‘සිතමු’ | සිළුමිණ

‘සිතමු’

වත්මන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වූ ඉම්තියාස් බාකීර් මාකාර් විසින්, සති අන්ත පුවත් පතක් සඳහා 'සිතමු' තීරු ලිපි එකතුව පසුගියදා ප්‍රකාශයට පත්විය. ඉම්තියාස් බාකීර් මාකාර් පුරා වසරක් තුළ රචිත මෙම තීරු ලිපි තුළින් දෙස් විදෙස් දේශපාලනික, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ අපක්ෂපාතී විවෘත වූ අදහස් දැක්වීමක් සිදුකොට තිබේ. ඔහු සිය ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සමාජයට අවැසි පණිවිඩයක් සිය හෘද සාක්ෂියට එකඟව පාඨක සිත්ගන්නා සුලු අයුරින් ඉදිරිපත් කරයි.

ඉම්තියාස් විසින් මෙම තීරු ලිපියේ සඳහන් කොට ඇති පරිදි බොහෝ පාලකයින් ජනමතයක් ගොඩ නැඟීම හෝ අරගලයක් තුළින් රටේ පාලන බලය හිමිකර ගනු ලැබුව ද, එය ජනතා යහපත උදෙසා දිගටම පවත්වා ගෙන යනු ලබන්නේ අතළොස්සක් පමණි.

'සිතමු' තුළින් කොවිඩ් උවදුර විවිධ වූ ක්ෂේත්‍රයන් යටතේ වූ හානිය තර්කානුකූල විග්‍රහයක් හරහා ඉදිරිපත් කොට තිබේ. එම තීරු ලිපි සංග්‍රහයේ 'අභියෝගයට ලක්වන අධිකරණයේ ස්වාධීනත්වය හා පුරවැසි අයිතීන් ' නම් වූ ශීර්ෂය යටතේ මෙරට අධිකරණයට කොවිඩ් උවදුර තුළින් නිර්මාණය වූ බලපෑම ඉතා සියුම්ව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම එහි සඳහන් 'අර්බුදයෙන් ගොඩ ඒමට කෙටි මන් නොව, දුර දැක්ම අවශ්‍යයයි ' නම් වූ ශීර්ෂය යටතේ

'අද අප රට මූහුණ දී ඇති ආර්ථික අගාධයට මූලික හේතුව කොවිඩ් වසංගතය ලෙසින් දැක්වීම මිත්‍යාවකි ' යැයි ප්‍රකාශ කරනුයේ කොවිඩ් අර්බුදය රටක ආර්ථිකය කඩා වැටීමට සෘජු ලෙසින් බලපෑමක් සිදු නොකරන බවයි.

'සිතමු' තීරු ලිපි සංග්‍රහය දේශීය විෂය ක්ෂේත්‍රයන් මෙන්ම විදෙස් රටවල් හා ජාත්‍යන්තරය පිළිබඳ විවිධ විෂයන් යටතේ කථිකාවන් සිදුකරයි. පසුගිය ජගත් පාපන්දු කුසලාන අවසන් මහා තරගයේදී, ලබාගත් ජයග්‍රහණය ලොව සෙසු රටවලට මෙන්ම ආර්ජන්ටිනාවට ද විශේෂිත පාඩමක් කියාදී ඇති බව ඉම්තියාස්ගේ තීරු ලිපියේ සඳහන් කරන්නේ 'දිනුවත්, පැරදුනත් දිනුම් ' යනුවෙනි.

ප්‍රජාතන්ත්‍රීය නොවන අයුරින් රටක පාලන බලය හිමිකර ගන්නා වයෝවෘද්ධ පාලකයෙක් සිය වයස්ගත නොහැකියාව හා ජනතා අප්‍රසාදය තුළ පාලන බලයේ රැඳී සිටීමේ ප්‍රතිවිපාක 'මුගාබේ මාවත සහ මැන්ඩෙලා මාවත ' නම් වූ තීරු ලිපිය තුළින් මැනවින් ප්‍රකාශ කරයි.

ඉම්තියාස් විසින් රචිත 'අත් හැරීමේ පාඩම ' නමින් වූ ලිපියේ සුවිශේෂී ලකුණක් සටහන් කළ නවසීලන්ත අගමැතිනී ජසින්තා ආර්ඩ්න් උපරිම ජනප්‍රසාදය පවත්නා සමයේ, ඇයගේ පාලන කාලය නිම කොට අගමැති තනතුරට සමුදීම ගැන ලියයි.

ඉම්තියාස් මෙම තීරු ලිපි ලිවීම සඳහා භාවිත කොට ඇත්තේ ඔහුටම ආවේණික බස් වහරකි. එය වරෙක දීර්ඝ වැකි වේ. තවත් වරෙක දෙබස් හා සංඛ්‍යා දත්ත සිය අදහස තහවුරු කරමින් ඉදිරිපත් කරයි.

මේ බොහෝ තීරු ලිපි සඳහා යොදා ඇති ශීර්ෂ වඩාත් ආකර්ෂණීය වේ. ඉම්තියාස් බාකීර් මාකාර් විසින් රචිත පුවත්පත් තීරු ලිපි සියයක එකතුවක් ලෙසින් ප්‍රකාශිත මෙම 'සිතමු' ලිපි සංග්‍රහයේ අවසන් සියවන තීරු ලිපිය ලෙසින් ඔහු සඳහන් කොට ඇත්තේ 'අලුතෙන් සිතමු ' යන්නයි. සමස්ත සමාජයේ සියලු කාර්යයන් අනපේක්ෂිත අයුරින් වෙනස් වන කාලපරිච්ඡේදයකදී, අලුතෙන් සිතිය යුතු අවස්ථාව එළඹී ඇති බව බාකීර් මාකාර් පෙන්වා දෙයි.

ලක්විජය සාගර පලන්සූරිය

Comments