මගේ ගීත­ව­ලින් කෙන­කුගේ හද­වත නිවන්න පුළු­ව­න් නම් එය සතු­ටක් | සිළුමිණ

මගේ ගීත­ව­ලින් කෙන­කුගේ හද­වත නිවන්න පුළු­ව­න් නම් එය සතු­ටක්

දයාන් විතාරණ යනු ගායන ලෝකයේ වෙනස්ම ආරකින් ගී ගයන ගායකයෙකි. ඔහු සතු ගායන හැකියාව සේම ඡායාරූපකරණය පිළිබඳව ඇති ඉහළ දැනුම හේතුවෙන් වර්තමානයේ කලා ලෝකයට නැතුවම බැරි කලාකරුවකු ලෙස දයාන් හැඳින්විය හැකිය. ඔහු එදා මෙදාතුර ගැයූ ගීත සංඛ්‍යාව තුන්සිය හැත්තෑ ගණනකි. හැකියාවන් රැසකින් හෙබි මේ නිහතමානී කලාකරුවා මෙවර 'හදට දැනෙන ප්‍රශ්න දහයට' පිළිතුරු දුන්නේ මෙසේයි.

1. කුඩා කල සිටම ඔබ සිහින මැවුවේ කවුරු වෙන්නද?

කුඩා කාලයේ සිටම මගේ හීනය වුණේ ලොකු වුණාම ගායකයකු වීමයි. ඒ බලාපොරොත්තුව මල්පල ගන්වමින් දයාන් විතාරණ කියන ගායකයා බිහිවුණා. මට මතකයි මම කුඩා කාලයේදි ‍අපේ ගෙදරට පැමිණෙන ඥාතීන්ට ඇහෙන්න සින්දු කියනවා. පාස‍ල් වේදිකාවට මම නැතිවම බැරි ගායකයෙක් වුණා. ඔය කාලයේදි ඡායාරූප කලාවට නොසිතූ ලෙස යොමුවන්න අවස්ථාව ලැබුණා. අද වන විට ඡායාරූප ශිල්පියා අබිබවා යමින් ගායකයා ඉස්මතුව සිටිනවා.

2. ගායකයකු වීම ගැන සතුටුයිද?

අතිශයින්ම සතුටුයි. මගේ සිතේ කුඩා කාලයේ සිට තිබූ ලොකුම හීනය සැබෑවුණා. ගායකයකු වීමෙන් ජනතා ආදරය ලැබුණා. විවිධ මිනිසුන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා.

3. වඩාත් කැමැත්තෙන් කියවපු මතකයේ රැඳුණු පොත මොකක්ද?

මම පුරුද්දක් වශයෙන් නිතරම පොත් කියවනවා. ඒ නිසා මතකයේ රැඳුණු එක් පොතක් කියා නම් කළ නොහැකියි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'ගම්පෙරළිය' මා කුඩා කාලයේ කැමැත්තෙන් කියවූ පොතක් නිසා එය තවමත් මතකයේ රැඳී තිබෙනවා.

4. කැමැතිම සිනමාපටය..

ගඟ අද්දර, ගැහැනු ළමයි සහ දඩයම යන චිත්‍රපට තුනටම මා ඉතාමත් කැමැතියි. එම චිත්‍රපට තුන කිහිප වරක්ම නැරඹුවා වගේම උපරිම වි‍නෝදාස්වාදයක් ලැබුවා.

5. කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව..

රංගන ශිල්පියා ගැන කතා කරනවා නම් එක් අයකු ලෙසින් හැඳින්විය නොහැකියි. රංගන ශිල්පිනිය නම් වසන්ති චතුරානි. මම වසන්තිට දක්වන කැමැත්ත මීට පෙර කිහිප වරක්ම ප්‍රසිද්ධියේ කියා තිබෙනවා. කැමැතිම ගායකයා විශාරද අමරදේවයන්. ඔහු ගයන සඳකැන් පිනිදිය ගීතයට බෙහෙවින් ප්‍රිය කරනවා. නන්දා මාලනියගේ 'අදටයි මගේ මේ ගී' ගීතයට කැමැතියි. මොවුන් දෙදෙනාගේ සෙවණේ හැදී වැඩුණු සිසුවකු ලෙස මම එම දෙපළගේ නිර්මාණවලට ප්‍රිය කරනවා.

6 තව කෙනකු කරනවාට අකැමැති දෙය..

වෛරය සහ මමත්වය යන ක්‍රියාවන් දෙකම තව කෙනකු තුළ දකින්න අකැමැති දේවල්. එම හේතුවෙන් තමයි අපේ විනාශය සිදුවන්නේ. විශේෂයෙන් අපේ රටේ ජනතාව අනුන්ට ලැබෙන දේ ගැන වෛර කරනවා. කිසිවකු සිතන්නේ නෑ අපි සියලු දෙනාම මනුෂ්‍යයෝ කියා. එසේ සිතා ලද දෙයින් සතුටුව ජීවත්වන පුද්ගලයන්ට මම ඉතාම කැමැතියි. ක්‍රියාවෙන්ම මේ සියලු ගුණාංගයන්ගෙන් යුක්ත නිසා අනිත් අයත් එසේ සිටිනවාට මම කැමැතියි.

7. ගායකයකු ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?

මගේ ගීත අසන වෙනම රසික පිරිසක් සිටිනවා. ඔවුන් මගේ ගීත ඇසූ විට ඔවුන්ගේ සිත සුවපත් වන බව පවසනවා. එවැනි අවස්ථාවට කලාකරුවකු ලෙස මා ඉතා සතුටට පත්වනවා. මට සතුටුයි මගේ එක ගීතයකින් හෝ කෙනකුගේ හදවත නිවන්න එය තමයි ගායකයකු ලෙස සමාජයට දෙන ලොකුම තෑග්ග.

8. රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..

කුල මල, ජාති බේද ඉවත් කර සෑම මිනිසකුම සතුටින් තියනවා. හැම දෙනාවම සතුටෙන් තැබීමට අවශ්‍ය සියලුම දේවල් ලබා දීමට ක්‍රියා කරනවා. මම හිතනවා නායකයෙක් වූ විට මිනිසුන් බෙදා වෙන්කිරීම හොඳ දෙයක් නෙමෙයි කියා. එය තමයි මේ සියලු ගැටලු ඇති වීමට හේතුව. එය විසඳූ විට රටක් ලෙස අපට ඉදිරියට යෑම පහසුයි.

9. වැඩිපුරම සංචාරය කරන්න කැමැති...

ස්විට්සර්ලන්තය මම සංචාරය කිරීමට වඩාත්ම කැමැතිම රට. එයට හේතුව එහි තිබෙන පිරිසුදු වාතය සහ සොබාදහම. එම රටේ වැසියන් සොබාදහම රකිනවා. ඔවුන් පරිසරය දූෂණය කරන ක්‍රියාවල නිරත වන්නේ නෑ. එවැනි රටකින් ලැබෙන හුස්ම ටික පවා සැනසීමක්. ඉන්දියාවේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශයටත්, ලංකාවේ අනුරාධපුරය රාජධානියේ නටබුන් නැරඹීමටත් කැමැතියි.

10. ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ වැරැදුණු තැන්වලදී ළඟින් සිටියේ කවුරුද?

මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම තමයි මගේ පළමු සංයුක්ත තැටිය වන 'ඔබෙ සුසුම් පවන් සලයි' සංයුක්ත තැටිය එළි දැක්වු දිනය. ඒ 2002 අප්‍රේල් 30 වැනිදා. එදා ජෝන් ද සිල්වා රඟහලේ විශාල ජනතාවක් පිරී සිටියා.

ඒ දිනය මගේ කලාවේ ආරම්භක දිනය වූ නිසාවෙන් ජීවිතයේ අමතක නොවන දිනයක්. ඒ වගේම එදා මෙදා තුර ජීවිතයට පැමිණි ප්‍රශ්න සහ ගැටලු බොහෝමයි. එම අවස්ථාවලදී ළඟින්ම හිටියේ මගේ අම්මා. ඇය අපෙන් සමු අරන් දැනට වසර 12ක්. ඇයගේ වියෝවෙන් පසු මගේ සොහොයුරියන් දෙදෙනාත් මිතුරනුත් මගේ ළඟින්ම සිටිමින් මා ශක්තිමත් කරනවා. 

Comments