සිහිය බුද්ධිමය දැනීමක් නොවේ | සිළුමිණ

සිහිය බුද්ධිමය දැනීමක් නොවේ

භාවනාව හා ඍජුව සම්බන්ධිත සිහියේ මූලික ලක්ෂණ අපි හඳුනා ගතිමු.

සිහිය යනු සිදුවන වෙනස්වීම දැන ගැනීම බවද පෙන්වා දිය හැකිය. එය ගලාගෙන යන අත්දැකීම් ප්‍රවාහය නිරීක්ෂණය කරයි. යම් දේවල් වෙනස් වෙද්දී ඒ දෙස බලා සිටියි. එය සෑම සිද්ධියකම උපත, වැඩීම හා පරිණත භාවය දෙස බලා සිටියි. සංසිද්ධීන් ජරාවට ගොස් මරණයට පත්වීම දෙස එය බලා ඉඳියි. මොහොතින් මොහොත නොකඩවා දේවල් දෙස බලා සිටීම සිහියයි. වර්තමානයේ සිත තුළ සිදුවෙමින් පවතින සෑම භෞතික, මානසික හා ආවේගාත්මක සංසිද්ධීන් ම එය නිරීක්ෂණය කරයි. වාඩිවී සංදර්ශන බලා සිටියි. සිහිය යනු අස්ථිර සංසිද්ධීන්ගේ ස්වභාවය නිරීක්ෂණයයි.

දෙයක් ඇතිවී නැතිවී යන අන්දම දෙස එය බලා සිටියි. එය යමක් අපට හැඟීම් ඇති කරන අන්දම හා අප ඒවාට ප්‍රතිචාරය දක්වන ආකාරය දෙස බලා හිඳියි. අභ්‍යන්තර විශ්වයෙහි නොකඩවා ගලා යන සංදර්ශනය පිළිබඳව සනිටුහන් කර ගැනීම සිහියෙන් පසුවන්නාගේ එකම රාජකාරියයි.

කරුණාකර අවසාන කරුණ සනිටුහන් කරගන්න. සිහියෙන් සිටින විට යමෙක් තුළ පවතින අභ්‍යන්තර විශ්වය නිරීක්ෂණය කරයි. සිහිය දියුණුකර ගනිමින් සිටින භාවනානුයෝගියා පිටස්තර ලෝකය පිළිබඳ සැලකිල්ලක් නොදක්වයි. එය පවතින නමුත් තමාගේම අත්දැකීම්, තමාගේ සිතිවිලි, තමාගේ දැකීම් භාවනානුයෝගියාගේ අධ්‍යයන ක්ෂේත්‍රයයි. භාවනාවේදී තමා තමාගේම විද්‍යාගාරයයි. පිටස්තර ලෝකය හා අනෙකුත් කරුණු සම්බන්ධ ප්‍රතිබිම්බ ඇතුළත් විශාල තොරතුරු සම්භාරයක් අභ්‍යන්තර ලෝකයේ අඩංගුයි. මෙම තොරතුරු විභාග කර බැලීම විමුක්තියට හේතුවෙයි.

සිහිය යනු සහභාගික නිරීක්ෂණයයි. භාවනානුයෝගියා සහභාගිවන්නා හා නිරීක්ෂකයා යන ද්විත්ව භූමිකාවන් රඟදක්වයි. යමෙකුට දැනෙන භෞතික හෝ මානසික සංවේදනා ඒ මොහොතේදීම නිරීක්ෂණයට බඳුන්වෙයි. සිහිය බුද්ධිමය දැනීමක් නොවේ. එය සරල දැනීමයි. සිහිය අපක්ෂපාතී වුවද එය අකාරුණික අනුකම්පා විරහිත දෙයක් නොවේ. එය ජීවන ක්‍රියාවලිය පිළිබඳ අවදිමත් අත්දැකීමකි. සුපරීක්ෂාකාරී සහභාගීත්වයකි. සිහිය වචනයෙන් විස්තර කිරීම ඉතාමත් අසීරු කාර්යයකි. ඒ එය සංකීර්ණ නිසා නොව එය ඉතා සරල හා විවෘත නිසාවෙනි. සෑම ජීවන අත්දැකීමකදීම මේ සමාන ගැටලු මතුවෙයි. ඉතා සරල සංකල්ප තහවුරු කර ගැනීම හැමවිටම ඉතා අසීරුය. මේ බව සනාථ කරන, පැහැදිලි උදාහරණ ශබ්ද කෝෂයකින් ඔබට දැකගත හැකියි. දීර්ඝ වචන සඳහා සාමාන්‍යයෙන් ලුහුඬු හැඳින්වීමක් ඇති අතර, කෙටි වචන සඳහා පිටුගණන් දිග හැඳින්වීම් ඇත. භෞතික විද්‍යාවේදී පැහැදිලි කිරීමට අසීරුම කාර්යය වන්නේ මූලික සිද්ධාන්තයි. කොන්ටම් යාන්ත්‍රණයේ වඩාත් මූලික කරුණ ඊට උදාහරණයකි. සිහිය පූර්ව සංකේත ක්‍රියාකාරිත්වයකි. මුළු දිනක් පුරා වචන සංකේත සමඟ හරඹ කළ ද එය සම්පූර්ණයෙන් නිවැරැදිව ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් එය සිදුකරන දෙය ප්‍රකාශ කළ හැකියි.

සිහියට මූලික කාර්යයන් තුනක් ඇත. ඒවා එම පදයේ ක්‍රියාකාරීත්වය අර්ථ දැක්වීම් ලෙස භාවිත කළ හැකිය.

1. සිහිය අප කරමින් සිටිය යුතු කාර්යය මතක් කර දෙයි.

2. එය පවතින දේ ඒ ආකාරයෙන් ම දකියි.

3. එය සෑම සංසිද්ධියක ම සත්‍ය ස්වභාවය දකියි.

වැඩි විස්තර සහිතව ඒවා විමසා බලමු.

1. සිහිය ඔබ කළ යුතු දෙය මතක් කර දෙයි.

භාවනාවේ දී ඔබ අවධානය යොමු කරන්නේ එක දෙයක් කෙරෙහි පමණි. මෙම ඉලක්කයෙන් ඉවත්ව ඉබාගාතේ සිත යන විට, ඒ බවත්, ඔබ කරමින් සිටිය යුතු දෙය පිළිබඳවත් මතක් කරන්නේ සිහියයි. භාවනා අරමුණට ඔබගේ අවධානය නැවත රැගෙන එන්නේ සිහියයි. අභ්‍යන්තර දෙබසකින් තොරව මේ සියල්ල ක්ෂණයකින් සිදුවෙයි. සිහිය සිතීම නොවේ. නැවත නැවතත් පුහුණුවීමෙන් මෙම ක්‍රියාකාරීත්වය මානසික පුරුද්දක් ලෙස ස්ථාපිත කරගත් පසු ජීවිතයේ අනෙකුත් අංගයන් හට ද එය රැගෙන යයි. පළපුරුදු භාවනානුයෝගීන් වාඩි වී භාවනා කිරීමේදී පමණක් නොව මුළු දිනය පුරාම පිරිසිදු අවධානය සෑම සිදුවීමක් සඳහාම ලබාදෙයි.

එය, අවුරුදු හෝ දශක ගණනක් මුළුල්ලේ භාවනාවේ යෙදෙන්නන් ළඟා කර ගැනීමට තැත්කරන උසස් අරමුණකි. අපගේ සිතිවිලිවල සිරවී සිටීමේ පුරුද්ද වසර ගණනක් පැරණි බැවින් එය දැඩි ලෙස එසේ ම එල්ලී සිටිනු ඇත. ඒ පමණට ම දැඩි බවකින් නොකඩවා සිහිය පවත්වා ගැනීම තුළින් පමණක් ඔබට එයින් මිදීමට පිළිවන. සිහිය පවතින විට ඔබ සිතිවිලිවල හිරවෙන අවස්ථාව ඔබට දැකගත හැකිය. සිතිවිලි ක්‍රියාවලියෙන් මඟ හැර ඔබව මුදවාගැනීමට ඉඩ සලසා දෙන්නේ ද මෙම දැනීමයි. එවිට සිහිය ඔබව නියම අරමුණ කරා ගෙන යනු ඇත. එම වේලාවේ ඔබ භාවනාවේ යෙදෙමින් සිටියි නම් ඔබගේ ඉලක්කය භාවනා අරමුණයි. විධිමත් භාවනාවේ නොයෙදෙන අවස්ථාවකදී නැඟී එන සෑම දෙයක්ම පිරිසිදු අවධානයෙන් යුතුව දැකීමයි. "ආ දැන් මේක... ආ දැන් මේක...."

සිහිය, පිරිසිදු අවධානය සහ පිරිසිදු අවධානය නොයොදන අවස්ථාවේ දී එසේ කිරීමට අපට මතක් කර දෙන ක්‍රියාව යන දෙකම වෙයි. පිරිසිදු අවධානය යනු යමක් සනිටුහන් කිරීමයි. එය නොපවතින විට ඒ බව දැක නැවත එය පිහිටුවා ගනියි. පිරිසිදු අවධානය නොමැති බව සනිටුහන් වූ මොහොතේ ම ඒ බව දැකීමම පිරිසිදු අවධානයයි. එවිට ඔබ නැවත පිරිසිදු අවධානය කරා යොමු වී ඇත.

සිහි සවිඥානය මත, එයටම සුවිශේෂී වූ දැනීමක් නිර්මාණය කර ගනියි. එය සැහැල්ලු පැහැදිලි, ශක්ති සම්පන්න හැඟීමකි. සංසන්දනාත්මකව ගත් කල සිතිවිල්ල බරකින් යුක්තය. කල්පනා කරන සුළු හා සතුටු කිරීමට අපහසුය. නමුත්, මේවා ද හුදෙක් වචන පමණක්මය. ඔබගේ පුහුණුව මෙහි වෙනස පෙන්වා දෙයි. එවිට, සමහරවිට, ඔබට තමාගේ ම වචනයෙන් එය විස්තර කිරීමට හැකිවනු ඇති අතර මෙහි සඳහන් වචන තේරුම් රහිත වනු ඇත. පුහුණුව ප්‍රධානම දෙය බව මතක තබා ගන්න.

2. සිහිය පවතින දෙය ඒ අයුරින්ම දකියි.

සිහිය, තේරුම් ගැනීමට කිසිවක් එකතු කිරීම හෝ එයින් කිසිවක් අතහැරීමක් නොකරයි. විකෘති කිරීමක් නැත. පිරිසිදු අවධානයෙන් පැමිණෙන සියල්ල නිරීක්ෂණය කරයි. සිතිවිලි අප අදහස් හා සංකල්පවලින් පුරවයි. සැලසුම් හා කරදර සුළියක ගිල්වයි. බය හා සිහින ලෝකයක ගිල්වයි. සිහියෙන් සිටින විට, ඔබ ඒවායේ නොයෙදෙනු ඇත. හුදෙක් ම ඔබ සිතේ මතුවන දේ ඒ ආකාරයෙන්ම දකිනු ඇත. පසුව ඔබ ඊළඟට එන දෙය දකිනු ඇත. "ආ මේ දෙය". එය සැබැවින්ම ඉතා සරලය. 

3. සිහිය සියලුම සංසිද්ධීන් හි සැබෑ ස්වරූපය දකියි.

බුදුන්වහන්සේ ඉගැන්වූ ප්‍රධාන ගුණාංග තුන පැවැත්මේ ගැඹුරු සත්‍ය බව තේරුම් ගත හැක්කේ සිහියට ම පමණි. මේවා අනිච්ච (අස්ථිර බව), දුක්ඛ (දුක) සහ අනත්ත (ආත්මයකින් තොර බව) යනුවෙන් පාලියෙන් විස්තර කෙරේ. මෙම සත්‍යතා අන්ධව විශ්වාස කළ යුතු සිද්ධාන්ත ලෙස බුදුදහම ඉදිරිපත් කර නැත. මෙම විශ්ව සත්‍යය නියමාකාරයට විභාග කර බැලීමට උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකු විසින් ප්‍රත්‍යක්ෂ කරගනු ලබන බව බෞද්ධයෝ විශ්වාස කරති.

(ඊර්ෂ්‍යාව මතු වන හැටි මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)

Comments