වෙලාවක බටහිර ඉන්දීය කොදෙව් පිලයි, දකුණු අප්‍රිකානු පිලයි අතර එංගලන්තයේ ක්‍රිකට් තරගයක් නරඹලා තිබුණා. ඊට පස්සේ ක්‍රිකට් ගැන ලොකු පිස්සුවක් තිබිලා තියෙනවා. ලංකාවට ආවට පස්සේ තාත්තාත් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. හැබැයි තාත්තා හිතාගත්තා මගේ දරුවන්ට කොහොමහරි ක්‍රිකට් ක්‍රීඩාව උගන්වනවා කියලා.‘ ඔහු පැවැසීය.

‘තාත්තාට තමයි හැම සම්මානයක්ම හිමිවෙන්න ඕනා අපිව ක්‍රීඩාවට හා ධර්මානුකූල ජීවිතයකට හුරු කිරීම ගැන. තාත්තා හිතුවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපිට ජීවිතය ගැන ඉගෙන ගන්න පුළුවන් කියලයි. තාත්තා තමයි මේ රටේ මුල්ම Cricket Indoor net එක ඉදි කළේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේ. තාත්තා ඒක ඉදි කළේ අපිට එතැන ගිහින් පුහුණුවීම් කරන්න කියලා. බර්ටි විජේසිංහ මහත්මයා ඒ කාලේ හිටපු, මම නම් දැනගෙන හිටපු හොඳම ක්‍රිකට් පුහුණුකරු. විජේසිංහ මහත්මයාට ඒක භාර දීලා තාත්තා කියලා තියෙන්නේ ඔයාගේ පුහුණු කිරීම් මෙතැන කරන්න හැබැයි මගේ දරුවන්ටත් උගන්වන්න කියලයි.‘ සිදත් පැවසුවේය.

‘අපේ මුළු පවුලම ක්‍රිකට් ක්‍රීඩාවට වගේම බෞද්ධ දර්ශනයටත්, භාවනාවටත් නැඹුරුයි. ලොකු අයියා වගේම මමත් භාවනා කරනවා. ඒකත් අපේ තාත්තාගෙන් තමයි ආවේ. තාත්තා අපිට හැමදාම කිව්වේ මනස ගැන ඉගෙන ගන්න කියලා. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේත් ඉගැන්නුවේ මානසික සුවය ගැන තමයි.‘ ඔහු කීවේය. 

‘මගේ තාත්තා නැතිවුණේ අවුරුදු 49දි. එතකොට මට අවුරුදු 17යි. ඊට පස්සේ සුනිල් අයියයි, මිත්‍ර අයියයි තමයි අපිව බලාගත්තේ. වැඩියෙන්ම මිත්‍ර අයියා. මොකද සුනිල් අයියා නිතරම වගේ විදෙස් රටවලට පියාසර කළානේ. ඒ නිසා බර කරට ගත්තේ මිත්‍ර අයියා ඒ පැත්තෙන්. අපිට හැම වෙලාවෙම හිතුණා අපිට අයියලා ඉන්න හින්දා අපි එක එක්කෙනාව බලාගන්නවා කියලා අපේ තාත්තත් අපිට එහෙමයි කියලා තිබුණේ. අපේ පවුලේ තිබුණා Eldors first කියන සංකල්පය. ලොකු අයියා ගුවන් නියමුවෙක් වෙන්න පුහුණුවීම් කරද්දී මාවත් එක්කගෙන ගියා ටයිගර් මොත් කියන ගුවන් යානයක රවුමක් යන්න. අර යුද්ධ කාලේ තිබුණු පොඩි ගුවන් යානා. ආසන දෙකයි තියෙන්නේ. ඉස්සරහා එකයි පස්සේ එකයි. ඒ විදිහේ ගුවන් යානාවල තමයි ඒ කාලේ අයියා පුහුණුව ලැබුවේ. ඒක අමතක වෙන්නේ නැති සිදුවීමක්. ටයිගර් මොත් ගුවන් යානය ගෙනිහින් එක එක දේවල් කළා. කරණම් ගැහුවා. මමත් අල්ලගෙන. මටත් ආසාවක් තිබ්බා ගුවන් නියමුවෙක් වෙන්න. ඒත් අම්මා කිව්වා පවුලට එක ගුවන් නියමුවෙක් ඇති කියලා. පයිලට්ලා දෙන්නෙක් ඉන්න ඕන නෑ කියලා.‘සිදත් එසේ කීවේ සිනාසෙමිනි.

සුනිල් වෙත්තිමුණි මරණයේ දොරටුවට තට්ටු කරන්නට වූයේ මීට වසර තුනකට පෙර ඔහු එවකට දකුණු කොරියාවේ සිටියදීය. එය දුර්ලභ රෝගී තත්ත්වයක් වූ අතර, ඔහු පසුවූයේ බරපතළ තත්ත්වයේය. දින 53ක් දකුණු කොරියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී හදිසියේම මරණාසන්න තත්ත්වයට පත් විය. ඒ මොහොතේ සිය ලොකු අයියා වෙනුවෙන් විශාලතම කාර්යභාරය ඉටු කරනු ලැබුවේ සිදත්ය. ඔහු සමඟ වෙත්තමුණි පවුලේ සාමාජිකයන් කොරියාවේ සිට ජර්මනියේ රෝහලකට ලොකු අයියා රැගෙන යෑමට යුහුසුළුව කටයුතු කළේය.

‘සුනිල් අයියාට දවස් සීයයකට වඩා රෝහල්ගතව ඉන්න සිද්ධ වුණා. බොහොම නරක අතට හැරිලයි තිබුණේ. අපි විශ්වාස කළේ නෑ එයා ජීවත් වේවි කියලා.‘ සිදත් ඒ කටුක අත්දැකීම් සිහිපත් කළේය.

ගිලන් රථ ගුවන් යානයකින් ජර්මනියට රැගෙන ගිය ඔහු යළි ජීවය ලැබුවේ හාස්කමක් පරිද්දෙනි.

මේ වන විට ජර්මනියේ විවේක සුවයෙන් පසුවන මේ මේ දිරිය සම්පන්න මිනිසා ‘සිළුමිණ‘ සම්බන්ධ කරගනු ලැබුවේ මේ පිළිබඳ තොරතුරු දැනගැනීමටය.

‘දකුණු කොරියාවේදී තමයි අසනීප වුණේ. සිදත් ආවා ඉක්මනටම. එක දවසක් ඇත්තටම මම මැරුණා. මම හිතන්නෙම මම මළවුන්ගෙන් නැඟිටලා ආවයි කියලයි. මේ රෝගය මනුස්සයකුට දරා ගන්න මේ ලෝකේ අමාරුම වේදනාව දෙනවා. Pancreatitis කියන අග්න්‍යාශගත රෝගය. මම කොරියාවේදී මේසයක් අල්ලගෙන බිම දණගහගෙන කෑගහා හිටියේ ගිලන් රථයක් එනකල්. කොරියානු වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගත්තා. සිදත් ආපු හැටියේ කිව්වේ ‘මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි, මේක මගේ ප්‍රශ්නයක් කියලයි‘ එයා මුළු වගකීමම කරට ගත්තා. එයා මාව ගිලන් රථ ගුවන් යානයකිනුයි ජර්මනියට අරන් ගියේ. ඒක පෞද්ගලික ගුවන් යානයක්. කොරියාවේ වෛද්‍යවරු පවා විමතියට පත් වුණා ඒ ගැන. අන්තිමේදී මම දවස් 114ක් කොරියාවෙයි, ජර්මනියෙයි රෝහල්වල හිටියා. ආහාර ගැනීම මුළුමනින්ම නැවතුණා. මාව ඇටසැකිල්ලක් වෙලයි තිබුණේ. මම ජීවිතය ලැබුවේ භාවනාවලිනුයි. ජර්මනියේ වෛද්‍යවරු පවා කිව්වේ ශක්තිමත් ජර්මානු මිනිහකුට වුණත් සනීප වෙන්න අවුරුදු දෙකක් විතර යනවා කියලයි. ඒත් මම අවුරුද්දෙන් නැඟිට්ටා. ලංකාවටත් ඇවිත් ගියා. භාවනාව තමයි මට ආපහු ජීවිතය දුන්නේ.‘ ඔහු මරණයේ දොරකඩට ගොස් ආපසු හැරීමේ කතාව ‘සිළුමිණ‘ සමඟ එසේ දිග හැරියේය.

‘මම ඇවිදින්න යනවා. කිලෝමීටර් 5ක්, 6ක් ඇවිදිනවා.පොත් කියවනවා. උදේට පැය දෙකක් භාවනා කරනවා. එහෙම තමයි ජීවිතය ගෙවෙන්නේ. අසනීප වුණාට පස්සේ අවුරුදු දෙකක් වෙනවා තවම රැකියාවට ගියේ නෑ. දැන් විවේකයෙන් ඉන්නේ. මේ විවේකය මම ගත කරන්නේ භාවනා කරලයි, සූත්‍ර පිටකය කියවමිනුයි. මම සූත්‍ර පිටකයේ අසූහතරදාහම කියවලා තියෙනවා. දැන් දෙවැනි පාරට කියවන්නේ. මගේ තාත්තා රැම්සේ වෙත්තිමුණි පොතක් ලිව්වා ඒ පොත පිටු 385ක් තියෙනවා. ඒ පොත ලියලා ඉවර වෙනකොට තාත්තා නැතිවුණා. ඒ පොත මගේ මුළු සේසතම දාලා මුද්‍රණය කළා. ඒකේ සෝදුපත් බැලුවේ මමයි මිත්‍ර මල්ලියි. දැන් මේ පොත මම පස්වැනි පාරටත් කියවලා තියෙනවා. ‘The Buddha's Teaching and the Ambiguity of Existence‘ කියලා. ඒකේ සිංහල පරිවර්තනයකුත් තියෙනවා. ඒ පොතේ සූත්‍ර 600ක් විතර තියෙනවා.‘ ඔහු කීවේය.

‘මම භාවනාව පටන් ගන්න කොට මට මිනිත්තු දෙකක්වත් ඉන්න බැරිවුණා. ඒත් සිදත්ට පුළුවන් වුණා පැයක් විතර ඉන්න. මම හිතුවා සිදත්ට පුළුවන් නම් මටත් පුළුවන් කියලා. මම වනගත වුණාම පැය 9ක් විතර භාවනා කරනවා.‘ ‘ඇයි අපේ ලංකාවේ බෞද්ධ ජනතාව ඔච්චර දුකින් ඉන්න කාලයක තවම ධර්මයට යන්නේ නැත්තේ ඇයි ? පෝයට පන්සල් ගිහින්, යූ ටියුබ් එකේ බණක් අහලා නෙමෙයි, නිවන අවශ්‍යයි. දුකින් මිදෙන්න. ඒ කාර්යයට ඇයි අපේ ජනතාව යන්නේ නැත්තේ ? අපේ මතයක් තියෙනවා ධර්මයට යොමුවුණොත් අපි ඉන්න ඕන හාමුදුරු කෙනෙක් වගේ කියලයි. ඒක වැරදියි.‘ ඔහු කීවේය. 

‘ඔය සූත්‍ර කියවනවා කියන්නේ තමා ගැනනේ කියවන්නේ. ජීවිකාව ගෙනියන්න රැකියාවක් කරන්න එපෑය. අන්තිමට අපි අපිට ගෙවල් 10ක් තිබුණත්, කාර් 20ක් තිබුණත්, දරුවන් 10ක් හිටියත් මේවා අන්තිමට අපිට අයිති නෑනේ. මේවා ඔක්කොම දාලනේ යන්නේ.‘ ඔහු පැහැදිලි කළේය.

‘එක අතකින් මම හිතන්නේ අපේ මිනිස්සුන්ට පින නෑ ධර්මය හොයාගෙන යන්න. ඒකයි ඇත්ත. ඔච්චර වාසනාවන්ත රටක බුද්ධ ධර්මය සෑහෙන්න තියෙනවා. හොඳ සංඝයා වහන්සේලා ඉන්නවා. තමාගේ ඇඟේ අංග පහම හොඳට තියෙනවා. ගෙයක් තියෙනවා. අඩුගාණේ කුටියක්වත් තියෙනවා. කෑමත් තියෙනවා. අඩුගාණේ පොල් ගහක් හරි තියෙනවා පොල් කෑල්ලක් හරි කාලා ඉන්න. ඒත් මොනවද කරන්නේ. රත්තරං බුදු දහම බලන්නෙත් නෑ. දුකින්ම ඉන්නවා තවත් දුක්වෙනවා. අන්තිමට හැමදේම දාලා යනවා. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට නුවණ තියෙනවා ඇති වෙන්න. අඩු ගාණේ උත්සාහ කරලා බලන්නෙවත් නෑ.‘ ඔහු සඳහන් කළේය.

‘මට එක දවසක් ඒ කාලයේ ජේ.ආර්.ජයවර්ධන මහත්මයා ජනාධිපතිවරයා විදිහට කටයුතු කරද්දී වතාවක් මට කතා කළා. මම ගුවන් යානයක පියාසර කරද්දී තවත් ගුවන් යානයකින් ගිය එයාගේ මුනුපුරා මට කිව්වා අන්න සීයා කතා කරනවා කියලා. මම ඇහුවා කවුද ජනාධිපතිතුමා ද, එයා කිව්වා ඔව් කියලා. ඉතින් මම ගිහින් හම්බවුණා. මගේ පවුලේ අයත් බලනවා මොකටද ජනාධිපතිතුමා මට එන්න කියලා තියෙන්නේ කියලා. මොකටද දන්නවද ජනාධිපතිතුමා මට කතා කරලා තියෙන්නේ. එයාට මීතිරිගල ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න ඕන කරලා තිබිලා තියෙනවා. ඒත් මිතිරිගල ලොකු හාමුදුරුවෝ එන්න එපාය කියලා. ඉතින් ජනාධිපතිතුමාට ඉඩ ලැබිලා නෑ ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න. ඒ වෙලාවේ එයාගේ මුනුපුරා කියලා තියෙනවා මම මීතිරිගල ලොකු හාමුදුරුවෝ හොඳට දන්නවා කියලා. ඒකයි මට එන්න කියලා තියෙන්නේ. මොකක්ද දන්නවද ජේ. ආර්. ජනාධිපතිතුමාගේ පළවෙනි ප්‍රශ්නය. සුනිල් ඔච්චර තරුණ කාලේ කොහොමද ධර්මයට ගියේ කියලා. මම කිව්වා සර් මට නාකි වෙනකල් ඉන්න වුණේ නෑ කියලා මම මැරෙන්න වැටෙන කොට. මම දැන්මම දන්නවා මම මැරෙන්නත් ළඟයි නාකි වෙන්නත් ළඟයි කියලා. පැය හතරක් මම කතා කළා ජනාධිපතිතුමා එක්ක. ජනාධිපතිතුමාගේ නිල නිවසේ. මට එයාගේ පෞද්ගලික තොරතුරු හැමදේම කිව්වා. පස්සේ කාලෙක මම ධර්මය ගැන ලියපු පොත්පත් පවා යැව්වා. හැබැයි ඊට පස්සේ මොකද වුණේ කියලා නම් එයා තමයි දන්නේ.‘ සුනිල් වෙත්තමුණි මෙතෙක් නොකී කතාවක් කීවේය.

‘ජනාධිපතිතුමා මීතිරිගල ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න යන්න හදලා තියෙන්නෙත් භාවනාව ගැන අවබෝධ කරගන්නයි. එතුමාට ඒ වෙලාවේ භාවනාව සම්බන්ධව ලොකු උනන්දුවක් ඇති වෙලයි තිබුණේ. ඒත් මීතිරිගල ලොකු හාමුදුරුවෝ එන්න එපාය කියලා. මම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මොකද එහෙම කිව්වේ කියලා. ඒ පාර උන්වහන්සේ කිව්වා ඇයි මහත්තයා ජනාධිපතිතුමා ආවම ආරක්ෂක නිලධාරීන් හැමෝම එනවනේ. ඒ ඔක්කොම ආවම මේ වනගත වෙලා ඉන්න හාමුදුරුවරුන්ට බාධා වෙනවනේ. ඒක නිසා මම කිව්වා කරුණා කරලා එන්න එපාය කියලා. එහෙමයි මට මීතිරිගල ලොකු හාමුදුරුවෝ කිව්වේ.‘ ඔහු පැවසීය.

ඥානවීර හාමුදුරුවෝ තමයි මගේ තාත්තාගේ ගුරුවරයා. ඉංග්‍රීසි හාමුදුරුවෝ නමක්. එකම පුතා දේපළ වෙළෙඳාම් සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයකුගේ එකම පුත්‍රයා. බූන්දලට ඇවිත් කුටියක තනියම ජීවත් වුණේ. ඉතින් එයාට අවුරුදු 35න් ධර්මය හොයාගෙන යන්න පුළුවන් නම් අපේ අවුරුදු 55 මිනිස්සුන්ට එහෙම කරන්න බැරිද? අවුරුදු 65 මිනිස්සුන්ට එහෙම කරන්න බැරිද ? හැමදේම දාලා යන්න පුළුවන් කියලා දන්නවා. ඒත් බැඳීම වැඩියි. ඒක කඩන්න හරිම අමාරුයි.‘ සුනිල් වෙත්තිමුණි කීවේය.

‘ඔයා දන්නවද ආනන්ද විද්‍යාලයේ මෝටෝ එක. ‘අප්පමාදෝ අමත පදං‘ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි.‘ ඒ දවස්වල ඒක ඊට වඩා හපන්. පරක්කු වෙන්නේ නැතිව ඉස්කෝලෙට එන්න කියලයි අපි නම් ඒ කාලේ කිව්වේ. ඒ වගේ මෝටෝ එකක් ලොකේ කොහේවත් නෑ. සතියෙන් ඉන්න නිවනට යන්න කියලා. බුදු හාමුරුවන්ගේ අන්තිම වචනයත් ඒකයි. සතියෙන් එළඹ කරන්න. නැතිනම් පසුතැවිලි වෙන්න වෙයි කියන එකයි.‘ ඔහු පැවැසීය.

‘මම අවුරුදු 6ක් තිස්සේ මාතර ඥානාරාම හමුදුරුවෝ යටතේ හිටියේ. ඒ වගේ ගුරුවරයෙක් ලංකාවේ අවුරුදු 200කටවත් පහළ වෙන්නේ නෑ. අවුරුදු 36දි ගියේ. මම පස්වතාවක් වනගත වෙලා හිටියා. මීතිරිගල වනයේ.‘ ඔහු පැවැසුවේය.

‘සිදත් මාව අනිත් මල්ලිලා එක්කයි අනිත් ඥාති දරුවොත් එක්කයි එකතු වෙලා මාව පෞද්ගලික ගිලන් රථ ගුවන් යානයකින් මාව ගෙනාවේ කොරියාවේ ඉඳලා ජර්මනියට. ඒක මගේ පිනට සිද්ධ වුණු දෙයක්. එයාලා මගේ වටිනාකමක් දකින්න ඇති. සිදත් තමයි හැමදේම කළේ. ඒ වගේ රත්තරන් මල්ලි කෙනෙක් කාට හරි ඉන්නවා නම් කවදාවත් අත් හරින්න එපා. ‘ ඔහු කීවේය.

Comments